පවුල් සෞඛ්‍ය නිලධාරිනියෝ හෙද පරිපාලනයෙන් නිදහස ඉල්ලති

ඒමන්ති මාරඹේ

දිවයිනේ සියලු මාතෘ රෝහල්, මාතෘ ඒකක හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවල සේවය කරන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් (වින්නඹු) හෙද පරිපාලනයෙන් ඉවත් කරන ලෙස රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලිත ඉල්ලීමක්‌ කර තිබේ.

පවුල් සෞඛ්‍ය සේවාව තවදුරටත් කෙණෙහිලිකම් මධ්‍යයේ හෙද කාර්ය මණ්‌ඩලවල පරිපාලනය යටතේ පවත්වාගෙන යා නොහැකි නිසා මෙම ඉල්ලීම කළ බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්‌කු මහත්මිය "දිවයින" ට පැවසුවාය. මේ සම්බන්ධව බලධාරීන් සමඟ මෙම දිනවල සාකච්ඡා පැවැත්වෙන බව ද ඇය සඳහන් කළාය.

මේ අතර රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමය හා රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය යන හෙද සංගම් ප්‍රකාශ කර සිටිනුයේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් හෙද පරිපාලනයෙන් ඉවත් කර වෛද්‍යවරුන්ගේ පරිපාලනය යටතට පත්කිරීමට පියවර ගතහොත් එතැන් සිට හෙද කාර්ය මණ්‌ඩල දැඩි ක්‍රියාමාර්ග කරා යැමට තීරණය කර ඇති බවයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.