කළුතර මහ රෝහලේ
වෛද්‍ය වැඩ වැරුම දිගටම


ඒමන්ති මාරඹේ

කළුතර මහ රෝහලේ වෛද්‍යවරුන්ගේ කටයුතුවලට හෙදියන් බාධා කිරීමේ තත්ත්වය නතර කිරීමට පියවර ගන්නා තෙක්‌ එම රෝහලේ ක්‍රියාත්මක කර ඇති වෛද්‍ය වැඩවර්ජනය දිගටම පවත්වාගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

කළුතර මහ රෝහලේ වාට්‌ටු නිරීක්‍ෂණ වාර්තාවේ (වෝඩ් රවුන්ඩ්ස්‌) යෙදුණු වෛද්‍යවරුන් පිරිසකට හෙද හෙදියන් පිරිසක්‌ බාධා පැමිණවූ බවට චෝදනා කරමින් කළුතර මහ රෝහලේ වෛද්‍යවරු පෙරේදා (29 වැනිදා) සිට වැඩ වර්ජනයේ යෙදී සිටිති. එසේ වෛද්‍යවරුන්ට බාධා කළ හෙද පිරිස රෝහල් භූමියෙන් ඉවත් කිරීමට පියවර ගන්නා තෙක්‌ වෛද්‍ය වර්ජනය ක්‍රියාත්මක කරන බව සංගමය කියයි.

හෙද හෙදියන් හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් අතර හටගෙන ඇති සූතිකා පුහුණුව සම්බන්ධ ගැටුම්කාරී තත්ත්වය නිරාකරණය කිරීම මෙතෙක්‌ ප්‍රමාදවී ඇත්තේ සෞඛ්‍ය බලධාරීන් මේ සම්බන්ධව නෑසූ කන්ව සිටිමින් එම ගැටුමට විසඳුම් සැපයීමට පියවර නොගැනීම බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන් ද සොයිසා කීවේය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා හා සෞඛ්‍ය ඇමැතිවරයා මෙම ගැටුම තවත් දිග්ගැසීමට ඉඩදී බලා සිටින බවටද ඔහු චෝදනා කළේය.

හෙද පවුල් සෞඛ්‍ය සේවා ගැටුම මෙතරම් දුරදිග යැමට හෙද වෘත්තීය සමිති නායකයන් දෙදෙනකු විසින් සිය පෞද්ගලික න්‍යාය පත්‍රයන් මත ගෙන ගිය වැඩපිළිවෙළද හේතුවූ බව කී වෛද්‍ය සොයිසා, වෛද්‍ය සංගමයට චෝදනා කරන ඇතැම් වෘත්තීය සමිති නායකයන් රාජ්‍ය සේවයේ නොසිටින අතර තවත් අය රාජ්‍ය සේවයේ සිටියද සේවයට වාර්තා නොකරන බව සඳහන් කළේය.


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.