ඩෙංගු උවදුර ජාතික අනතුරක්‌!

දිනෙන් දින ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වී යන මංකොල්ල රැල්ල ඉදිරියේ පොලිස්‌ බලධාරීන් අසරණ වී සිටින්නාක්‌ මෙන් යළි ශීඝ්‍රයෙන් හිස ඔසවන ඩෙංගු මාරයා ඉදිරියේ සෞඛ්‍ය බලධාරීහුද අසරණ වී සිටිති. පසුගිය දිනවල හංවැල්ල කොට්‌ඨාසයේ පාසල් පහක්‌ දින කීපයකට වසා දැමීමට මේ ඩෙංගු මාරයාට හැකි විය.

හංවැල්ල, පහත්ගම අවට ප්‍රදේශවලින් ඩෙංගු රෝගීන් තිහකට අධික ප්‍රමාණයක්‌ සොයා ගත් බවද වාර්තා විය. ඩෙංගු උවදුර දැන් සෑහෙන කාලයක්‌ තිස්‌සේ මේ රට වෙලාගත් බිහිසුණු මාරක රෝගයක්‌ බවට පත්ව තිබෙන බවද නොරහසකි. ඩෙංගු මර්දන මෙහෙයුම්, ජාතික මට්‌ටමෙන් ද ආරම්භ විය.

සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාද එබඳු නොයෙක්‌ ඩෙංගු මර්දන ක්‍රියාකාරකම්වලට එක්‌වූ බවද අපි දනිමු. ඩෙංගු මදුරුවන් බෝකරන, පාරිසරික වශයෙන් එයට දිරිදෙන ආයතනවල, නිවෙස්‌වල වගකිව යුතු අයට එරෙහිව නීතිමය පියවර ගත් අවස්‌ථාද විය. එහෙත් මොන කරුම දොaෂයක්‌ නිසා හෝ ඩෙංගු මාරයා නිරුපද්‍රිතව ජනතාව බිලි ගනිමින් සුවසේ වැජඹෙයි.

මේ රටේ වෙනත් බොහෝ ක්‍ෂේත්‍රවල මෙන්ම සෞඛ්‍ය ක්‍ෂේත්‍රයෙහිද නොයෙක්‌ කැළඹිලි, ගැටලු අර්බුද තිබේ. ඒවායේ බොහෝ විපාක කඩා වැටෙන්නේද සාමාන්‍ය ජනතා හිස මතටය. එය වෙනම කතාවකි. එහෙත් ඩෙංගු යනු පොදු ජාතික විපතක්‌ ලෙස අප තේරුම් ගත යුතුය. මෙතෙක්‌ ලැබී තිබෙන වාර්තා අනුව වුවද ඩෙංගු මරුට බිලිවූ අය අතර වෛද්‍යවරුද සිටිතියි අපි දනිමු. වෛද්‍යවරුන්ට ලෙඩ රෝග නොවැළඳේ යෑයි සිතීමට කිසිදු හේතුවක්‌ නැත. එහෙත් ලෙඩුන් සුවපත් කරන වෙදුන් ද මරුමුවට ඇද දමන අනතුරකදී තත්ත්වය කෙබඳු බරපතළ දැයි සිතිය යුතුය.

ඩෙංගු උවදුර යළිත් හිස ඔසවන්නේ සකල විධ දුබලතා විසින් ඇතිකරනු ලබන වාතාවරණයක්‌ තුළ බව අප තේරුම්ගත යුතුය. මෙහිදී සෞඛ්‍ය බලධාරීන්ගේ කොටස මෙන්ම ජනතාවගේ කොටසද සම්පූර්ණ විය යුතුය. එනිසා ඩෙංගු මදුරුවන් මර්දනය කිරීම යන මූලික කාර්යයට කාගේත් අවධානය යොමු විය යුතුය. ඩෙංගු මදුරුවන් ඇල්ලීමට විශේෂ හමුදා මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කළ නොහැක. එය ඊට වඩා බෙහෙවින් වෙනස්‌ ව්‍යාපෘතියකි.

මේ සඳහා ජනතාවගේ පක්‍ෂයෙන්ද සෑහෙන කොටසක්‌ සම්පූර්ණ විය යුතුය. ඩෙංගු මදුරුවන් බෝවීම වැලැක්‌වීම සඳහා සාර්ථක හා ශක්‌තිමත් ව්‍යාපෘතියක්‌ අපට තිබේද? අසල ගෙයක සොරකමක්‌ සිදු වූ විට කුහුල් සිතින් තමන්ගේ නිවස ගැන සැලකිලිමත් වන ආකාරයෙන් අසල ගෙදරක ඩෙංගු මරණයක්‌ වූ විට කලබල වන ක්‍ෂණික මානසිකත්වයක්‌ ජනතාවට මෙන්ම සෞඛ්‍ය බලධාරීන්ටද තිබෙන බව අප පිළිගත යුතුය.

ඩෙංගු මදුරුවන් බෝවන්නේ පිරිසිදු ජලයෙහිය. ගෙවත්ත, පන්ති කාමරය, වැඩබිම, කම්හල යන ඕනෑම තැනක ලෙහෙසියෙන් ජීවත්වීමට ඩෙංගු මදුරුවා බලවත්ව සිටියි. මෙවර උද්ගතවූ පහත්ගම ඩෙංගු උවදුර ඒ ප්‍රදේශය විසින්ම නඩත්තු කරන ලද්දක්‌ බව පෙනේ.

මේ නිසා තමන් ජීවත්වන, කල් ගෙවන වාතාවරණය පිළිබඳ අවධානයෙන් හා උනන්දුවෙන් නොසිටින තාක්‌ ඩෙංගු මදුරුවාට ජය ගත හැකිය. තම දරු පවුල් ගැන නොසිතන අය සෙසු දරු පවුල් ගැන කල්පනා කරත්ද? අද පරිසරය ගැන කිසිදු වැටහීමක්‌ නැතිව ක්‍රියා කරන්නෝ කොපමණ සිටිත්ද?

තම ගෙවත්තේ කුණු කසළ ටික ප්‍රවේශමෙන් පොලිතින් බෑගයක දමා මහමඟ දමා යන හෝ හිස්‌ බිමකට වීසි කරන වැදගත් මහත්වරු හා නෝනලා සුලභව සිටිති. පරිසරයට දිනපතා එක්‌වන ප්ලාස්‌ටික්‌ ඇසුරුම් අතර, හිස්‌ බෝතල්, යෝගට්‌ කෝප්ප, අයිස්‌ ක්‍රීම් බඳුන් කොපමණද? තැඹිලි කෝම්බ හා ටින් ද තොග ගණනින් දවසකට කසළ ගොඩවල්වලට එක්‌ වෙයි.

මේ සියලු හිස්‌ දැවටුම්, ටින්, ආවරණ, ඩෙංගු මදුරුවන්ගේ සුපිරි ලැගුම් ගෙවල් බවට පත් වේ. මහ පාරේ යෝගට්‌ එකක්‌ කමින් යන දරුවා එය වීසි කරන්නේ ද පාර අයිනටමය. සාමාන්‍යයෙන් මේ රටේ පළාත් පාලන ආයතනවල පවිත්‍රතා සේවය ඉතාම අයහපත්ය. කුණු කඳුවලින් වැසීගිය පරිසර පිළිබඳවත් ඒ නිසාම රෝගී වන අහිංසකයන් පිළිබඳවත් පුවත් බොහෝය. එහෙත් අපේ පළාත් පාලන ප්‍රධානීන් අතර සිටින සමහරුන්ට නාසා නැති තරම්ය. තිබුණත් ගඳ සුවඳ නොදැනේ.

මධ්‍යම පරිසර අධිකාරියක්‌ද අපට තිබේ. එමගින්ද පරිසර හිතකාමී ව්‍යාපෘති ක්‍රියාත්මක වන බවද ඇත්තය. එහෙත් මේ රටේ පරිසරය සුරැකීම සඳහා යහපත් වැඩ පිළිවෙලක්‌ අපට තිබුණි නම් මෙබඳු තත්ත්වයක්‌ උදාවිය හැකිද? ඒ කුමක්‌ වුවත් ඔවුන් ඇතුලු පළාත් පාලන ආයතනවලින් ද පරිසර සංරක්‍ෂණයට මීට වඩා ප්‍රමුඛතාවක්‌ ලබා දිය යුතුමය. නගරය, ගම කේන්ද්‍ර කරගත් පුළුල් පරිසර සංරක්‍ෂණයක්‌ අද අවශ්‍යව තිබේ.

කෙසේ හෝ ඩෙංගු රෝගීන් හා මරණ පිළිබඳ වාර්තා දෙස බලද්දීත් අප කිසිවකුට සතුටු වීමට ද නොහැක. 2013 වසරේ පමණක්‌ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 32,063 ක්‌ද, මරණ 50 ක්‌ද බව දැක්‌වේ. එහෙත් වාර්තාවලට ඇතුළත් නොවූ ඩෙංගු මරණද තිබිය හැකි බව සමහරු කියති. ඒවා ගැන කරදර විය යුතු නැත. අපට වුවමනා මේ ජාතික උවදුර රටින් මුලිනුපුටා දැමීමය. අප කාගේත් නොසැලකිල්ල නිසා ඩෙංගු මදුරුවන් මැස්‌සන් මෙන් බෝවී ගියොත් කියන්නේ කාටද? එදාට අපට වාද කිරීමට හෝ රණ්‌ඩු කිරීමට ඉඩක්‌ ලැබෙන්නේ ද නැති බව පමණක්‌ අවසාන වශයෙන් සඳහන් කරමු.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.