ශ්‍රී ලංකා කණ්‌ඩායමේ නව පුහුණුකරු මාවන් අතපත්තු

චමිල කරවිට



ඉදිරි මාස කිහිපය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට හිටපු ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ නායක මාවන් අතපත්තුව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය ඊයේ (25 දා) තීරණය කර තිබේ.

ඒ අනුව මාවන් එළැඹෙන අයර්ලන්ත සහ එංගලන්තය සමග පැවැත්වෙන තරගාවලි ද්විත්වයේදී මෙන්ම එම තරගාවලියෙන් අනතුරුව පැවැත්වෙන දකුණු අප්‍රිකානු කණ්‌ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේදී ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇත.

2014 වසර ආරම්භයේ සිට වසර 2 ක කාලයක්‌ සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්‌ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස වැඩ භාරගත් එංගලන්ත ජාතික පෝල් µdබ්‍රේස්‌ මහතා හදිසියේම එම තනතුරින් ඉල්ලා අස්‌වීම මත සහාය පුහුණුකරු තනතුරේ සිට මාවන් අතපත්තු මහතාව ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කිරීමට ප්‍රධානවිය.

විස්‌සයි/20 ලෝක කුසලාන ශ්‍රී ලංකාව දිනා ගැනීමට සමත්වීමත් සමග එංගලන්ත කණ්‌ඩායමේ සහාය පුහුණුකරු තනතුර සඳහා පෝල් µdබ්‍රේස්‌ මහතාව තෝරා ගැනීම මත ඔහු ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් හදිසියේම ඉවත්වූවේය.

ශ්‍රී ලංකා කණ්‌ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන ලද හිටපු දග පන්දු යවන්නකු වූ රුවන් කල්පගේ මහතා මාවන් අතපත්තුගේ සහාය පුහුණුකරු තනතුරට පත්ව තිබේ.

හිටපු ප්‍රධාන පුහුණුකරු ග්‍රැහැම් ෙµdaඩ් මහතාගේ සමුගැනීමත් සමග පුරප්පාඩු වූ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා මාවන් අතපත්තු මහතා අයෑදුම් කළ අතර එහිදී අවසන් සම්මුඛ පරීක්‍ෂණය දක්‌වා පැමිණීමට අතපත්තු සමත් වුවත් ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය µdබ්‍රේස්‌ට හිමිවිය.

වසර 3 ක කාලයක්‌ තිස්‌සේ ශ්‍රී ලංකා කණ්‌ඩායමේ විශේෂඥ පිතිකරණ පුහුණුකරු තනතුරේ කටයුතු කළ අතපත්තු, ඉකුත් 2013 වසරේ සිට ශ්‍රී ලංකා කණ්‌ඩායමේ සහාය පුහුණුකරු තනතුරේ කටයුතු කළේය.

තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය, පුහුණුකරුවන්ගේ ප්‍රධානී ජෙරම් ජයරත්න සහ ක්‍රිකට්‌ කමිටු ප්‍රධානි රංජිත් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුතු ත්‍රිපුද්ගල කමිටුවක්‌ විසින් ප්‍රධාන පුහුණුකරු තනතුර මෙන්ම සහාය පුහුණුකරු තනතුරු පිළිබඳ වූ අවසන් තීරණ ගෙන තිබිණ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්‌ට්‌ තරග 90 කදී ඉනිමක ශතක 16 ක්‌ සහ අර්ධ ශතක 17 ක්‌ද සමගින් මුලූ ලකුණු 5502 ක්‌ද එක්‌දින තරග 268 කදී ශතක 11 ක්‌ සහ අර්ධ ශතක 59 ක්‌ සමගින් මුලූ ලකුණු 8529 ක්‌ රැස්‌ කර ගැනීමට මාවන් සමත්ව සිටියි. ටෙස්‌ට්‌ සහ එක්‌දින තරගවලදී ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 39 ක්‌ සහ 37 ක සාමාන්‍ය අගයක්‌ රඳවා තබාගෙන ඇති මාවන් 2002 සිට 2005 වසර දක්‌වා වූ කාලය තුළදී ටෙස්‌ට්‌ තරග 18 ක නායකයා ලෙස කටයුතු කර ඇති අතර එහිදී අවස්‌ථා 8 කදී ජයග්‍රහණ අත්කර දීමට සමත්ව සිටියි. 2001 වසරේ සිට 2006 දක්‌වා වූ කාල සීමාවේදී එක්‌දින තරග අංශයේද නායකයා ලෙස කටයුතු කළ මාවන් තරග 63 කදී ජයග්‍රහණ 35 ක්‌ ශ්‍රී ලංකාවට අත්කර දී තිබේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.