හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක්‌ වන නිසා
වකුගඩු ජාවාරම් පරීක්‍ෂණ
සෞඛ්‍ය අමාත්‍යාශයට පවරන්න එපා

- මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමි

ඒමන්ති මාරඹේ

වකුගඩු විකිණීමට කැමැති පුද්ගලයන් ඉන්දියාවෙන් මෙරටට ගෙන්වා සිදුකර ඇති මහා පරිමාණ වකුගඩු ජාවාරම් සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ට පැවරීම "සොරාගේ අම්මාගෙන් පේන ඇසීම" වැනි වූ ක්‍රියාවක්‌ බව රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියෝ "දිවයින" ට පැවසූහ.

මෙම වකුගඩු ජාවාරමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් ඉහළ නිලධාරීන් ද, රජයේ වෛද්‍යවරුන් නියෝජනය කරන එක්‌තරා ප්‍රබල වෘත්තීය සමිතියක මධ්‍යම කාරක සභා සාමාජික වෛද්‍යවරයකු ද සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වීම නිසා එම ජාවාරම පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වීමේ කාර්යය සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ට නොපැවැරිය යුතු බව උන්වහන්සේ කීහ.

ශ්‍රී ලංකාවට කළු පැල්ලමක්‌ ඇති කිරීමට හේතු වන මෙම වකුගඩු ජාවාරම පිළිsබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් නොවන, රජයේ වෛද්‍යවරයකු ද නොවන ඉහළ රජයේ නිලධාරිවරයකු හරහා ස්‌වාධීන පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට රජය කටයුතු කළ යුතු බව මුරුත්තෙට්‌ටුවේ හිමියෝ සඳහන් කර සිටියහ.

වකුගඩු ජාවාරම් සම්බන්ධීකරණය කළැයි කියන මෙරට වෛද්‍ය වෘත්තීය සමිතියකට අයත් වෛද්‍යවරයා වකුගඩු විකිණීමට කැමැති ඉන්දීය ජාතිකයකුගෙන් ලබාගන්නා වකුගඩු යොදාගෙන සිදුකළ සැත්කමකින් රුපියල් ලක්‍ෂ 5 ක පමණ මුදලක්‌ උපයාගෙන ඇති බව අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පැවසීය.

මේ ආකාරයේ වකුගඩු සැත්කම් 10 ක්‌ මසකට සිදුකර ඇති අතර එම සැත්කම්වලින් අදාළ වෛද්‍යවරයා ලබාගෙන ඇති මුදල රුපියල් ලක්‍ෂ 50 ක්‌ බව එම ආරංචි මාර්ග කීවේය.

සෞඛ්‍ය වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ මෙරටට රැගෙන එන ඉන්දීය ජාතිකයන්ගෙන් වකුගඩු ලබාගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ගේ අනුමැතිය ලැබී තිබීම නිසා ඔවුන් ද මෙම ජාවාරම පිළිබඳව දැන සිටින්නට ඇති බවයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.