බාල බෙහෙත් යළි හොර පාරේ වෙළෙඳපොළට

"බෙහෙත් ජාවාරම දෙවැනි වනුයේ අවි ජාවාරමට පමණකි" යනුවෙන් ප්‍රසිද්ධ කියමනක්‌ තිබේ. මෙම කියමන කොපමණ සත්‍යයද යත් මේ වන විට මෙරටද බෙහෙත් ජාවාරමෙහි ගොදුරක්‌ බවට පත්ව ඇති බව නොරහසකි. රෝගීන්ගේ භාවිතයට ගෙන්වනු ලබන බෙහෙත් වර්ග බෙහෙත් සපයනු ලබන සමාගම් හා ඒවා ආනයනය කරන්නන්ගේ ප්‍රතිලාභය පෙරදැරි කරගෙන මෙරටට ගෙන්වීම කනගාටුවට කරුණකි.

කොමිස්‌ මුදලට ගිජු වී තත්ත්වයෙන් බාල හා කල් ඉකුත් වූ බෙහෙත් වර්ග කෙළින්ම මෙරට රෝහල්වලට බෙදා හැරීමට පෙළඹී සිටි බෙහෙත් ජාවාරම්කරුවන් දැන් එම තත්ත්වය ජන මාධ්‍යයන් හරහා අනාවරණය වීමත් සමගම සෞඛ්‍ය ක්‌ෂේත්‍රයේ ඉහළ බලධරයන්ගේ අනුමැතිය ඇතිව වක්‍ර මාර්ගයෙන් සිය ජාවාරම කරගෙන යැමට පටන් ගෙන තිබේ.

මෙහිදී සිදුවනුයේ මෙම ජාවාරම්කරුවන් විසින් ගෙන්වනු ලබන යම් කිසි බෙහෙත් වර්ගයක්‌ තත්ත්වයෙන් බාල බව පරීක්‍ෂණවලදී තහවුරු වූ විට සාමාන්‍ය පරිදි එම බෙහෙත් වර්ගය භාවිතයෙන් ඉවත් කළ පසු සෞඛ්‍ය බලධාරීන්ට අල්ලස්‌ මුදලක්‌ ලබාදී කිසිවෙකුටත් නොදැනෙන අයුරින් නැවත එකී බාල බෙහෙත් වර්ගය රෝගීන්ට නිකුත් කිරීමය. එකී බෙහෙත් වර්ගය ලෝකයාට තහනම් බව ප්‍රසිද්ධ කර තිබීම නිසා එම බෙහෙත නැවත තමන්ට පරිභෝජනය කිරීමට සිදුවෙතැයි කිසිදු රෝගියකු සිහිනෙන්වත් නොසිතති.

එහෙත් සිදුවන්නේ වෙනත් දෙයකි. කෙටි කලකින්ම අල්ලස්‌ මුදලට සෞඛ්‍ය බලධාරීන් ලවා අප්‍රසිද්ධියේම සිය තහනම ඉවත් කර ගන්නා බෙහෙත් සමාගම් තත්ත්වයෙන් බාල බව තහවුරු වූ බෙහෙත් වර්ගය නැවත රෝගියා අතට පත් කරලීමට කටයුතු කරති.

මෙම තත්ත්වය මෙරට භාවිත වන ඇතැම් රූපලාවන්‍ය ආලේපන හා ආහාර වර්ග සම්බන්ධයෙන්ද සත්‍ය බව මේ වන විට අනාවරණය වී තිබේ. රෝගීන්ගේ යහපත තකා පෙනී සිටිය යුතු බලධරයින් තමන්ට හිමි වන අල්ලස්‌ මුදලට රෝගීන්ගේ ජීවිත වැනසීමට කටයුතු කිරීම සැබැවින්ම කනගාටුවට කරුණකි.

මෑතකදී මත්ද්‍රව්‍ය විශේෂයක්‌ වන "කෝඩේන්" නමැති සංඝටකය අඩංගුව තිබීම හේතුවෙන් පුද්ගලික ඔසුසල්වලින් භාවිතයෙන් ඉවත් කළ කැස්‌ස සඳහා ලබා දෙන සිරප් වර්ගයක්‌ නැවත හොර රහසේ පුද්ගලික ඔසුසැල්වලට නිකුත් කර තිබීම මෙම තත්ත්වයට ලබා දිය හැකි හොඳම මෑතකාලීන නිදසුනකි. මෙම සිරප් වර්ගය වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කරන ලද බලධාරියා එම සිරප් වර්ගය තහනම් කිරීමේදීද ප්‍රධාන භූමිකාව ජනමාධ්‍ය ඉදිරියේ රඟදැක්‌වූ අයකු වීම විශේෂත්වයකි.

මෙම බලධරයා මේ අයුරින්ම තත්ත්වයෙන් බාල බව තහවුරු වන බෙහෙත් වර්ග හා රූපලාවන්‍ය ආලේපන වර්ග තහනම් කර දමා පසුව ඒවා හොර රහසේම නැවත වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධව ප්‍රචලිතය.

මේ අනුව තත්ත්වයෙන් බාල හා අපද්‍රව්‍ය සහිත බව තහවුරු වූ බෙහෙත් වර්ග රැසක්‌ මෙරටට ගෙන්වූ බෙහෙත් සමාගම් අසාදු ලේඛනයට (බ්ලැක්‌ ලිස්‌ට්‌) ඇතුළත් නොවී තවමත් මෙරටට බෙහෙත් සපයනුයේ ඉහත කී බලධරයාට පිං සිදු වන්නට බව සනාථ වී තිබේ. මෙම බලධරයා ජනමාධ්‍යයන් ඉදිරියේ බාල බෙහෙත් වර්ග සපයන සමාගම් අසාදු ලේඛනයට ඇතුළත් කරන බවට පුන පුනා ප්‍රකාශ කර සිටියද මෙතෙක්‌ එම එකදු සමාගමක්‌ හෝ එම ලේඛනයට ඇතුළත් කර නොමැති බව සෞඛ්‍ය වෘත්තීය සමිති පෙන්වා දෙයි.

මේ අයුරින් බාල බෙහෙත් සපයා අසාදු ලේඛනයට ඇතුළත් කළ ඉන්දීය බෙහෙත් සමාගම් කිහිපයකම තහනම ඉවත් කිරීමට මෙම බලධරයා විසින් කටයුතු කර තිබේ.

මහරගම පිළිකා රෝහලට අත්‍යවශ්‍ය පිළිකා නාශක එන්නතක්‌ ගෙන්වීමේ ටෙන්ඩරය කොමිස්‌ මුදලට යට වී අපද්‍රව්‍ය සහිත බෙහෙත් වර්ග මෙරටට ගෙන්වූ බාල බෙහෙත් සමාගමකට ලබාදීම සඳහා එක්‌ දින සේවා ලියාපදිංචිය එම සමාගමට ලබා දුන්නේද මෙකී බලධරයා විසිනි.

මෙම තත්ත්වය මත වර්තමානයේ රෝගී ජනතාවට සිදුව ඇත්තේ බෙහෙත් ලබාගෙන රෝගී තත්ත්වය සුවපත් කර ගැනීමට නොව මාරයා ළඟා කර ගැනීමට බව පෙනී යයි. මෙම තත්ත්වය මඟහැරවීමට නම් බාල බෙහෙත් ගෙන්වනු ලබන සමාගම් අසාදු ලේඛනයට ඇතුළත් කර එම සමාගම්වලින් බෙහෙත් ගෙන්වීම නතර කිරීමේ නිසි ක්‍රමවේදයක්‌ ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දැන්වත් කටයුතු කළ යුතුය.

එහෙත් අදටත් අමාත්‍යාංශයට මෙකී කොමිස්‌ මුදලට ගිජු සෞඛ්‍ය බලධාරින්ට එරෙහිව පියවර ගන්නවා තබා බාල බෙහෙත් ගෙන්වන සමාගම්වලට එරෙහිව වැට බැඳීමටවත් හැකිවී නොමැත.

ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කර මෙම තත්ත්වයෙන් බාල බෙහෙත් මාµsයාව නවත්වන බවට ජනමාධ්‍යයන් හමුවේ පුරසාරම් දොඩනුයේද මෙකී මුදලට ගිජු වී ජනතාවට බාල බෙහෙත් සැපයීමට කටයුතු කරන කොමිස්‌ කාක්‌කන්මය. එහෙත් අවාසනාවකට මෙන් තවමත් එවැනි ප්‍රතිපත්තියක්‌ ක්‍රියාත්මක වන දිනයක්‌ හෝ පෙනෙන්නට නොමැත.

මෙම තත්ත්වය නැති කිරීමට නම් අනිවාර්යයෙන් මහාචාර්ය සේනක බිබිලේ දර්ශනය පෙරදැරි කරගත් ජාතික ඖෂධ ප්‍රතිපත්තියක්‌ මෙරට ක්‍රියාත්මක විය යුතුය. එවැනි ප්‍රතිපත්තියක්‌ නොමැති තාක්‌ කල් කොමිස්‌ මුදලට යටවී තත්ත්වයෙන් බාල බෙහෙත් ගෙන්වීමේ ජාවාරම නම් නතර කිරීම අසීරු වනු ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය දැන්වත් මෙකී තත්ත්වයෙන් බාල බෙහෙත් වර්ග සපයන සමාගම් නිසි ලෙස තහනම් කිරීමේ වැඩපිළිවෙළක්‌ ක්‍රියාවට නැගිය යුතුව ඇත. එසේ නොවුවහොත් නිදහස්‌ සෞඛ්‍ය සේවාව යටතේ ජනතාවට නොමිලයේ ලැබෙන බෙහෙත්වලට නිසි ප්‍රමිතියක්‌ නොලැබෙනු ඒකාන්තය.

* ඒමන්ති මාරඹේ
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.