වකුගඩු සැත්කම් පිළිබඳ ඇමැති වාර්තාවක්‌  ඉල්ලයි

අජිත් අලහකෝන්

රජයේ සහ පෞද්ගලික රෝහල්වල ගිය වසරේ (2013) ජනවාරි සිට මේ වසරේ අප්‍රේල් මස දක්‌වා සිදු කළ වකුගඩු බද්ධකිරීම් සහ ඒ ආශ්‍රිත සැත්කම් පිළිබඳ සවිස්‌තර වාර්තාවක්‌ වහා කැඳවන ලෙස සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් පාලිත මහීපාල මහතාට නියෝග කර ඇත.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සිදු කෙරෙන බව කියන වකුගඩු ජාවාරම පිළිබඳ සොයා බැලීම සඳහා මෙම වාර්තාව කැඳවීමට තීරණය කර ඇත.

ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් පෞද්ගලික වෛද්‍ය ආයතන සංවර්ධනය කිරීමේ ඒකකය වෙත නියෝග කර ඇත්තේ මෙරට සියලුම පෞද්ගලික රෝහල්වලින් සිදු කරන ලද වකුගඩු බද්ධ කිරීම් සහ ඒ ආශ්‍රිත සැත්කම් පිළිබඳ වාර්තා වෙන වෙනම ලබා ගන්නා ලෙසයි.

සාමාන්‍යයෙන් බද්ධ කිරීම සඳහා වකුගඩු ලබා ගන්නේ ජීවත්ව සිටින පුද්ගලයන්ගෙන් බැවින් අදාළ කාලය තුළ වකුගඩු පරිත්‍යාග කළ හෝ අලෙවි කළ පුද්ගලයන් දැනටමත් ජීවත්ව සිටිනු ඇතැයි ද එම නිසා වාර්තාව කැඳවීමේදී එම පුද්ගලයන්ගෙන්ද පෞද්ගලිකවම තොරතුරු විමසීමෙන් මෙම ජාවාරමේ නිවැරැදි තොරතුරු සොයා ගත හැකිවනු ඇතැයි ද සෞඛ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.