කුලියාපිටිය මූලික රෝහල
උග්‍ර ජල අර්බුදයක
සැත්කම් 40 ක්‌ නවතී

කුලියාපිටියේ - උපේන්ද්‍ර සේරසිංහ

කුලියාපිටිය මූලික රෝහලේ ජල ගැටලුව නිසා හදිසි ශල්‍යකර්ම හැර අනෙක්‌ සියලු සැත්කම් 40 ක්‌ පමණ නවතා දමා ඇතැයි රෝහල් ආරංචි මාර්ග පැවැසීය.

ජීවානුහරණය සඳහා ද අති වේගවත් ජල පීඩන අවශ්‍ය බැවින් ඒවා ක්‍රියාත්මක කරගැනීමටද ඊයේ දිනයේ හැකියාව නොතිබුණ බව රෝහල් ප්‍රකාශකයකු 'දිවයින'ට පැවැසීය. රසායනාගාර වල සිදුකෙරෙන මළ, මුත්‍රා හා රුධිර පරීක්‍ෂණ සිදුකිරීමටද හැකිව ඇත්තේ විටින් විටය.

"රෝහලට ජලය ලැබෙන්නෙ ප්‍රධාන වශයෙන් නගර සභාවෙන්, එමෙන්ම රෝහලේ නළ ළිඳත් සාමාන්‍ය ළිඳත් ජලය ලබාගැනීමට භාවිත කරනවා. නගර සභාවෙන් ජලය ලැබෙන්නෙ විටින් විට. අප නගර සභාවට නිතර ඒ ගැන මතක්‌ කරනවා. නමුත් ඔවුන් පසවන්නේ මාර්ග නඩත්තුව නිසා ජල නළවලට සිදුවුණ අලාභහානි නිසාත්, මේ දිනවල පවතින අකුණු තත්ත්වය නිසා මෝටර් කිහිපයක්‌ පිළිස්‌සීම නිසාත් ජලය ක්‍රමවත්ව ලබාදීමට ගැටලු ඇතිව තිබෙන බවයි.

දැනට ජල ටැංකිවල ගබඩාකොට ඇති ජලය අඩි 2 කට වඩා අඩු වුණොත් තට්‌ටු 05 ගොඩනැඟිල්ලේ ඉහළ මාලයට ජලය යවන්න බැහැ. ළමා වාට්‌ටුවත් හදිසි අනතුරු වාට්‌ටුවත් ඒ අතර තියෙන්නෙ රෝගීන්ට නාන්න පිරිසිදු වෙන්න වගේම වැසිකිළි පහසුකම් වලටත් මේක බලපානවා. වැසිකිළි පවිත්‍ර කරගන්නවත් ක්‍රමයක්‌ නැතිව දුගඳ හමනකොටත් විශේෂඥ වෛද්‍යවරු සේවය කිරීම අගයන්න ඕන. දැනට ජලය බවුසරයකින් ජලය ගෙනත් දානවා. ඒත් ඒවට ජලය පුරවගන්න තැනැක්‌ නැහැ. නගර සභාපතිතුමා පොරොන්දු වුණා සභාව සතු ඉඩමක කොටසක්‌ නව නළ ළිඳක්‌ සකසා ගන්නට සභා අනුමැතියක්‌ සහිතව ලබා දෙනවා කියලා. "දිවයින"ට අදහස්‌ දක්‌වමින් වෛද්‍ය අධිකාරි උපුල් විඡේනායක මහතා එසේ පැවැසීය.

එමෙන්ම තම කාර්යමණ්‌ඩලයේ දක්‍ෂතාව මත රෝහලේ එදිනෙදා කටයුතු බාධාවකින් තොරව සිදුකර රෝගීන්ට වඩා කාර්යක්‍ෂම සේවයක්‌ සැපයීමට මේ වනවිට හැකිව ඇතැයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ඒ පිළිබඳව ප්‍රධාන ජලය සපයන කුලියාපිටිය නගර සභාවේ සභාපතිතුමන්ගෙන් අප කළ විමසීමේදී ඒ මහතා කියා සිටියේ ජලය මුලින් ලබාදුන්නත් පසුගිය මාර්ග සංවර්ධනයෙන් අනතුරුව නළ එලීමේදී ඒවා ක්‍රමවත්ව සිදුව නැති නිසා ජලය ලබාදීමේදී තැන තැන නළවලින් කාන්දු වන බවත් පීඩනය අඩු වශයෙන් නළවලින් ප්‍රවාහනය කළද එම කාන්දුවීම දිගින් දිගට සිදුවන නිසා 24 පැයේම ජලය ලබාදිය නොහැකි බවත්ය. නමුත් ජලය ලබා දෙන සෑම මොහොතකම රෝහලට මූලිකත්වයක්‌ ලබාදීමට කටයුතු කරන බවත් නගර සභාවේ සභාපති ලක්‍ෂ්මන් අදිකාරි මහතා පැවැසීය.

දිනකට ජලය ලීටර ලක්‍ෂයක්‌ රෝහලට අවශ්‍ය බවත් බවුසර් ජලය ලබාගෙන එදිනෙදා කටයුතු කිරීම අසීරු බවත් රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා පවසයි. මේ පිළිබඳ බලධාරීන්ගේ අවධානය යොමුව කඩිනම් විසඳුමක්‌ ලැබේයෑයි රෝගීහු අපේක්‍ෂා කරති.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.