හෙද හෙදියෝ හෙට සේවයෙන් ඉවත් වෙති

ඒමන්ති මාරඹේ

හෙද කාර්ය මණ්‌ඩලයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් (වින්නඹු) වෙතින් සිදු වන කෙණෙහිලිකම්වලට විරෝධය පාමින් දිවයින පුරා රජයේ රෝහල්වල සියලු හෙද හෙදියෝ හෙට (01 දා) සිට සිය සේවා කටයුතුවලින් ඉවත් වීමට තීරණය කර ඇත.

මේ බව රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමය ඊයේ (29 දා) සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත දැනුම් දී තිබේ.

දිවයින පුරා රජයේ රෝහල්වල හෙද හෙදියෝ 30,000 කට ආසන්න සංඛ්‍යාවක්‌ සේවය කරති.

වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ වහළුන් සේ වැඩ කිරීමට හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ පිහිටුවාගෙන ඇති නිල නොලත් අමාත්‍යාංශයේ බලධාරීන්ගේ උපදෙස්‌ පිළිපැදීමට හෙද කාර්ය මණ්‌ඩලය සූදානම් නොමැති නිසා මෙම පියවර ගන්නා බව හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ.

සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ නිල නොවන මට්‌ටමින් බලධාරීන් කිහිපදෙනකු විසින් පිහිටුවාගෙන ඇති අමාත්‍යාංශය හෙද කාර්ය මණ්‌ඩලයට උපදෙස්‌ දීම අනුමත කළ නොහැකි බව උන්වහන්සේ කීහ.

සෞඛ්‍ය ඇමැතිවරයාගේ උපදෙස්‌ මත අමාත්‍යාංශයෙන් නිකුත් කරන නිල නියෝගයන් තම සංගමය පිළිපැදීමට සූදානම් බවත් පවතින තත්ත්වය පිළිබඳ සුදුසු තීරණයක්‌ ගෙන සෞඛ්‍ය ඇමැතිවරයා විසින් දැන්වුවහොත් එතැන් සිට හෙද කාර්ය මණ්‌ඩලය තම සේවාවන් පවත්වාගෙන යන බවත් හෙද සංගමය විසින් ඇමැතිවරයා වෙත ඊයේ (29 දා) යවන ලද ලිපියක දැක්‌වේ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.