පංචායුධය ආභරණයක්‌ නොව ආරක්‍ෂාවකි

එන්. ආර්. එම්. ජයවර්ධන

අලුත උපන් බිළිඳාට පංචායුධයක්‌ පළඳවන්නේ ඇයි ද යන්න මානව ඉතිහාසයෙන් තොරතුරු සොයා බලමු. මානව ඉතිහාසයේ ආයුධ පිළිබඳව සාක්‍ෂි හමුවන්නේ දඩයම් යුගයෙනි. මෙම ආයුධ ගල් පතුරු උපයෝගි කරගෙන සකස්‌ කර ගන්නා ලද්දකි. සතුන්ගේ මස්‌ කැබලි කර ගැනීම සඳහා මෙය උපකාරී විය. මානව සමාජය ක්‍රමක්‍රමයෙන් දියුණුවීමත් සමඟ මිනිසා විසින් යපස්‌ නිධි සොයා ගන්නා ලදී. මෙම යපස්‌ උණුකර ගැනීමෙන් විවිධ ආකාරයේ ආයුධ වර්ග සකස්‌ කර ගන්නා ලදී. ක්‍රමයෙන් දියුණු වූ මිනිසා මෙම ආයුධ භාවිත කරගෙන එදිනෙදා ජීවිතයේ කටයුතු පහසු කරගත්තේය. ඉන් පසුව සතුන් දඩයම් කර ගැනීම සඳහා ඊතල ද හෙල්ල වැනි ආයුධ ද සකස්‌කර ගත්තේය.

මානව සමාජයේ අතීතයට පිවිසෙන විට අපේ රටේ යුද්ධ සඳහා භාවිත කළ ආයුධ අතර කඩුව, දුන්න, ඊතලය සහ පළිහ (පාරාවළල්ල) උපයෝගි කරගත් බව ඉතිහාසයෙන් පෙනී යයි. එසේම යම් රජෙක්‌ යුද්ධයෙක්‌ ජයගත් පසු එම යුද ජයග්‍රහණයේ සතුට ප්‍රකාශ කළේ සක්‌ පිඹීමෙනි. මෙම යුද ජයග්‍රහණයේදී පිඹින ලද හක්‌ගෙඩිය ද ආයුධයක්‌ වශයෙන් භාවිත කොට ඇත. මෙම අතීත සාක්‍ෂි අනුව පංචායුධයට මෙම ආයුධ යොදා ගෙන ඇති බව පහත කවියෙන් සනාථ වේ.



"එනම් සක මුගුරු ද

කඟ දුනු බලය ආයු ද

කොටා රං පතෙහි ද

අමුණමින් රං හුයෙහි මනන ද"



හක්‌ගෙඩිය, මුගුර, කඩුව, දුන්න සහ පාරාවළල්ල යන ආයුධ පහ රත්‍රං පතක කැටයම් කොට රත්‍රං දම්වැලක අමුණාගෙන සකස්‌ කර ගන්නා ලද ආභරණය සුබ මුහුර්තයකින් පිරිත් කර නක්‍ෂත්‍රානුකූලව සියලු චාරිත්‍ර විධි ඉටුකොට ඉපදී දින පහත් දහයත් අතර කුඩා බිළිඳු දරුවාගේ ගෙළේ පැළඳීම අතීතයේ දෙමාපියන් සැලකුවේ මංගල සම්මත කරුණක්‌ ලෙසිනි.

මෙය අතීතයේ දී අපේ ගැබ්ගත් මවුවරුන්ට ද පළ ඳා ඇති බව යාග ශාන්තිවලදී කියවේ. ඒ බව පහත පැරණි කවියෙන් පැහැදිලි වේ.

"බාල ග්‍රහ දුරු වෙන

දමමින් පිරිත් මතු රෙන

දින සුබ මොහොත කින

නැබට වැටෙනට ගෙළෙහි පළ දින"



මේ ආකාරයෙන් පංචායුධයට සුබ දිනයක සුබ මුහුර්තියකින් පිරිත් කර සියලු නක්‍ෂත්‍රානුකූලව චාරිත්‍ර ඉටුකොට රත්තරං දම්වැලකින් නාභියට වැටෙනතෙක්‌ දිගින් ගෙළෙහි පැළඳිය යුතු බව මෙම පැරණි කවෙන් පැහැදිලි වේ. මෙයින් අතීත මවුවරුන් බලාපොරොත්තු වී ඇත්තේ බාලගිරි යක්‍ෂණියන්ගෙන් ගැබිනි බව මෙන්ම උපදින දරුවාද ආරක්‍ෂා කර ගැනීමයි. කුඩා දරුවන්ට බාලගිරි දොෂ වැළඳෙතැයි යන විශ්වාසය අතීතයේ මෙන්ම වර්තමානයේද දක්‌නට ලැබෙයි. මේ බව වර්තමානයේ ග්‍රාමීය පරිසරයේ මෙන්ම නාගරික පරිසරයේ ද කුඩා දරුවන් සිටින නිවෙස්‌වල ඉදිරිපස දොරේ හෝ උළුවස්‌සේ "බාලගිරි අද නොවේ හෙට" යන වැකිය දක්‌නට ලැබේ.

අතීතයේ දෙමාපියන් බිළිඳු දරුවාගේ ගෙළෙහි මෙම පංචායුධය රනින් නිමකොට පැළඳුවේ කුඩා අවධියේ සිටම මෙය ශරීරයේ ස්‌පර්ශ කිරීමෙන් දරුවාට ඇති වන ඇස්‌වහ කටවහ ග්‍රහ අපල ගිරිදොaෂ ආදී ආන්ත්‍රාවන්ගෙන් ආරක්‍ෂා වෙනවා මෙන්ම තේජස අභිමානය වීරත්වය ඔවුන් තුළ ජනිත කරවීම පිණිසයි. මේ බව පැරණි බෞද්ධ සාහිත්‍යයේ එන පංචායුධ කුමාරයාගේ කතාව කුඩා දරුවන්ට ඉතා රසවත්වූ කතාවකි.

සත් හැවිරිදි වියේ පසුවන කුඩා පංචායුධ කුමාරයා තමා ගොදුරු කරගන්න ආ යක්‍ෂයාට අතේ තිබුණ සියලු ආයුධවලින් පහර දීමෙන් පසුව යක්‍ෂයා ළඟට ගොස්‌ අතින් පයින් හිසින් ද පහරදී යක්‍ෂයාගේ ඇඟේ ඇලී සිටියත් නිර්භීතව ප්‍රකාශ කළ වචනයේ බලයෙන් මරණයෙන් බේරුණ බව පැහැදිලි වේ.

අපේ පැරණි මවුපියන් සිය දරුවන්ට කුඩා අවධියේ සිටම ආගම දහම සිරිත් විරිත්, නක්‍ෂත්‍රය ආදීන් පිළිබඳව අවබෝධය ලබා දෙමින් ආගමික හැඟීම් මුසු අභිමානය වීරත්වය බිළිඳු වියේ සිටම දරුවන් තුළ ජනිත කරවීමට ඇප කැප වූ බව රත්තරං වලටත් වඩා වටිනා දරුවන්ට රත්තරං පංචායුධයක්‌ ආරක්‍ෂක පළඳනාවක්‌ ලෙස පැළඳවූවේ මෙම ශ්‍රේෂ්ඨ අරමුණ සනාථ කිරීමේ පරම පවිත්‍ර ෙච්තනාවෙනි.

මෙම ලිපිය සැකසීමේදී මගේ පූර්වාචාර්යවරුන් ලබාදුන් දැනුම මෙන්ම පැරණි බෞද්ධ පොත් පත් ශාන්ති කර්ම පොත්පත් පරිශීලනය කර කරුණු උපයෝගී කර ගැනීමට සිදුවුණා. එම පොත් පත් කතුවරුන්ට මගේ හදබැති ස්‌තුතිය පුද කරමි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.