අනාගත පරපුර රෝගීන් කරන්න එපා
- වින්නඹු මාතාවන්ගෙන් ඉල්ලීමක්‌

ශතවර්ෂ ගණනාවකට එහා ගිය අභිමානවත් අතීතයකට හිමිකම් කියන වින්නඹු කර්මය නිරන්තර ජන ගෞරවාදරයට පත්වූ උතුම් වූ සේවාවකි. රැයක්‌ දවාලක්‌ නොතකමින් අව් වැසි නොබලා විළිරුදාවෙන් පෙළුණ සුවහසක්‌ මවුවරුනට සරණ වූ අතීත වින්නඹු මාතාව විසින් ලැබූ එකම ප්‍රතිලාභය හදවත උතුරා ගිය නිරහංකාර සතුට පමණි. එවන් වූ ඉපැරැණි වෘත්තියක වර්තමාන උරුමකරුවන් වන අපි කිසි දිනෙක අපේ සොච්චම් පඩිපත උදෙසා හෝ ප්‍රතිලාභ උදෙසා අරගල නොකළ බව ඔබට සිහිපත් කර සිටිමු.

මෙරට මුල් පුරවැසියාගේ සිට සියලුම දෙනාහට මෙලොව එළිය දකින්නට ඔබේ මවට සහ ඔබට දෙවැනි මව වෙමින් ශක්‌තිය සැපයූ හද උතුරා ගිය මානව දයාවෙන් ඔබ සුරතට ගත් ඇය වින්නඹු මාතාවයි (Midwife). ඇගේ සුරතේ පහස ඔබ මෙලොව ලබන ප්‍රථම ස්‌පර්ශයයි.

ආදරණීය මවුවරුනි, මෙරට සෞඛ්‍ය බලධාරීන් සහ හෙද සේවාව මේ විනාශ කරමින් සිටින්නේ ඔබේ අයිතියයි. වින්නඹු කර්මය පිළිබඳ තාක්‍ෂණික කමිටු වාර්තා නොතකමින් සාමාන්‍ය දරු ප්‍රසූතියක වෘත්තීය අයිතිය පිළිබඳව මෙරට අද පවතින නීතිය උල්ලංඝනය කරමින් බලහත්කාරයෙන් වින්නඹු පුහුණුවට අවතීර්ණ වෙමින් සාත්තු සේවිකාවන් හෙවත් හෙදි නිලධාරීන් මේ ගෙන යන නිර්ල-ජිත රංගනය මෙරට සමස්‌ත සෞඛ්‍ය සේවයටම අවමානයක්‌ සේම ඉතාම භයානක ප්‍රතිඵල ගෙනදිය හැකි වැරදි සමාජ පූර්වාදර්ශයකි.

ජාත්‍යන්තර ප්‍රමිතිකරණයේ ඉහළ තලයකට මෙරට සෞඛ්‍ය දත්ත රැගෙන ගොස්‌, අද සීතල කාමර තුළ උස්‌ පුටුවල වැජඹෙමින් පුරාඡේරු පවසන්නට මෙරට සෞඛ්‍ය බලධාරීන්ට අවශ්‍ය සෞඛ්‍ය දත්ත සපයා දෙන්නට අව් වැසි නොතකමින් ගම් නියම් ගම් සිසාරා රිදුම් දෙන දෙපා ගෙවෙන තෙක්‌ ඇවිද ගෙන ගිය ඇය වින්නඹු මාතාව (Midwife) මිස වෙනත් කිසිවකු නොවේ.

වින්නඹු සේවාව මෙරට සෞඛ්‍ය ක්‌ෂේත්‍රය තුළ ඉතාම ගුණාත්මක ඉහළ සේවාවක්‌ මෙරට සුවහසක්‌ මවුවරුන්ට, දරුවනට, සමස්‌ත ජනතාවටම සපයමින් සිටි ඒ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහ අනෙකුත් සියලුම වෛද්‍යවරුන්ගේ පූර්ණ මගපෙන්වීම යටතේය. කිසිදු අවස්‌ථාවක වින්නඹු සේවාවේ අඩුවක්‌ පිළිබඳ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දී නැත. මවු මරණ අනුපාත, ළදරු මරණ අනුපාත අවම කරමින් දිවයිනේ සෑම අස්‌සක්‌ මුල්ලක්‌ම ආවරණය වන විශිෂ්ට ප්‍රතිශක්‌තිකරණ වැඩපිළිවෙළක්‌ දියත් කරමින් වැඩිහිටි සංරක්‍ෂණ සුවනාරි සායන, පූර්ව ළමා විය සංවර්ධන වැඩසටහන් ආදී සුවිශාල වපසරියක්‌ ආවරණය කරමින් වින්නඹු සේවාව මෙරට ඉතා උසස්‌ මට්‌ටමින් ක්‍රියාත්මක වෙමින් පවතී. එවන් සේවාවක්‌ තුළට තවත් සේවාවක්‌ රිංගවීමට උත්සාහ දැරීම විහිළුවට කාරණයකි. පවතින සේවාවේ ගැටලුවක්‌ මෙතෙක්‌ සිදුවී නොමැති අතර මෙම එකිනෙකාට වෙනස්‌ සේවාවන් දෙකක්‌ එකට ඈඳීම මෙරට මුදල් හා කාලය නාස්‌ති කිරීමකි.

ඒ මන්ද යත් හෙදියක්‌ පුහුණු කිරීමට රුපියල් මිලියන 1.8 ක මුදලක්‌ සහ වසර 03 ක කාලයක්‌ වැය කිරීමට සිදුවන අතර වින්නඹු මාතාවන් පුහුණු කිරීම සඳහා රුපියල් මිලියන 1.1 ක මුදලකුත් වසර 1 1/2 ක කාලයකුත් වැයවේ. තවදුරටත් පුහුණු හෙදියක්‌ වින්නඹු සේවය සඳහා පුහුණු කරවුවහොත් එම මුළු පුහුණුව සඳහා රුපියල් මිලියන 2.9 ක මුදලක්‌ද වසර 4 1/2 ක කාලයක්‌ද වැයවේ.

එහෙයින් දැනට පවතින 3800 ක්‌ වූ වින්නඹු පුරප්පාඩු සංඛ්‍යාව වින්නඹු පුහුණුව සහිත හෙදියන්ගෙන් පිරවීමට යන මුදලට සාපේක්‍ෂව වින්නඹු මාතාවන්ගෙන් පමණක්‌ පිරවීම සඳහා වැයවන මුදල පළවූ ආකාරයට යන වියදමින් 1/2 ක්‌ වන අතර කාලයෙන් 1/3 ක්‌ වේ. එපමණක්‌ නොව වින්නඹු මාතාවන්ගේ පුරප්පාඩු පුහුණු වින්නඹු මාතාවන්ගෙන්ම පිරවීම තුළ එහි ප්‍රතිලාභ 2015 වන විට මෙරට ජනතාවට හිමිවේ.

එසේම වින්නඹු කර්මය සහ ළදරු ළමා සත්කාරය හා බැඳුණු වින්නඹු මාතාවගේ සේවය අවශ්‍ය වන්නේ රෝහලක මවු ළදරු ඒකක වලටය. මෙරට ප්‍රධාන පෙළේ මාතෘ රෝහල් හැරුණු කොට අනෙකුත් මූලික රෝහල්, දිසා රෝහල්, පර්යන්ත ඒකක, වතු රෝහල් හා මාතෘ නිවාස ආදියෙහි ප්‍රසව හා නාරිවේද වාට්‌ටු ඇත්තේ 4 ක්‌ 3 ක්‌ හෝ 1 ක්‌ වැනි සංඛ්‍යාවකි. රෝහල සතු ඉතිරි සියලුම ඒකක තුළ හෙදියට සේවය කළ හැකිය. ඒ ඇයගේ වෘත්තිය කටයුත්ත රෝගී සාත්තුව බැවිනි. මෙතරම් විශාල වපසරියක හෙදියට සේවය සැපයීමට අවකාශය තිබියදීත් මෙරට විශාල සංඛ්‍යාවක්‌ හෙදි පුරප්පාඩු පවතින බව කියමින් වාට්‌ටු, ශල්‍යාගාර, ළදරු ළමා ඒකක, දැඩි සත්කාර ඒකක වසා දමා ඇති යුගයක හෙදිය හෙදකම හැර අන් සියල්ල බදා ගැනීමට පොරකමින් සිටී. මෙය ලොවට නව දර්ශනයක්‌ද ගෙන එමින් "නයිටිං ගේල් මැතිනිය" මෙලොවට දායාද කළ උතුම් වූ හෙදකමට අවමානයක්‌ බව අපි කනගාටුවෙන් යුතුව ප්‍රකාශ කරමු.

වින්නඹු කර්මය හා හෙද සේවය පැහැදිලිsවම තාක්‍ෂණික සේවාවන් දෙකකි. හුදෙක්‌ තම පඩිපත සහ ප්‍රතිලාභ වැඩිකර ගැනීමේ අරමුණින්ම වින්නඹු සේවාව උදුරා ගැනීමට හෙදියන්, සැරසෙන බව අප නිර්භයව කියමු. මවුවරුනි ඔබේත් ඔබේ දරුවාගේ සුවය තකා ඉතිහාසයේ කිසි දිනෙක හෙද සේවාව අරගල නොකළ බව අපට වඩා හොඳින් ඔබ දන්නා සත්‍යයකි.

සෙනෙහෙබර පීතෘ හදක්‌ හිමි ගරු සෞඛ්‍ය ඇමැතිතුමනි වින්නඹු කර්මය අපයෝජනය කිරීමේ ජාතික අපරාධයට දායක වෙමින් මෙරට අනාගත පරපුර රෝගීන් කිරීමේ පාපයට දායක නොවන්නැයි නැවත නැවතත් ඔබතුමාගෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

- වින්නඹු මාතාවන්ගේ
රෝහල් කමිටු එකමුතුව

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.