වම් ඉවුර

භික්‍ෂුව හා මැරකම

අපි සිංහල අවුරුද්දට පෙරත් පසුත් දේශපාලනික මැර ක්‍රියා දෙකක්‌ රූපවාහිනී නාලිකා ඔස්‌සේ දුටුවෙමු. මේ කාරණා දෙකම ගැන කතා කළ යුතු යෑයි සිතුවෙමි. ඉන් එක මැර ක්‍රියාවක්‌ වූයේ බොදුබල සේනාවේ භික්‍ෂූන් පිරිසක්‌ බෞද්ධ භික්‍ෂූන් හා වෙනත් ආගම්වල පූජකයන්ද හවුල් වී ජාතික බල සේනාව නමින් සංවිධානය කර තිබූ පුවත්පත් සාකච්ඡාවක්‌ රූපවාහිනී කැමරාවල සටහන් වන අයුරින්ම කඩාකප්පල් කිරීමයි. අවුරුද්දෙන් පසුව සිදුවූ මැර ක්‍රියාව වූයේ හම්බන්තොට වරාය හා ගුවන් තොටුපළ නිරීක්‍ෂණය කීරීමට ගිය එජාප මන්ත්‍රීවරුන් පස්‌ දෙනකුගේ සංචාරය දෙනෝදාහක්‌ බලා සිටියදී කඩාකප්පල් කිරීමයි. මේ අවස්‌ථා දෙකේදීම කඩාකප්පල්කාරීන්ට කීමට හේතු තිබිණි. බොදුබල සේනාව ප්‍රවෘත්ති සාකච්ඡාව කඩාකප්පල් කළේ එය විල්පත්තු වනයේ මුස්‌ලිම්වරුන් කරන අනවසර පදිංචිකිරීම් සාධාරණීකරණය කිරීමට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ය යන පදනම මතය. අනෙක්‌ අතට හම්බන්තොට සිද්ධියට මුල් වූ ආණ්‌ඩු පක්‍ෂයට අයත් පිරිස්‌ පවසනු ඇත්තේ හම්බන්තොට ව්‍යාපෘති නිරන්තරයෙන්ම විවේචනය කළ එජාපයේ මන්ත්‍රීවරුන් පස්‌ දෙනෙක්‌ මේ ආකාරයට එම ප්‍රදේශයට පැමිණ සංචාරයක්‌ කිරීම සිතාමතාම ඒ ප්‍රදේශයේ ආණ්‌ඩු පාක්‍ෂිකයන්ට එල්ල කරන ලද ප්‍රකෝප කිරීමක්‌ බවයි.

මේ සිද්ධීන් දෙකෙන් වඩාත්ම බරපතළ සිද්ධිය වන්නේ භික්‍ෂූන් පිරිසක්‌ තමන්ගේ විරුද්ධවාදීන්ගේ පුවත්පත් සාකච්ඡාවකට පැන කලහකාරී ලෙස හැසිරී බලහත්කාරයෙන්ම එය කඩාකප්පල් කිරීමයි. මෙය කිසිසේත්ම මේ රටේ සිංහල බෞද්ධ ජනතාව භික්‍ෂුවකගෙන් බලාපොරොත්තු වන හැසිරීම් විලාසයක්‌ නොවේ. භික්‍ෂුවකගේ බාහිර සංවරය, බෞද්ධ සභ්‍යත්වය සමග තදින්ම බැඳී තිබෙන කාරණයකි. පසුගිය වකවානුව පුරාම භික්‍ෂූන් ගිහියන් මෙන්ම සටන්පාඨ කියමින් පෙළපාලි යැම පොලිසිය සමග ගැටුම් ඇතිකර ගැනීම අපි දුටුවෙමු. පසුගියදා පුවත්පත් සාකච්ඡාවකට පැන මුළු ලෝකයටම පෙනෙන ආකාරයට තවත් භික්‍ෂුවකට තර්ජනය කොට බිය ගැන්වීම මේ පිරිහීමේ එක්‌තරා උච්ඡ අවස්‌ථාවක්‌ හැටියට අපට හැඳින්විය හැක. අතීතයේදී රටේ යම් අර්බුදකාරී අවස්‌ථාවක්‌ ඇතිවූ විට යුද්ධයට ගිය භික්‍ෂූන් ගැන අපි අසා ඇත්තෙමු. එසේ නමුත් ඔවුන් යුද්ධයට ගියේ කහ සිවුර ගලවා උපැවිදි වී ගිහියන් හැටියටය. සිවුර ඇඳගෙන යුද්ධයට යැමක්‌ ගැන අපි කොතැනකවත් අසා නැත්තෙමු. දැන් අපි වසර දෙක තුනක සිට දකින්නේ නොයෙක්‌ හේතු දක්‌වමින් සිවුර ඇඳගෙනම ගිහියන්ටත් වඩා කලබලකාරී ආකාරයට භික්‍ෂූන් හැසිරෙන දර්ශනයකි. මෙවැනි දෙයක්‌ සැබවින්ම අවශ්‍යද? මේ රටේ ඔය ආකාරයට කලබල කිරීමට සැබවින්ම හේතු තිබෙනවාද? ගිහියන්ට කරගත නොහැකි භික්‍ෂූන් වහන්සේලා මැරකමින් කළ යුතු කිසිම කර්තව්‍යයක්‌ අද තිබෙනවාද?

විල්පත්තු වනයේ මුස්‌ලිම්වරුන් අනවසර පදිංචි කරවීම් සිදුකරනවා නම් ඒවා ගැන කතා කිරීමට චම්පික රණවක, උදය ගම්මන්පිල, විමල් වීරවංශ, ගුණදාස අමරසේකර වැනි ගිහියන් විශාල පිරිසක්‌ සිටිති. මේ වනතෙක්‌ මේ රටේ සියලුම ප්‍රශ්න විසඳුවේ ගිහියන්ය. ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානයේ සියලුම නායකයන්ට වෙඩි තබා පරලොව යෑවුයේ ගිහියන්ය. මෑතකදී යළිත් දෙමළ ත්‍රස්‌තවාදයට මුල පිරීමට උත්සාහ ගත් "ගෝපි" නමැත්තා හා ඔහුගේ සගයන්ට වෙඩි තැබුවේත් ගිහියන්ය. මුළු ලෝකයම මවිත කළ ඒ යුද ජයග්‍රහණය ලැබුවේ ගිහි පිරිස්‌ පමණි. එම නිසා අනවසර පදිංචිකරවීමක්‌ වැනි දෙයක්‌ විස¹ ගැනීමට ගිහියන්ට හැකියාව ඇත. ඔය ප්‍රශ්නය විමල් වීරවංශ හෝ චම්පික රණවක කැබිනට්‌ මණ්‌ඩලයේදී පෙන්වා දීමෙන් හෝ පුවත්පත් සාකච්ඡාවකදී කීමෙන් පමණක්‌ විස¹ ගත හැකි දෙයකි.

භික්‍ෂූන් වහන්සේ එවැනි දේ සම්බන්ධයෙන් සිවුරු කරට ගෙන ප්‍රසිද්ධියේ කලබල කිරීමක්‌ අවශ්‍ය නැත. එවැනි දේවල්වලින් සිදුවන්නේ ඔවුන් කතා කරන ප්‍රශ්නය ගැන අවධානය යොමු වනවාට වඩා භික්‍ෂුවගේ අවිනීත හැසිරීම කෙරෙහි අවධානය යොමුවී මුළු බෞද්ධ සංහතියටම මහත් අවමානයක්‌ සිදුවීමයි. මේ භික්‍ෂූන් තමන්ගේ හැසිරීමෙන් සිංහල බෞද්ධ ජනතාව තුළ මහත් කම්පනයක්‌ ඇතිකරන බව හො¹කාරවම දැන දැනම නොයෙක්‌ හේතු කියමින් මේ ආකාරයට හැසිරෙති. පසුගිය වකවානුව පුරාම බොදුබල සේනාව, සිහල රාවය, රාවණා බළකාය වැනි සංවිධානවල භික්‍ෂූන් මුළු ලෝකයටම පෙනෙන ආකාරයට ප්‍රසිද්ධියේ මැරයන් මෙන් අවිනීතව හැසිරුණේ නොයෙක්‌ හේතු කියමින් වුවත් මේ එක හේතුවක්‌වත් ඔවුන්ට විසඳීමට වුවමනාවක්‌ ඇති බව පෙනෙන්නට නැත. ඔවුන් මෙතෙක්‌ කර ඇත්තේ අද එක හේතුවක්‌ හෙට තවත් හේතුවක්‌ පෙන්වමින් පෙළපාලි පවත්වමින් පොලිසිය සමග ගැටෙමින් නොයෙක්‌ මැර ක්‍රියාකාරකම්වල යෙදෙමින් බුදු දහමට නිගා කිරීම පමණි. එම නිසා මේ ව්‍යාපෘතිවල මුඛ්‍ය පරමාර්ථය වන්නේ බෞද්ධ ශාසනයේ ප්‍රතිරූපය බිඳ දැමීම බව සිතීමට හේතු සාධක ඇත.

යුද්ධය පැවති සමයේ මේ බොදුබල සේනාව, සිංහල රාවය, රාවණා බළකාය වැනි සංවිධානවල එක භික්‍ෂුවකගේවත් නම් ජනතාව අතර ප්‍රසිද්ධව තිබුණේ නැත. මොවුන්ගෙන් එක්‌ අයෙක්‌ වත් අඩුම වශයෙන් බණ කීමෙන් හෝ තමාගේ පන්සල් අවට සමාජ සේවය කිරීමෙන්වත් ප්‍රසිද්ධියක්‌ ලබා තිබුණේ නැත. රට ජාතිය ගැන මෙතරම් කැක්‌කුමක්‌ තිsබේනම් යුද්ධය පැවති සමයේ මේ භික්‍ෂූන් මායිම් ගම්මානවලට ගොස්‌ සිංහල ජනතාව සංවිධානය කිරීම වැනි කටයුතු කළ යුතුව තිබිණි. නමුත් මොවුන්ගෙන් එක්‌ අයෙක්‌වත් එවැනි දෙයක්‌ වත් කර ඇති බවක්‌ පෙනෙන්නට නැත. මේ සංවිධාන තුනේම භික්‍ෂූන් ප්‍රසිද්ධ වී ඇත්තේ නොයෙක්‌ මැර ක්‍රියා කිරීම හා භික්‍ෂුවකට තබා මැර දේශපාලනඥයකුටවත් නොගැළපෙන ආකාරයට අවිනීතව හැසිරීමෙන් පමණි. මේ කරුණු කාරණා ගැන සියලුම සිංහල බෞද්ධයන් ඉතා බරපතළ ලෙස කල්පනා කළ යුතුය.

යුද්ධය ජයගත් පසු සිංහලයා සිටියේ ආත්ම ගරුත්වය නැවත ලබාගත් තැනකය. අපට ආත්ම අභිමානයක්‌ තිබිණි. නමුත් දැන් ඒ අභිමානයට කැළලක්‌ වී ඇත්තේ මේ භික්‍ෂූන්ගේ හැසිරීමය. මේ රටේ ගිහියන්ට කලබල වීමට හේතුවක්‌ නැති වුවත් භික්‍ෂූන්ට කලබල වීමට පමණක්‌ නොව මැර ක්‍රියාවල යෙදීමටද හේතු පෙනේ. මේ අරුම පුදුම තත්ත්වය ඇතිවූයේ භික්‍ෂූන් පිරිසක්‌ නෝර්වේවලට ගිය පසුවය. ඒ වන තෙක්‌ අද මේ කලබල කරන භික්‍ෂූන් ද සිටියේ බොහෝ දුරට සන්සුන්වය. නමුත් අර ගමනින් පසු හැමෝටම එකවර වලිප්පුවක්‌ සෑදෙන බවක්‌ පෙනෙන්නට තිබිණි. නෝර්වේ රාජ්‍යය තම රටට ඒමට වීසා ලබා දෙන්නේ ඔවුන්ට ප්‍රයෝජනයක්‌ ඇති අයට පමණි. 1990 දී මා ද අයිලන්ඩ් පුවත්පතට සම්බන්ධ වූ අලුත එවක ඔස්‌ලෝ විශ්වවිද්‍යාලයේ සේවය කරමින් සිටි ආචාර්ය කුමාර් රූපසිංහ එම විශ්වවිද්‍යාලයේ මාස තුනක වැඩසටහනකට ආරාධනා කළේය. මා එකල තරුණයකු වුවත් ජවිපෙ දෙවන කැරැල්ල ගැන ද අයිලන්ඩ් පුවත්පතට ලිපි පෙළක්‌ ලියා ඉංග්‍රීසි පාඨකයාගේ අවධානයට යොමුවී සිටි අයෙකි. ඔස්‌ලෝ විශ්වවිද්‍යාලයේ වැඩසටහන ද ත්‍රස්‌තවාදය ඇතුලු කාරණා සම්බන්ධව විය. නමුත් නෝර්වේ තානාපති කාර්යාලයෙන් මට එම වැඩසටහනට සහභාගි වීමට වීසා දුන්නේ නැත. ඔවුන් වීසා දෙන්නේ තමන්ට යම් ප්‍රයෝජනයක්‌ ඇති අයට පමණි. ඇමරිකා එක්‌සත් ජනපද තානාපති කාර්යාලයද එසේමය. සාමාන්‍යයෙන් යම් රටක ජාතිවාදී ගැටුම් ඇතිකරමින් කලබල කරන පිරිස්‌වලට ඇමරිකානු තානාපති කාර්යාලය වීසා ලබාදෙන්නේ නැත. නමුත් බොදුබල සේනාව පසුගිය වකවානුවේ ඇමරිකාවේත් සංචාරය කළ බව අපි දනිමු. ඇමරිකාවෙන් වීසා නොදී සිටීමට අපරාධයක්‌ කළ යුතුම නැත. ඔවුන් ඉන්දියාවේ නරේන්ද්‍ර මෝඩිට වත් වීසා දෙන්නේ නැති තැන බොදුබල සේනාව ලංකාවේ කලබල ඇතිකිරීමට පටන්ගත් පසුත් ඔවුන්ට වීසා ලබා දෙයි. මෙහි ඇති අරුමය කුමක්‌ද? ඉන් පසු ලංකාවේ ආගමික සංහිඳියාව නැතැයි කියමින් එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ යෝජනා සම්මත කරගත්තේත් ඇමරිකාවමය·

බොදු බල සේනාව, රාවණා බලකාය, සිහල රාවය වැනි සංවිධාන වලට පිරිස්‌ එකතු කර තැන් තැන්වල කලබල ඇති කිරීමට සම්පත් ලැබෙන්නේ කෙසේද? මේ ආකාරයට පිරිස්‌ එකතු කර කලබලවලට යෙදවීම දේශපාලනඥයන්ටත් පහසු කාරණයක්‌ නොවන බව අපි දනිමු. දේශපාලනඥයන්ද එවැනි කටයුතු කරන්නේ තම ගෝලබාලයන්ට උදවු පදවු කොට අත දිග හැර මුදල් වියදම් කිරීමෙනි. මේ රට ජාතියට ඇති කැක්‌කුම නිසා එන පිරිස්‌ යෑයි කීම බොරු කතාවකි. එසේ නම් දේශපාලනඥයන්ටද පක්‍ෂය ගැන කැක්‌කුම නිසා ඕන දේකට එන පිරිස්‌ සිටිනවා විය යුතුය. එවැනි පිරිස්‌ සිටියත් කැක්‌කුමෙන් පමණක්‌ සියල්ල කළ නොහැකි බව අපි දනිමු. විශේෂයෙන්ම නිතර නිතර සිදුවන ක්‍රියාකාරකම් වලට කැක්‌කුම ඇති අය වුවත් සහභාගි කරවා ගැනීම අසීරුය. එපමණක්‌ද නොව මේ කැක්‌කුම්කාරයන් මතු වී ඇත්තේද වැරදි වෙලාවකය. මොවුන් සිටිය යුතුව තිබුණේ යුද්ධය පැවති සමයේය. දැන් මේ යුද්ධය අවසන් වී රටේ සාමයක්‌ තිබිය යුතු අවස්‌ථාවේදී ඒ පවතින සාමය බිඳ දමන්නේ බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා පිරිසකි. ඔවුන් රටේ සුළු ජාතීන්ගේ ක්‍රියාකාරකම්වලට එරෙහිවනවා යෑයි කීවද ඔවුන්ගේ ක්‍රියාකාරකම් වලින් වැඩියෙන්ම හානි සිදුවන්නේ සිංහල බෞද්ධයන්ටය. අද කහ සිවුර දකින විට පිළිකුලක්‌ ඇතිවන තත්ත්වයක්‌ මේ කුමන්ත්‍රණකාරීන් රටේ ඇතිකර තිබෙන බව පොදු මතයයි.

බොදු බල සේනාව, රාවණා බලකාය, සිහල රාවය යන සංවිධානවල භික්‍ෂූන් අතර අඩු ගණනේ බණ දේශනා කිරීමෙන් හෝ සමාජ සේවය කිරීමෙන් හෝ මායිම් ගම්මානවල සිංහලයන් සංවිධානය කිරීමෙන් හෝ ප්‍රසිද්ධියක්‌ ලබා ඇති එකදු භික්‍ෂුවක්‌ වත් නැති බව මම කලින් කීවෙමි. නමුත් ප්‍රසිද්ධියේ සිදුවන මැරකම්වලට සහභාගි නොවූවත් එමෙන්ම දැන් වැඩිය පෙනෙන්නට නොසිටියත් බොදුබල සේනාව ආරම්භ වන අවස්‌ථාවේ කිරම විමලජෝති හිමිද එහි ප්‍රබල සාමාජිකයෙක්‌ විය. කිරම විමලජෝති යනු මේ රටට අතිවිශාල සේවයක්‌ කළ සංඝ පීතෘ වරයෙකි. අන් සියල්ලම පැත්තක තබා නැදිමාලේ බෞද්ධ පොත් සාප්පුව ආරම්භ කිරීම පමණක්‌ සියල්ලටම සෑහේ. මේ පොත් සාප්පුව විවෘත කරන තුරු බුදු දහම ගැන ලංකාවේ පමණක්‌ නොව පිටරටවලද ලියන ලද ශාස්‌ත්‍රීය කෘති මිලදී ගැනීමට තැනක්‌ නොතිබිණි. ත්‍රිපිටකයේ මුල් කෘති පාලියෙන් හෝ පරිවර්තනයක්‌ වශයෙන් හෝ මිලදී ගැනීමට තැනක්‌ නොතිබුණි. නමුත් එම පොත් සාප්පුව ආරම්භ කළ පසු මෙවැනි කෘතිවලට වෙනම වෙළෙඳපොළක්‌ද නිර්මාණය වී ඒවා මුද්‍රණය කිරීමද වැඩි වී ඇත. එම පොත් සාප්පු ආරම්භ කිරීමට පෙර බුදුදහම ගැන ශාස්‌ත්‍රීය පරීක්‍ෂණයක්‌ කිරීමට නම් මේ සම්බන්ධයෙන් රටේ ඇති පුස්‌තකාල කීපයකට ගොස්‌ නිලධාරීන් ඉදිරියේ වැඳවැටී නොයෙක්‌ නීති රැසකට යටත්ව ඒ පොත් පරිශීලනය කිරීමට සිදුවිය.

නැදිමාල පොත් සාප්පුව විවෘත කිරීමෙන් කිරම විමලජෝති හිමියන් කළේ බුදු දහම ගැන ශාස්‌ත්‍රීය හැදැරීමක්‌ කරන අයට විමුක්‌තිය ලබාදීමකි. උන්වහන්සේ වැනි අයෙක්‌ මේ දැන් සිදුවන පාපකර්මයට සම්බන්ධ වූයේ කෙසේදැයි මට නම් වැටහෙන්නේ නැත. උන්වහන්සේ සමඟ බොදුබල සේනාවේ සිටින භික්‍ෂූන් ප්‍රසිද්ධියේ හැසිරෙන ආකාරයට දේශපාලනඥයෙක්‌ හැසිරුනොත් හේතුව කුමක්‌ වූවත් ජනතාව තුළ එම දේශපාලනඥයාගේ දේශපාලන පක්‍ෂය ගැන ඇතිවන්නේ මහත් පිළිකුලකි. මොනම මැර දේශපාලනඥයෙක්‌ වත් හැසිරෙන්නේ නැති තරම් අවිනීත ආකාරයට බෞද්ධ භික්‍ෂුවක්‌ හැසිරෙනවා දැකීමෙන් අන්‍යආගමිකයන් තුළ පමණක්‌ නොව බෞද්ධයන් තුළත් ඇතිවන කම්පනයත් පිළිකුලත් විමලජෝති හිමියන්ට වැටහෙන්නේ නැත්ද යන්න ප්‍රශ්නයකි. නැදිමාලේ පොත් සාප්පුවෙන් ලංකාවේ උගත් පිරිස්‌ අතර බෞද්ධ උද්දීපනයක්‌ ඇතිවූයේ නම් දැන් මේ ඇති වී තිබෙන භික්‍ෂු ප්‍රචණ්‌ඩත්වයෙන් ඒ සියල්ලම කණපිට හැරෙමින් පවතී.

සිංහලයා යුද්ධයක්‌ දිනා රටක්‌ එක්‌සේසත් කොට ආත්මගරුත්වයෙන් යුතුව හිනිපෙත්තටම නැග සිටින අවස්‌ථාවකි මෙය. මේ ගිහියන්ට වත් නැති කුලප්පුවක්‌ භික්‍ෂූන් තුළ ඇතිවිය යුතු යුගයක්‌ නොවේ. මේ භික්‍ෂු ප්‍රචණ්‌ඩත්වය බටහිර රටවල්වලින් සිංහල බෞද්ධයාගෙන් පළි ගැනීමට සිංහල අනන්‍යතාව විනාශ කිරීමට සිතාමතාම කරන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්‌ බව මා නැවතත් පවසන්නේ මේ නිසාය.

හම්බන්තොට සිද්ධිය ගැනද යමක්‌ කිවයුතුය. එජාප මන්ත්‍රීවරුන් පිරිසට ආණ්‌ඩු පාක්‍ෂික මැරයන් තර්ජනය කරනු දැක මා තුළ ඇතිවූයේ පිළිකුලකට වඩා සහනදායී හැඟීමකි. බොහෝ කාලයකට පසු භික්‍ෂූන් නොව ගිහියන් මැරකමේ යෙදෙනු දැකීම සැබවින්ම සහනයක්‌ විය. එතන සිදුවූයේ කුමක්‌දැයි මම හරිහැටි නොදනිමි. මැරකමක්‌ නම් සිදුවූ බව දනිමි. එය කළේ හම්බන්තොට නගර සභාවේ සභාපති එරාඡ් ප්‍රනාන්දු බව එජාප මන්ත්‍රීවරු කියති. නමුත් එරාඡ් කියන්නේ ඔහු ඔවුන්ව කලබලකාරීන්ගෙන් බේරා ගැනීමට ගිය බවයි. ඒ කෙසේ වෙතත් මෙතන මැරකමක්‌ නම් සිදුවූ බව පැහැදිලිය. නමුත් මෙය සිදුවූයේ ලංකාවට දැන් හුරුපුරුදු ආකෘතියට නම් නොවේ. මින් ඉදිරියට ආණ්‌ඩු පාක්‍ෂිකයන් මෙවැනි කලබල ඇතිකරන්නේ නම් ඔවුන් කළ යුත්තේ අටපිරිකර කීපයක්‌ මිලදී ගෙන පාත්තරය විසිකොට එහි ඇති දැලි පිහියෙන්ම මැරයන් කීපදෙනකුගේ හිස මුඩුකොට ඔවුන්ට සිවුරු අන්දවා මැරකමට යෙදවීමයි. ලෝකය දැන් පුරුදු වී ඇත්තේ එවැනි දර්ශනවලටය. මැරයන්ටද ජනතාවගේ සාදුකාර මැද්දේ තමන්ගේ මැරකම් කිරීමට හැකිවනු ඇත.

සී. ඒ. චන්ද්‍රප්‍රේම

 
Powered By -


    සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.