අධිකරණය දෙන තීන්දුව අනුව කටයුතු කරනවා - ඇමැති රිෂාඩ් බද්යුදීන් මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ පදිංචිකරුවෝ නිරුත්තර වෙති සිරිමන්ත රත්නසේකර, තරංග රත්නවීර විල්පත්තුවේ සිට චෝදනාවට ලක්ව ඇති නිවාස තනා ඇත්තේ විල්පත්තු උතුරු අභයභූමියේ බවට අධිකරණය විසින් තීන්දුවක් ලබා දුනහොත් එම නිවාස අදාළ භූමියෙන් ඉවත් කරගන්නා බව කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බද්යුදීන් මහතා ඊයේ (22 දා) විල්පත්තුවේදී පැවැසුවේය. මාධ්‍යවේදීන් විසින් විල්පත්තුවේ ඊයේ (22 වැනිදා) සිදු කළ සංචාරයේදී විශේෂ ප්‍රකාශයක් කළ ඇමැතිවරයා එසේ කීවේය. විල්පත්තුවේ මුසෙලි ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මරිච්චිකට්ටි මරක්කාර්කිට් ප්‍රදේශයේ තාවකාලිකව නිවාස හැත්තෑ තුනක් ඉදිකර ඇති අයුරු මෙම සංචාරයේදී මාධ්‍යවේදීන්ට නිරීක්ෂණය විය. ඇමැතිවරයාද මාධ්‍යවේදීන් සමග මෙම නිරීක්ෂණ චාරිකාවට එක්වූවේය. මුසෙලි ප්‍රාදේශීය සභා සභාපති ඒ. ඊ. ඊ. යෙහියා මහතා සහ රාජ්‍ය නිලධාරීහු කිහිප දෙනෙක්ද මෙම සංචාරයට එක් වූහ. මෙම නිවාස ඉදිකර ඇත්තේ විල්පත්තු උතුරු අභයභූමි සීමාවේ නොවේදැයි මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් මුසෙලි ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කළේ තමන් ඒ පිළිබඳ නොදන්නා බවය. මෙම ජනතාව 1994 ට පෙර සිට මෙහි පදිංචිව සිටින බවද හෙතෙම කීවේය. මාධ්‍යවේදීන්ට මේ පිළිබඳ ප්‍රශ්න කිරීම සඳහා දිසාපතිවරයා සහභාගි කර නොගන්නේ මන්දැයි මාධ්‍යවේදීහු ඇමැති බද්යුදීන් මහතාගෙන් විමසා සිටියහ. එහිදී ඔහු පැවසුවේ "මෙය හදිසියේ මාධ්‍යවේදීන්ට සංවිධානය කළ සංචාරයක්" බවය. ප්‍රාදේශීය සභා සභාපතිවරයාගෙන් සහ මෙම නිවාසවල පදිංචි ජනතාවගෙන්ද, පැමිණ සිටි රාජ්‍ය නිලධාරීන්ගෙන්ද මාධ්‍යවේදීන් කළ ප්‍රශ්නකිරීම හමුවේ ඔවුන් එකිනෙකට පරස්පර පිළිතුරු ලබාදුන් අතර ඇතැම්හු එම ප්‍රශ්න හමුවේ නිරුත්තර වූහ.
සීමාසහිත උපාලි පුවත්පත් සමාගම අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.