රෝහල් වෙනුවට ජිම්!
(ප්‍රතිකාර වෙනුවට මිනී වළවල්)

මහනුවර ශික්‍ෂණ රෝහලේ නේවාසික රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ඉදිකර තිබූ ගෙවන වාට්‌ටු දෙක වසා ඉන් එකක ජිම් එකක්‌ සාදා තිබෙන බවත් එය වෛද්‍යවරුන්ට කාය වර්ධනය කර ගැනීම සඳහා වෙන් කර තිබෙන බවත් ඊයේ (24 දා) දිවයිනේ පළවිය. මෙය සෞඛ්‍ය ඇමැතිතුමා මඳකට එහා පැත්ත බලන කල් සිට නිලධාරින් සිදුකළ කපටි වැඩකි. මීළඟ ජාතික අයෝමය පුරුෂයා තේරීමේ තරගය, ආසියානු අයෝමය පුරුෂයා තේරීමේ තරගය සහ ජාත්‍යන්තර අයෝමය පුරුෂයා තේරීමේ තරගය හෙවත් "මිස්‌ටර් වර්ල්ඩ්" තරගය යනාදියට ඉදිරිපත් වීම සඳහා ආත්ම ශක්‌තිය ඇතිකර ගැනීමට මෙතැන් පටන් වෛද්‍යවරුන්ට හැකි වනවා ඇත. මෙහිදී වෛද්‍යවරුන් විසින් මතක තබා ගත යුතුව ඇත්තේ ඵ්එජය Fසංසබට හෙවත් තරග පාවාදීම නමැති රෝගය ඉතා වේගයෙන් ලොව පුරා පැතිර යන බවය. මෙයට අහුවුණ ගමන්ම ඇඟ කෙට්‌ටු වී තරග පරදී. එහෙත් මල්ලට විශාල වශයෙන් කාසි වැටීම නොවරදී. වෛද්‍යවරුන් අයෝමය පුරුෂයන් හෝ වෙනත් ක්‍රීඩාවල යෙදෙන්නන් බවට පත් කිරීමට මේ තකහනියේ වුවමනා වූයේ කාටදැයි සොයා බැලිය යුතුය. එසේ සොයා බලා ඒ අය ශ්‍රී ලංකා කාය වර්ධන සංගමයේ පාලක මණ්‌ඩලයට බඳවාගෙන කිලෝ 100 යකඩ පඩි බෙල්ලෙහි එල්ලා කැලණි ගඟට තල්ලු කළ යුතුය. (මෙය යෝජනාවක්‌ පමණි - මේ පුවත්පත මිනී මැරීම අනුමත කරන්නේ නැත)

සෞඛ්‍ය පහසුකම් සැපයීම වූ කලී ලොව පුරා තිබෙන විශාල අර්බුදයකි. එංගලන්තයේ මේ දිනවල තිබෙන විශාලතම අර්බුදය නේවාසික රෝගී ඉඩකඩ ප්‍රශ්නයයි. මෙය ඇඳන් අර්බුදය ලෙස හඳුන්වනු ලැබේ. මේ අර්බුදය හට ගන්නේ රෝහල්වල තිබෙන ඇඳන් ප්‍රමාණයට වඩා රෝගීන් සිටින විටය. මෙවිට රෝගීන් කට්‌ටියකට ඇඳ උඩත් වැඩියෙන් සිටින කට්‌ටියට ඇඳ යටත් සිටීමට සිදුවේ. තවත් කට්‌ටියකට බංකු මත නිදා ගැනීමට සිදුවේ. මෙය එංගලන්තයේ දී පටන් ගත්තේ ළඟදී වුවද ලංකාවේ පටන් ගත්තේ අවුරුදු තිහ හතළිහකට ඉස්‌සරය. එබැවින් මෙය රෝහල්වල විදිය යෑයි කියා හිත හදා ගැනීමට අපි පුරුදුව සිටිමු.

මෙවැනි කාලකන්නි තත්ත්වයකදී අප කළ යුතුව ඇත්තේ රෝහලක්‌ තුළ අලුතින් ඇතිවන ඕනෑම හිස්‌ ඉඩකඩක ඇඳන් තබා රෝගීන්ට පහසුව සැළැස්‌වීමය. එහෙත් සිදුවන්නේ ලැබෙන ඉඩකඩ තුළ කාය වර්ධන ශාලා සෑදීමය. මෙය නීච, ගොන්, මෝඩ, අමන, තකතීරු ක්‍රියාවකි. මේ මොහොතේදී මේ රටේ සෞඛ්‍ය ක්‌ෂේත්‍රයට අත්‍යවශ්‍ය සාධකය ජිම්ද? ව්‍යායාම කිරීමට ජිම් යැම අත්‍යවශ්‍ය නැත. ඇඟ පත හොඳින් ක්‍රියාත්මක වන පරිදි පැය භාගයක්‌ ඇවිද්දත් ලෙඩ දුක්‌ නොවිඳ ශරීරය ගොඩ දමා ගැනීම පොඩි වැඩකි. "ජිම්" යනු මානසික මට්‌ටමකි. ට්‍රැක්‌ සූට්‌ එකක්‌ ඇඳ ට්‍රැක්‌ ෂූස්‌ දෙකක්‌ දමාගෙන තුවායක්‌ කරේ වනාගෙන ශක්‌තිජනක පානයක්‌ අතින් ගෙන කාර් එකෙන් බැස ජිම් යැම තුළින් නියෝජනය කරන්නට උත්සාහ කරන්නේ ඉහළ සමාජ පන්තියට ඇතුළු වීමට අවශ්‍ය දොර විවෘත කරන යතුර තමන් සතුවද ඇති බවය.

ඒ අතර නුවර රෝහලේ ජිම් එක ගැන අපට මෙවැනි සැකයක්‌ද ඇති කර ගත හැකිය. එනම් මෙය දොස්‌තරවරුන්ගේ අවශ්‍යතාවට නොව ජිම්වලට බඩු සපයන අයගේ අවශ්‍යතාවට සැලසුම් කළ කටයුත්තක්‌ බවය. පුද්ගලික වාට්‌ටුවෙන් බ්‍රොaකර්ට කට්‌ එක නොලැබේ. එහෙත් ජිම් බඩු සප්ලයි කිරීමෙන් බ්‍රොaකර්ට කට්‌ එක ලැබේ. මෙය සැකයක්‌ පමණි. මේ කාලකන්නි ක්‍රියාව වළක්‌වන ලෙස ඇමැතිතුමාගෙන් ඉල්ලමු.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.