වෘත්තිය ගැටුම් සෞඛ්‍ය සේවාව පහත වැටීමට හේතුවෙලා
- ඇමැති මෛත්‍රිපාල සිරිසේන

සෞඛ්‍ය අමාත්‍යාංශයේ රෝහල්වල පවතින ශ්‍රේණි 09 ක්‌ සඳහා අලුතින් බඳවාගත් නිලධාරීන් 225 කට පත්වීම් ලිපි පිරිනැමේ.

රෝහල් වල පුරප්පාඩුව පැවැති ශ්‍රේණි 09 ක්‌ සඳහා අලුතින් නිලධාරීන් 225 ක්‌ බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගත්තේය.

මෙම පිරිසට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය ඉකුත් 09 වැනිදා නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්‌ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විනි.

මෙහිදී අදහස්‌ පළ කළ සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ තරම් වෘත්තිය සමිති විශාල සංඛ්‍යාවක්‌ වෙනත් කිසිදු අමාත්‍යාංශයක නැහැ. වෘත්තිය සමිති 105 ක්‌ තිබෙනවා. එයින් ක්‍රියාකාරී වෘත්තිය සමිති 15 ක්‌ විතර තිබෙනවා. මේ වෘත්තිය සමිති අතර තිබෙන ගැටලු නිරාකරණය කිරීම තමයි අපිට අමාත්‍යාංශයට ආපුවාම දීලා තිබෙන ජොබ් එක. අපේ සෞඛ්‍ය සේවාව ශක්‌තිමත් කිරීම හෝ සේවාවේ ගුණාත්මකභාවය ඇති කිරීම හෝ සම්පත් ලබා දීම නොවෙයි. අපිට වැඩි කාලයක්‌ ගත කරන්න වෙලා තියෙන්නේ වෘත්තිය සමිති අතරේ තිබෙන ගැටුම් නිරාකරණය කිරීමටයි.

මේකට විශේෂ ගැටුම් නිරාකරණය කිරීමේ නියෝජිතයෙක්‌ පත් කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශයට සිදු වී තිබෙනවා. ඒ කෙසේ වෙතත් මේ සෞඛ්‍ය සේවාව දුර්වල කරනවා නම් කරන්නේ මේ වෘත්තිය සමිති අතර තිබෙන ගැටුම්. ඔබ වෙන අදහස්‌ දැරුවත්, මොන මතය දැරුවත් සෞඛ්‍ය සේවාව පහළට වැටෙන්න හේතු වෙන්නේ මේ ගැටුම්. වැඩ වර්ජන එන්නේ අමාත්‍යාංශයේ තිබෙන වැරැද්දක්‌ නිසා නොව වෘත්තිය සමිති අතර තිබෙන ගැටුම් නිසා. ඒක මේ රටේ සිටින ජනතාවගේ අභාග්‍යය හා අවාසනාව.

නිදහස්‌ සෞඛ්‍ය සේවාව තුළ ලබා දෙන සම්පත්, විවිධ උපකරණ, තාක්‍ෂණික මෙවලම්, මානව සම්පත් සෑම අංශයකටම ඒ සියලුම දේ ලබා දෙනවා. අද මෙතන පත්වීම් ලබන අයගෙන් කොටසක්‌ කලින් සේවය කරපු අය. තවත් කොටසක්‌ අලුත් අය. පරණ අයයි, අලුත් අයයි එක්‌වුණාම වෙන දේ මම අලුතින් කියන්න අවශ්‍ය නැහැ. අර සත්තිගුම්භ ජාතකයේ එන කතාවේ වගේ තමයි. කැළේ මැද තිබුණ ගහක තිබුණ කුරුළු කූඩුවක පැටව් සුළඟක්‌ ඇවිල්ලා එක්‌ පැටියෙක්‌ සොරුන් සිටින තැනටත්, අනික්‌ පැටියා තාපසයෙක්‌ සිටින තැනකටත් වැටුණා. සොරුන් අසලට වැටුන කුරුළු පැටියාට වුණ දේ මොකක්‌ද කියලා ඔබලා දන්නවා. ඒක නිසා සොරුන් ළඟට වැටුන කුරුළු පැටවුන්ට වුණ දේ මේ මිනිස්‌ පැටවුන්ට වෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා.

අපි සියලු දෙනා කල්පනා කරන්නට ඕනි, අපේ වගකීම් හා යුතුකම් එක්‌ක කොතෙක්‌ කටයුතු කරනවාද කියන කාරණාව. අයිතිවාසිකම්වලට වඩා තමන්ගේ යුතුකම් හා වගකීම් ගැන කල්පනා කරන්න ඕන. පටු ෙච්තනාවක්‌ මත පමණක්‌ කටයුතු කරනවා නම් ඒ පුද්ගලයාගෙන් රටටවත්, ඒ ආයතනයටවත් වැඩක්‌ නැහැ. ඒ නිසා සිතාබලා කටයුතු කරන ලෙස මම ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.