මැයි දිනයේදී රට දෙකඩ කරන
වඩුක්‌කොඩෙයි ප්‍රඥප්තිය යළි එළිදැක්‌වීමේ උත්සාහය


ඇමරිකාවේ චිකාගේ නුවරදී කම්කරුවන්ට වෙඩි තැබීමේ සිද්ධිය සිහිපත් කෙරෙන මැයි දින උත්සවය මැයි 1 දා ලොව පුරා පැවැත්වේ.

මේ ඓතිහාසික දිනය ද්‍රවිඩ සන්ධානයේ විසින් යොදාගෙන ඇත්තේ මෙරට දෙකඩ කිරීමටය. මෙවර මැයි දිනයේ තේමාව ස්‌වයංපාලනය යෑයි ද්‍රවිඩ සන්ධානයේ මාවයි සේනාධිරාජා ප්‍රකාශ කර ඇත.

එය රට දෙකඩ කිරීමේ වඩුක්‌කොඩෙයි ප්‍රඥප්තිය අලුතින් සකස්‌ කර ඉදිරිපත් කිරීමක්‌ යෑයි කිවහැකිය. 1976 මැයි 1 දා ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණ වඩුක්‌කොවෙයි ප්‍රඥප්තිය ඉදිරිපත් කළේය.

දැන් නැවත වරක්‌ ද්‍රවිඩ සන්ධානයේ උත්සාහය වඩුක්‌කොඩෙයි ප්‍රඥප්තිය නව ආරකින් ඉදිරිපත් කිරීම බව පැහැදිලිය.

එය තවදුරටත් සනාථවන්නේ හිටපු උතුරු නැගෙනහිර මහ ඇමැති වර්ධරාජා පෙරුමාල්ද යළි මතු වී උතුරු නැගෙනහිර සීමා නිර්ණය කළ යුතු යෑයි පැවැසීමයි.

මේ නිසා වඩුක්‌කොඩෙයි ප්‍රඥප්තියට ඓතිහාසික මැයි දිනය දා යළි ජීවය දීමට ද්‍රවිඩ සන්ධානය උත්සාහ කිරීමේ ඉලක්‌කය අවබෝධ වේ.

උතුරේ සහජීවනය සම්බන්ධව රජය හා ජාත්‍යන්තර ප්‍රජාව කුමක්‌ කීවත් ද්‍රවිඩ සන්ධානයේ යටි අරමුණු කිසිදිනක අභාවයට යන්නේ නැත.

එදා ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ නායක අමිර්තලිංගම් විසින් ගෙන ආ වඩුකොඩෙයි ප්‍රඥප්තිය ඉදිරියට ගෙනගියේ ප්‍රභාකරන්ය. එය බිහිසුණු ත්‍රස්‌තවාදයක්‌ බවට පත් විය.

එහි ප්‍රතිඵලය වූයේ මුළු රටම එකී ත්‍රස්‌තවාදයට ගොදුරුවීමයි. කොටි සංවිධානයට යළි පණදීමට පැමිණි තවත් කොටි ක්‍රියාකාරිකයකු වූ දිනේෂ් රාඡ් අරුලානන්දන් නැමැත්තාව ත්‍රස්‌ත මර්දන බලධාරීහු විසින් මේ සතියේදී අත්අඩංගුවට ගැනීමෙන් ස්‌වයංපාලන ක්‍රියාදාමයේ පසුබිම සනාථ විය.

රජය රුපියල් බිලියන ගණනක්‌ වැයකර පාලම්ද දුම්රිය මාර්ගයද නිමකර උතුර සංවර්ධනය කළත් ද්‍රවිඩ සන්ධානයේ බෙදුම්වාදී ආකල්පය අවසන් වී නැත.

ද්‍රවිඩ සන්ධානය තුළ කොටි හිතවාදී දේශපාලනඥයන් පිරිසක්‌ සිටින බව රහසක්‌ නොවේ. මේ පසුබිම මැද සහජීවන ක්‍රියාමාර්ගයකට මුවාවී උතුරට පැමිණි හිටපු කොටි ක්‍රියාකාරීහු අළු ගසාදමා තම පැරණි ක්‍රමවේදය අරඹා තිබේ.

පසුගිය වසර ගණනාවක්‌ තුළ ත්‍රස්‌aත ක්‍රියා සම්බන්ධව වාර්තා විමර්ශනය කරනවිට ත්‍රස්‌තවාදීන්ට නවාතැන් සැපයුවේ කොළඹ කොටි ත්‍රිකෝණයෙනි. ඉන් ත්‍රස්‌තවාදීන් විශාල පිරිසක්‌ අසුවූයේ කොටහේන ප්‍රදේශයෙනි.

වන්නි මෙහෙයුම නිමාවූවත් ප්‍රභාකරන් විසින් එවා තිබූ කොටි චරපුරුෂයන් හා ත්‍රස්‌තයන් තවමත් කොළඹ රැඳී සිටී. ඔවුන් අසු වූ බව හෝ අවි ආයුධ සහ පුපුරන ද්‍රව්‍ය සොයාගත් බව මෙතෙක්‌ වාර්තා වී නැත. මෙම කොටි ක්‍රියාකාරීන් ගැන හසල දැනුමක්‌ ඇති ත්‍රස්‌තමර්දන විමර්ශන හිටපු ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක නිලබ්දීන්ගේ සේවයද පොලිසියට අහිමි වී ඇත. ත්‍රස්‌තයන් දහසකට අධික පිරිසක්‌ අල්ලාගත් ඔහු දැන් විදේශ රටක වාසය කරන බව හෙළිවී තිබේ.

නිලබ්දීන් සිටිය යුත්තේ උතුරේයි. එහෙත් මේ ත්‍රස්‌ත විමර්ශකයාගේ සේවය ලබාගැනීමට පොලිස්‌ බලධාරීහු ක්‍රියාකර නැත. ද්‍රවිඩ සන්ධානය මෙන් උතුරේ හිටපු කොටි ක්‍රියාකාරින්ද මේ බව දනී.

වඩුක්‌කොඩෙයි ප්‍රඥප්තිය හෙවත් ස්‌වයංපාලනය නැවත එළිදැක්‌වීමට ද්‍රවිඩ සන්ධානය කැසකවන්නේ මෙවන් පසුබිමක්‌ මතය.

එහෙත් ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්දන් පවසන්නේ උතුරේ කොටි යළි කරලියට ඒමට දරන උත්සාහය ගැන තමන් නොදන්නා බවයි.

ප්‍රභාකරන් සියලු ත්‍රස්‌ත ක්‍රියා සිදුකළේ සම්බන්දන්ට දැනුම්දීමකින් නොවෙයි. එහෙත් මැයි දිනය දා ස්‌වයංපාලනය මත පැවැත්වීමට ද්‍රවිඩ සන්ධානය ක්‍රියාකිරීම යනු මෙරට ජාතික ආරක්‍ෂාවට තර්ජනයකි.

දුන්න ගැන මිසක්‌ දුනුවායා ගැන කියන්නේ නැතැයි යනුවෙන් ද්‍රවිඩ කියමනක්‌ ඇත. දැන් ද්‍රවිඩ සන්ධානය පවසන්නේ දුන්න ගැන පමණකි. ඒ ස්‌වයංපාලනයයි. මේ ස්‌වයංපාලනය ක්‍රියාත්මක කරන්නේ කව්දැයි ද්‍රවිඩ සන්ධානය කියන්නේ නැත.

උතුරේ පුනරුත්ථාපනය වූ බව කියන කොටි 12000 ක්‌ ඇත. රජය කුමක්‌ කීවත් මේ පිරිස අවස්‌ථාව පැමිණි විට අවි අතට නොගන්නා බවට රජයට දිය හැකි සහතිකය කුමක්‌ද?

උතුරේ තැනින් තැන ඊලම් පෝස්‌ටර් ඇලවූවන් පසුගිය කාලය තුළ විටින් විට අත්අඩංගුවට ගෙන තිබිණි.

යාපනයේ විශ්වවිද්‍යාල සිසුන්, මියගිය කොටි ත්‍රස්‌තයන් සැමරීමට ක්‍රියාකිරීමේ පසුබිම ගැනද ආරක්‍ෂක බලධාරීහු සිහිපත් කළ යුතුව ඇත.

කොටි සංවිධානයේ නායකයන් මැයි 19 දා විනාශ වූවත් හිටපු කොටි ක්‍රියාකාරීන්ගේ පුල්ලි වෙනස්‌ වී නැත.

මැයි 1 දා ඓතිහාසික මැයි දිනයදා ස්‌වයංපාලනය තේමාව මත මැයි දින උත්සවය පැවැත්වීමට ද්‍රවිඩ සන්ධානය තෝරාගත්තේ ඇයි?

2009 මැයි 19 දා ප්‍රභාකරන් පුමුඛ කොටි නායකත්වය විනාශ විය. ඒ අනුව ද්‍රවිඩ සන්ධානය ස්‌වයංපාලනය තේමාව මැයි 1 දාට යොදාගත්තේ මන්ද යන්න තේරුම් ගත හැකිය. එසේම මෙම ස්‌වයංපාලනයට සහාය දක්‌වන සුළු පිරිසක්‌ද දකුණේ සිටී. ඔවුහු දැනටමත් 13 වැනි සංශෝධනය දියයුතු යෑයි රජයට බලකර සිටී. කොටි සංවිධානය ත්‍රස්‌ත කල්ලියක්‌ නොවේ යෑයි ප්‍රකාශ කළ දේශපාලනඥයන්ද රජයට සම්බන්ධ වී සිටී.

මේ පසුබිම මැද උතුරේ ස්‌වයංපාලනය යළි ඉල්ලා ද්‍රවිඩ සන්ධානය හඬ නගන්නේ මන්දැයි පැහැදිලිය.

සම්බන්දන්ගේ සිට විග්නේශ්වරන්ලා දක්‌වා අද කිසිදු බියක්‌ සැකක්‌ නැතිව උතුරට යන්නේ 6000 කට අධික සෙබළු තම වර්තමානය හා අනාගතය පුද කිරීම නිසාය. මේ හැර ආබාධිත තත්ත්වයට පත් වූ සෙබළුන් හා නිලධාරීහු පිරිසක්‌ද වෙති.

ඔවුන් කළ කැපකිරීම නොතකා ද්‍රවිඩ සන්ධානයට ස්‌වයංපාලනය දිය යුතුද?

මැයි දිනය දා ස්‌වයංපාලනය තේමාව යළි එළිදැක්‌වීමට ක්‍රියාකිරීම ඊළම නැවත ගෙන ඒමේ ක්‍රියාමාර්ගයකි. එම තත්ත්වය මැද ද්‍රවිඩ සන්ධානය නටන මේ ඊළම් නාඩගමට තවදුරටත් ඉඩහැර රජය නිසලව සිටින්නේද?

විදේශ අරමුදල් මත යෑපෙන්නන් තවදුරටත් ක්‍රියාත්මක වේ. ඔවුහු රට දෙකඩ කිරීමට නොකඩවා අරමුදල් සපයති. සෑම ක්‍ෂේත්‍රයක්‌ වෙතම එකී අරමුදල් ව්‍යාප්ත වී ඇත. ස්‌වීඩනය, නෝර්වේ සහ ඩෙන්මාර්ක්‌ යන රටවල් මෙරට එන්.ජී.ඕ. කම්පැණියකට සියයට 70 ක අරමුදල් සපයයි. මේ තත්ත්වය මත ස්‌වයංපාලනය එළිදැක්‌වීමේ පාර්ශව උතුරේ මෙන් දකුණේ සිටින බවද අවබෝධ කර ගත යුතුව ඇත.

කීර්ති වර්ණකුලසූරිය

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.