සියවස්‌ 20 ක්‌ දඹුල්ල රැකගත්තේ අතීත රජ දරුවන්, 
ප්‍රභූන්, සංඝයාවහන්සේ මිස යුනෙස්‌කෝව නොවේ

- ලෝක උරුමයෙන් දඹුල්ල ඉවත්කිරිම ගැන
පූජ්‍ය ඉනාමළුවේ සුමංගල හිමියෝ කියති

ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මුදුන්මල්කඩක්‌ බඳු ඓතිහාසික රංගිරි දඹුලු රජ මහා විහාරය ලෝක උරුම ලැයිස්‌තුවෙන් කපාහැරීමට යුනෙස්‌කෝ (United Nations Organization for Education, Science and Culture (UNESCO) සංවිධානය තීරණයක්‌ ගෙන ඇති බවට රාවයක්‌ මේ දිනවල පැතිර යයි. එහෙත්, දැනගන්නට ඇති පරිදි එම සංවිධානය මේ වන තෙක්‌ ඊට අදාළ නිල ප්‍රකාශයක්‌ හෝ නිවේදනයක්‌ ශ්‍රී ලංකා රජය වෙත ලබාදී නැත. එහෙත්, යුනෙස්‌කෝ සංවිධානයට අනුබද්ධව ශ්‍රී ලංකාවේ කටයුතු කරන සංස්‌කෘතික අරමුදල මේ පිළිබඳව යම් අදහසක්‌ දරණු පෙනේ.



යුනෙස්‌කෝව මගින් මේ වන විට ශ්‍රී ලංකාවේ ලෝක උරුම දහයක්‌ ප්‍රකාශයට පත් කර තිබේ. ඉන් හතරක්‌ම ස්‌වභාවික වනාන්තරය. සිංහරාජය, සමනළ අඩවිය, හෝර්ටන්තැන්න ජාතික උද්‍යානය සහ දුම්බර (නකල්ස්‌) වනාන්තරය ඒවාය.

ඊට පෙරාතුව සංස්‌කෘතික හා ආගමික වශයෙන් වැදගත් ස්‌ථාන හයක්‌ද ලෝක උරුම ලෙස ප්‍රකාශයට පත්කර ඇත. දළදා මාළිගාව ඇතුළත් මහනුවර නගරය, සීගිරිය, අනුරාධපුරය, පොළොන්නරුව, ගාලු කොටුව සහ ඓතිහාසික දඹුල්ල ලෙන් විහාරය ඇතළත් රජමහා විහාරය එම ස්‌ථාන හයයි.

මෙම ස්‌ථාන හයම බෞද්ධාගමට මූලිකත්වය දී එවන් පදනමකින් යුතුව දේශයේ සාඩම්බර රජදරුවන් විසින් ගොඩනගන ලද පෞරාණික හා හෙළයේ ප්‍රෙෘඪත්වය විදහාපාන සිද්ධස්‌ථාන වීමද මෙහිදී කැපී පෙනේ. මේවා ලෝක උරුම ලෙස නම් කිරීමේදී බොහෝ නිර්ණායක සලකා බලනු ලබන අතර එම නිර්ණායකයන්ට අදාළව ලෝක උරුමයක්‌ නම් කිරීමෙන් පසු සිදුවන වාසි මෙන්ම අවාසි ද වන බව විද්වත්හු පෙන්වා දෙති.

දඹුල්ල ලෙන් විහාර පරිශ්‍රය ලෝක උරුම ලැයිස්‌තුවට එකතුකර ප්‍රකාශයට පත් කරනු ලබන්නේ 1991 වසරේදීය. වසර 23 කට පසු එනම්, දශක දෙකක්‌ ලෝක උරුමයක්‌ වශයෙන් පවත්වාගෙන ගිය මේ බෞද්ධ සිද්ධස්‌ථානය එම ලැයිස්‌තුවෙන් ඉවත් කරන්නේ කුමක්‌ නිසාද යන්නත් ඊට පාදක වූ හේතු මෙන්ම මෙම දශක දෙක තුළ යුනෙස්‌කෝ ලෝක උරුම ලැයිස්‌තුවේ සිටීමෙන් දඹුල්ල විහාරයට අත්වූ සෙත කුමක්‌ ද යන්නත් මේ අවස්‌ථාවේදී විමසා බැලීම වටී.

මෙහි අලුත් තත්ත්වය කුමක්‌ද යන්න දැනගැනීමට අප පළමුව අදහස්‌ විමසා සිටියේ දඹුලු විහාරයේ සැබෑ භාරකරුවා වන දඹුල්ල රජමහා විහාරාධිපති, සියම් මහා නිකායේ දඹුලු පාර්ශ්වයේ පූජ්‍ය ඉනාමළුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගෙනි. ඊට උන්වහන්සේ දුන් අදහස්‌ පැහැදිලි කිරීම මෙසේ අපට ගොනු කළ හැකිය.

"ඔය ලෝක උරුම ලැයිස්‌තුවෙන් දඹුල්ල රජමහා විහාරය ඉවත් කිරීම දඹුල්ල නියෝජනය කරන ආණ්‌ඩුවේ ප්‍රබල ඇමැතිකමක්‌ දරණ දේශපාලකයකුගේ (ඔහුගේ නම සඳහන් කළේය.) කුමන්ත්‍රණයක්‌. ඔහු යුනෙස්‌කෝ මූලස්‌ථානයට පෙත්සමක්‌ යවා තිබෙනවා දඹුල්ල මේ ලැයිස්‌තුවෙන් ඉවත් කරන්න කියා. ඒකට හේතුව රත්තරන් පාට සුවිසල් බුදුපිළිමය සහිතව උයන්වත්ත විහාරය මවිසින් දඹුල්ලේ ගොඩනැගීමයි. දඹුල්ලේ බෞද්ධ දියුණුව දරාගන්න බැරි මේ දේශපාලකයා ප්‍රංශයේ යුනෙස්‌කෝ මූලස්‌ථානයට පෙත්සමක්‌ යවා ඇති බව දැන් ඔප්පුවෙලා තියෙනවා. මේ ළඟදි දවසක අස්‌ගිරි මහානායක අති පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්‌ත හාමුදුරුවෝ ප්‍රංශයට වැඩම කරපු වෙලාවෙ ප්‍රංශ තානාපති කාර්යාලයේ ප්‍රධාන නිලධාරියෙක්‌ මේ ඇමැතිවරයා යුනෙස්‌කෝවට යවපු පෙත්සම පෙන්නල තියෙනවා. නමුත් මහානායක හාමුදුරුවෝ මේ ගැන එතුමාටත් පැහැදිලි කරල මටත් මේ ගැන පැවසුවා. මේක තමයි මම දන්න හැටියට ආසන්නම සිදුවීම දඹුල්ල ලෝක උරුමයෙන් ඉවත් කරන්න. ඉතින් බෞද්ධ වේෂයෙන් පෙනී සිටින, දඹුල්ලේ දියුණුව නොපතන, එයට ඊර්ෂ්‍යා කරන කොන්දක්‌ නැති, අන්‍ය ආගම්වලට කත් අදින පුද්ගලයන් හඳුනගන්න මේක හොඳ අවස්‌ථාවක්‌.

අනික දඹුල්ල රජමහා විහාරයත්, උයන්වත්ත විහාරයත් දෙකක්‌. එකක්‌ නෙමේ. මේක තේරුම් ගත යුතුයි. මේ සුවිසල් බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කරා කියල වෙනම විහාර පරිශ්‍රයක්‌ නිර්මාණය කරා කියල රජමහා විහාරයට අබමල් රේණුවක වැරැද්දක්‌ වෙලා නැහැ. තවදුරටත් බෞද්ධයන්ගේ කේන්ද්‍රස්‌ථානයක්‌ බවට දඹුල්ල පත්වීමයි සිදුවෙලා තියෙන්නේ. දැන් ලක්‍ෂ ගණනක්‌ බෞද්ධ ජනතාව මෙහි ගැවසෙනවා. ඒ නිසා මම දකින්නේ මේක ආගම, ජාතිය වනසන එහි දියුණුව නොදකින කුමන්ත්‍රණකරුවන්ගේ වැඩක්‌ විදිහට.

"දැන් අපි යුනෙස්‌කෝවත්, දඹුල්ල ලෝක උරුම කතාන්දරයත් ගැන කතා කරමු." උන්වහන්සේ ඒ ගැන පැහැදිලි කළේ මෙසේය.

"යුනෙස්‌කෝව දඹුල්ල විහාරය ලෝක උරුම ලැයිස්‌තුවෙන් ඉවත් කළාට ඒක මටවත්, මේ රටේ බෞද්ධ ජනතාවටත් දඹුල්ල විහාරයටවත් පාඩුවක්‌ නෙමේ. පාඩුව අරමුදල් මත යෑපෙන යුනෙස්‌කෝවටමයි. මෙම සංවිධානය අරමුදල් මත යෑපෙන සංවිධානයක්‌. ලෝක උරුම තියෙනකම් යුනෙස්‌කෝවට හොඳයි. ඒක තනිකරම ව්‍යාපාරයක්‌. අපේ අනන්‍යතාව උදුරාගන්නයි මේ සංවිධානය කටයුතු කරන්නේ. ක්‍රිස්‌තු පූර්ව පළමුවෙනි සියවසේ ඉඳන් සියවස්‌ 20 ක්‌ මේ රටේ රජවරු, අතීත ප්‍රභූවරු, භික්‌ෂූන් වහන්සේලා තමයි දඹුල්ල රජමහා විහාරයේ උරුමය රැකගත්තේ වෙන කවුරුවත් නෙමේ තවදුරටත් ඒ අනුව යමින් මම මේ විහාරය රැකගෙන තිබෙනවා. ඉතින් අපේ බෞද්ධ දියුණුව ප්‍රංශයට ඕන විදිහට, යුනෙස්‌කෝවට ඕන විදිහට අවසර අරන් කරන්න ඕන කියල එයාල හිතනවා. එහෙම අපට කරන්න උවමනාවක්‌ නැහැ යෑයි ද ශ්‍රී සුමංගල නාහිමියෝ පවසති.

උන්වහන්සේ පවසනුයේ දඹුල්ල ලෝක උරුමයක්‌ නොවිය යුතු බවත් එය ශ්‍රී ලාංකික අනන්‍යතාව සහිත ශ්‍රී ලාංකික උරුමයක්‌ විය යුතු බවත්ය.

මේ ලෝක උරුම සංකල්පය අපේ හොඳට කරන වැඩක්‌ නෙමේ. ඒක එයාලගෙ හොඳට කරන වැඩක්‌. මම මේක හඳුන්වන්නේ ජාවාරමක්‌ විදිහටයි. ජාත්‍යන්තර ජාවාරමක්‌ 1991 දී දඹුල්ල ලෝක උරුමයක්‌ කළාට පස්‌සේ මේ වෙනකං ගඩොලක තරම් සංවර්ධනයක්‌ දඹුල්ලේ කරල නැහැ. මේ සියල්ල කළේ මම. දඹුල්ල රැකගත්තේ යුනෙස්‌කෝ ආධාර ලබන සංස්‌කෘතික ත්‍රිකෝණය නෙමේ. එයාල කිව්ව සංවර්ධනය කළා නම් අද දඹුල්ලේ පෞරාණික වටිනාකම නැහැ. අලුතෙන් චිත්‍ර පින්තාරු කරන්න, පැරණි උළු වහළවල්වලට වෙනත් උළු දාන්න තමයි යෝජනා කළේ. මම ඒවා කළේ නැහැ. කොහොම වුණත් අද මේ අයට ප්‍රශ්නයක්‌ වෙලා තියෙන්නේ දඹුල්ලේ රන් පිළිමවහන්සේ ප්‍රමුඛ විහාර පරිශ්‍රයේ ඉදිවීමයි. මේ දියුණුව ඉවසන්න බැරි බෞද්ධයන්ට විතරයි. මම පුරාවිද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිධරයෙක්‌. පුරාවිද්‍යාව මට ආයිත් කවුරුවත් උගන්වන්න ඕන නැහැ. මෙහි කටයුතු සියල්ල සිදුවන්නේ ඒ දැනුම ප්‍රයෝජනයට ගෙන තමයි. දඹුල්ලේ මූලික ඓතිහාසික සාධක කිසිලෙසකින්වත් වෙනස්‌ නොකර බුදු දහමේ දියුණුව කාලය අනුව ඊට ලැබිය යුතුයි. වෙලා තියෙන්නෙ ඒ කටයුත්ත මම දඹුල්ලට කර ඇත්තේ දියුණුවක්‌, කලානුරූපව කළ සුළු වෙනස්‌කම් සහිත දියුණුවක්‌. ඒක කාටවත් නෑ කියන්න බැහැ. දැන් යුනෙස්‌කෝව, සංස්‌කෘතික ත්‍රිකෝණය, බෞද්ධ වෙස්‌ගත් අන්‍යාගමික දේශපාලඥයන්ට කියන්නේ මේ දැවැන්ත පිළිම වහන්සේ කඩා විනාශ කරන්න කියලද? උන් උත්සාහ ගන්නේ ඒකට. බෞද්ධ උරුමය නැති කරන්න." මේ ඉනාමළුවේ සුමංගල හිමියන් ලෝක උරුමයෙන් දඹුල්ල ඉවත් වීම ගැන දරන අදහස හා සිටින ස්‌ථාවරයයි.

මේ පිළිබඳව අප සංස්‌කෘතික ත්‍රිකෝණයේ ප්‍රකාශකයකුගෙන් විමසූ කල හෙතෙම කියා සිටියේ යුනෙස්‌කෝ නිර්ණායක උල්ලංඝනය කරමින් පෙරකී බුදුපිළිමය දඹුල්ල විහාරයේ නිර්මාණය කිරීම හේතුවෙන් සංස්‌කෘතික ත්‍රිකෝණය දඹුල්ල සංවර්ධන කටයුතුවලින් කලක පටන් ඉවත් කර තිබෙන බවයි. මේ නිසා යුනෙස්‌කෝ සංවිධානය කරුණු විමසා සිටි බවද, පෙර කී කාරණය ආසන්නතම සිදුවීම වශයෙන් ලෝක උරුමයෙන් ඉවත් කිරීමට යුනෙස්‌කෝව සලකා බලා ඇති බවද හේ අවධාරණය කළේය. එහෙත් මේ සඳහා වන නිල නිවේදනයක්‌ තවමත් නිකුත් කර නොමැති බවද හේ කීවේය.

මේ අනුව බලන කල දඹුල්ල විහාරය ලෝක උරුම ලැයිස්‌තුවෙන් ඉවත් කිරීමට යුනෙස්‌කෝව තීන්දු කර ඇත්තේ Golden temple ලෙස හඳුන්වන රන් බුදුපිළිමය සහිත උයන්වත්ත විහාරය දඹුල්ල පූජා භූමියේ ඉදිකිරීමය. මෙය බෞද්ධාගමිකයන්ගේ පැත්තෙන් බැලූ කල වරදක්‌ ලෙස හැඳින්විය හැකි දෙයක්‌ නොව, ආගමික දියුණුවක්‌ ලෙස හඳුන්වන විද්වත්හු ලෝක උරුමයකට කොටු වී පූජා භූමි සංවර්ධනයකට යන්නේ කෙලෙසකදැයි ප්‍රශ්න කරයි. යුනෙස්‌කෝ නිර්ණායකයන්ට අනුව ලෝක උරුමයේ සිට මීටර් 500 ක දුරකින් කිසිවක්‌ ඉදිකිරීම නොකළ යුතු සේ සඳහන් වේ. නමුත් බෞද්ධාගමේ පුනර්ජීවය සඳහා උයන්වත්ත විහාරයෙන් සිදුවන සේවාව අද බෞද්ධ ලෝකයම එකසේ පිළිගෙන ඇති මොහොතක යුනෙස්‌කෝ තීන්දුවේ වාසිය බෞද්ධයන්ට නොව අබෞද්ධයන්ටම බව ඔවුහු කියා සිටිති. එහෙයින් ලෝක උරුමයේ තවදුරටත් රැඳී සිටින්නට නම් සුවිසල් රන් බුදුපිළිමය කඩාදැමිය යුත්තේ දැයි ඔවුහු ප්‍රශ්න කරති.

ජගත් කණහැරආරච්චි

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.