මේ වසරේදී ඩෙංගු රෝගය තදින් පැතිර යැමේ අවදානමක්‌
- ගාල්ල වසංගත රෝග විශේෂඥ ශ්‍රියානි

ජයසූරිය සහ හරබාදුව - ඒ. එල්. ඒ. ආරියරත්න, ඉමදුව - කුමාර කොඩිතුවක්‌කු

2014 වසර ඩෙංගු රෝගය තදින් පැතිර යැමේ අවදානමක්‌ පවතිනවා. සෑම වසර හතරකට වරක්‌ ඇතිවන මේ තත්ත්වය අනුව ඩෙංගු රක්‌තපාත රෝගීන්ද වැඩි විය හැකියි. මරණ අනුපාතය වැඩිවීමටද මෙය හේතුවනවා යෑයි ගාල්ල වසංගත රෝග විශේෂඥ ශ්‍රියානි ජයසූරිය මහත්මිය පැවැසුවාය.

ඩෙංගු මර්දනය පිළිබඳව රාජ්‍ය ආයතනවල දායකත්වය සම්බන්ධව හබරාදුව කොට්‌ඨාසයේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ රැස්‌වීමකදී ඇය එසේ පැවැසුවාය.

හබරාදුව ප්‍රාදේශීය මහ ලේකම් අයේෂා ගුණතිලක මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැස්‌වීම පැවැත්විණි. වෛද්‍ය, ජයසූරිය මහත්මිය,

2010 වසරේදී ඩෙංගු රෝගය උත්සන්න වූ ආකාරයටම 2014 අවදානම් වර්ෂයක්‌ වීමේ අවදානම පවතිනවා. මාර්තු මාසයේ විතරක්‌ ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ රෝගීන් 189 ක්‌ වාර්තා වීම තුළින් මේ තත්ත්වය පැහැදිලි වනවා. මෝසම් වැසි, පාසල් නිවාඩුව සහ අවුරුදු සමයත් සමග ඉදිරි මාසය දැඩි අවදානම් තත්ත්වයක පවතිනවා. පුරවැසියන් වන අප සියලු දෙනාම මෙම අවදානම තම වගකීමක්‌ බව කල්පනා කළ යුතුයි.

මේ සඳහා ගත හැකි ප්‍රමුඛතම ක්‍රියා මාර්ගය රෝග වාහකයා පාලනය කිරීමයි. "ඊඩ්ස්‌" මදුරුවා බෝවන ස්‌ථාන නැති කිරීමෙන් මේ තත්ත්වය සාර්ථකව පාලනය කළ හැකියි. ධූමායන කිරීමෙන් පාලනය කළ හැක්‌කේ මදුරුවා පමණයි. මදුරු කීටයන් බෝවීම වැළැක්‌වීමට බෝවන ස්‌ථාන නැති කළ යුතුයි. 2012 දී දිස්‌ත්‍රික්‌කයේ රෝගීහු 1117 ක්‌ වාර්තා වුණා. 2013 දී අම්බලන්ගොඩ, හික්‌කඩුව, කරන්දෙණිය, ගාල්ල නගර කොට්‌ඨාසවලින් වැඩිපුර රෝගීන් වාර්තා වුණා.

සැකයක්‌ ඇතිවූ වහාම රෝගියා රෝහල් ගත කළ යුතුයි. ලෝකයේ පිළිගත් අලුත්ම ක්‍රමවේදයන්ට අනුව රෝගීන්ට සාත්තු කිරීමට රෝහල් සූදානමින් සිටිනවා. රෝගය පාලනය කිරීමට මානසික පරිසරය සැකසීමද වැදගත්. රෝහල්වලදී එම තත්ත්වය ඉටුවෙනවා.

හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුන්දර මුදලිගේ මහතා-

වසර පන්සියයක්‌ ගත වුවත් දිරා නොයන හිස්‌ බියර් කෑන්, ඩෙංගු මදුරුවන් බෝවීමට හොඳම ස්‌ථාන ලෙස හඳුනාගෙන තිබෙනවා. කිසිදු හැඟීමකින් තොරව මේවා තැන තැන දැමීම ජන ජීවිත විනාශ වීමට හේතුවක්‌. බියර් බොන අයත් නොබොන අයත් මදුරුවන්ට ප්‍රශ්නයක්‌ නැහැ. පොලිතින්වලින්ද මේ තත්ත්වය ඇති වෙනවා. රාජ්‍ය සේවකයන් වශයෙන්, රාජ්‍ය ආයතන තුළින් ජනතාවට ආදර්ශයක්‌ වන පරිදි ඩෙංගු මදුරුවන් පාලනයට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.

හබරාදුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක කේ. පී. විඡේසේන මහතා-

ඉවතලන කෑම ඉඳුල්වලින් විශාල ගැටලුකාරී තත්ත්වයක්‌ ඇති වෙනවා. විහාරස්‌ථානවල භික්‍ෂූන් වහන්සේලාට වැඩිපුර දානය සැපයීමත් සමග විහාරස්‌ථාන අවට පිරිසිදුව තබා ගැනීම උන් වහන්සේලාටද ප්‍රශ්නයක්‌. මේ වගකීම දායකයන් විසින් දැරිය යුතුයි. තම නිවාස අවට ජලය රැඳෙන ස්‌ථාන පිරිසිදු කිරීමත් නිවාස හා අවට පිරිසිදුව තබා ගැනීමත් තුළින් මේ අවදානම් තත්ත්වය පාලනය කර ගැනීමට උනන්දු වන ලෙස ඉල්ලා සිටිනවා.

තමන්ගේ, ඥතීන්ගේ, අසල්වාසීන්ගේ ජීවිත රැක ගැනීමට එකාවන්ව එක්‌වී ඩෙංගු මදුරුවා බෝවීම පාලනය කිරීම තුළින් 2014 වසර වාසනාවන්ත වසරක්‌ කර ගනිමු.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.