වෛද්‍යවරුන් හෙදියන් විදේශගත වීම ප්‍රශ්නයක්‌
- සෞඛ්‍ය ඇමැති පදවිය රෝහලේදී කියයි

සී. එම්. ආරියපාල - තඹුත්තේගම

වසරකට ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් සහ හෙදියන් 50 දෙනෙකු පමණ විදෙස්‌ ගතවනවා. ප්‍රජාතන්ත්‍රවාදී රටක එය නතර කිරීමට බැහැ. එය අපේ රටට ඇති බරපතල ප්‍රශ්නයක්‌ යෑයි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ප්‍රධාන ලේකම් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පදවිය රෝහලේ නිල සංචාරයේ යෙදෙමින් පැවැසීය.

එහිදී වැඩිදුරටත් කතාකළ මෛත්‍රීපාල සිරිසේන ඇමැතිවරයා ප්‍රකාශ කර සිටියේ අද දින රෝහලේ ගොඩනැඟිලි කිහිපයක්‌ විවෘත කර රෝහලට අවශ්‍ය තවත් අවශ්‍යතා ඉටු කිරීමට අනුරාධපුර දිස්‌ත්‍රික්‌ සංවිධායක චන්ද්‍රසේන ඇමැතිතුමා ද ළමා හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍ය තිස්‌ස කරල්ලියද්ද ඇමැතිතුමා ද මුදල් දෙන බව පැවසීම සංතෝෂයට කරුණක්‌ බවයි. ඒ දෙදෙනාම මුදල් ලබා නොදුන්නත් රු. ලක්‍ෂ 50 ක මුදලක්‌ වහාම ක්‍රියාත්මක වන පරිදි පදවි රෝහලේ හදිසි උපකරණ මිලදී ගැනීමට ලබා දෙන බවත් ඇමැතිවරයා කීවේය.

ඇමැතිවරයා මෙසේද කීවේය.

අද දින පදවිය රෝහලේ සංචාරය කරමින් රෝහලේ ඇති අඩුපාඩු ගැන අවබෝධයක්‌ ලබා ගත්තා. ප්‍රදේශයේ ජන ජීවිතය පිළිබඳව මා හොඳින් දන්නවා. රජයක්‌ ලෙස සිදුවිය යුතු දේ අවශ්‍ය වේලාවට ලබාදීම අපේ අරමුණයි. අපේ නිදහස්‌ සෞඛ්‍ය සේවාව ලෝකයාගේ ගෞරවයට පාත්‍ර වෙලා තිබෙනවා. වෛද්‍යවරුන් සහ හෙදියන් ඇතුළු කාර්ය මණ්‌ඩලය අඩුපාඩු මැද ජනතාව වෙනුවෙන් කරගෙන යනු ලබන සේවාව අගේ කරනවා. රුපියල් මිලියන 65 ක්‌ වැය කර අංගසම්පූර්ණ උපකරණ සහිත වකුගඩු රෝග හඳුනා ගැනීමේ ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්‌ථානයක්‌ ලබාදීමට මා කටයුතු කරනවා.

සෞඛ්‍ය සේවාවේ තනතුරු 14 ක්‌ සඳහා බඳවා ගැනීමට ගැසට්‌ කර තිබෙනවා. රට තුළ ඒ සඳහා සුදුසුකම් ඇති අය ඉතාම අඩුයි. සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍ය පුරප්පාඩු පිරවීමට අදාළ සුදුසුකම් මත බඳවා ගැනීමට කටයුතු කරනවා. කොන්ත්‍රාත් පදනම මත හෙදියන් නිරෝගී නම් වයස අවුරුදු 60 ට වැඩි වුවත් සේවයේ තවදුරටත් තබා ගන්නවා. ලංකාව තුළ රෝහල්වලට හෙදියන් දසදහසක්‌ අඩුයි. මේ අතරින් ජාතික රෝහලට 600 දෙනකු අඩුයි. මේක විශාල ප්‍රශ්නයක්‌. පදවිය රෝහලේ අඩුපාඩු සපුරාලීමට වහාම ක්‍රියාත්මක වන පරිදි කටයුතු කරනවා. ලංකාවේ 2/3 ක වකුගඩු රෝගය පැතිර ගිහිල්ලා. ජනාධිපතිතුමාගේ උපදෙස්‌ පරිදි විශාල වැඩ කොටසක්‌ මේ වනතුරු සිදුකර තිබෙනවා.

මේ අවස්‌ථාවට උතුරුමැද පළාත් ප්‍රධාන ඇමැති එස්‌. එම්. සමරකෝන් මහතා ද ළමා හා කාන්තා කටයුතු පිළිබඳ ඇමැති තිස්‌ස කරල්ලියද්ද මහතාද විශේෂ ව්‍යාපෘති ඇමැති එස්‌. එම්. චන්ද්‍රසේන මහතාද බන්ධනාගාර පුනරුත්ථාපන ඇමැති එස්‌. සී. මුතුකුමාරණ මහතාද අනුරාධපුර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙහාන් සේමසිංහ මහතාද, උතුරුමැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ පාලිත බණ්‌ඩාර මහතා ද ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ සී. ආරියරත්න මහතාද වෛද්‍ය උපුල් මුණසිංහ මහතා ද, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ලක්‍ෂ්මි ප්‍රේමතුංග මහත්මියද ඇතුළු වෛද්‍යවරු රැසක්‌ සහභාගි වූහ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.