ඒ අභීත දියණියට හිමි ඓතිහාසික ගෞරවය ලබා දෙන්න

"දිවයින ඉරිදා සංග්‍රහයේ" පසුගිය දෙසතිය තුළ ප්‍රේමවතී මනම්පේරි තරුණිය පිළිබඳව පළවූ ලිපි කියෑවූ "දිවයින" පාඨකයකු වන මිණිපේ, හසලක අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය සුරංග විතාන මහතා ඒ සම්බන්ධයෙන් සිය අදහස්‌ අප වෙත මෙසේ දන්වා එවා තිබේ.

ප්‍රේමවතී මනම්පේරි සම්බන්ධයෙන් වැඩිදෙනා කතා නොකළ කරුණක්‌ කෙරෙහි අවධානය යොමු කරවීමට කැමැත්තෙමි. ඒ නම් ඇය මරණයට මුහුණ දුන් ආකාරයයි. එම අවස්‌ථාවේදී සාමාන්‍ය තරුණියක්‌ අභිබවා යන අන්දමේ පරිණත බවක්‌, සංයමයක්‌ සහ ජීවිතාවබෝධයක්‌ ඇය තුළින් දිස්‌වූ බව මාගේ හැඟීමයි.

මියයන විට ඇගේ වයස අවුරුදු 22 යි. නමුත් එම වයසේ තරුණියකගෙන් එවැනි අවස්‌ථාවකදී බලාපොරොත්තු විය නොහැකි අන්දමේ හැසිරීමක්‌ ඇය විසින් ප්‍රකට කර තිබුණි.

නඩුවේ සාක්‍ෂිවලින්ද ඒ බව අනාවරණය විය.

තමාගේ කරාබු දෙක ගලවාගෙන ගොස්‌ එය තම නැගණියට දීම සඳහා මවට ලබාදෙන ලෙස ඇය පැවසූ බවක්‌ ඇලඩින් මහතා ඔහුගේ සාක්‍ෂියේ දී ප්‍රකාශ කර තිබුණි.

තවද ඇය විසින් මුදල් ඉතිරි කිරීම සඳහා භාවිතා කළ පුංචි කැටයක්‌ නිවසේ පැදුරු ආනේ පැදුරක්‌ තුළ සඟවා ඇති බවද එය මල්ලිට ලබා ගන්නා ලෙස ඇය පැවසූ බවද සඳහන් වේ.

තමා කිසිවෙකු සමග තරහක්‌ හෝ වෛරයක්‌ නොමැති බවත්, මෙය තමාගේ පෙර කරුමයක්‌ නිසා සිදු වූ බවත් ඇය තවදුරටත් ඇලඩින් මහතාට පවසා සිටි බව ඒ පිළිබඳ වූ පුවත්පත් වාර්තාවල සඳහන් වී තිබෙනු මා දැක ඇත.

යමෙකුගේ වයස යන්න විද්‍යාත්මකව ආකාර 3 කට විග්‍රහ කෙරේ.

01. Chronological Age උපතේ සිට ගෙවී ගොස්‌ ඇති අවුරුදු ගණන

02. Biological Age ශාරීරිකව පෙන්නුම් කරන වයස

03. Psychological Age මානසික පරිණත බව සහ ආකල්ප මගින් පෙන්නුම් කරන වයස

ඇයගේ Chronological සහ Biological වයස අවුරුදු 22 වුවද ඇයගේ Psychological වයස ඉන් එහා මුහුකුරා ගිය මට්‌ටමක තිබූ බව මරණ මංචකයේ දී ඇයගේ ක්‍රියා කලාපයෙන් පැහැදිලි වේ.

කලින්දා රාත්‍රියේ කිහිප වරක්‌ දූෂණය කර පසු දින දෙනෝදාහක්‌ ඉදිරියේ නිරුවත් කර මහමඟ ඇවිද්දවා පසුව වෙඩි තබා මරා දැමීම යනු තරුණියකට තම ජීවිතයේ ලැබිය හැකි කෲරත්වයේ උපරිමයයි. ඉන් එහා තවත් විඳීමට දෙයක්‌ ඇයට ඉතිරි වී නැත.

එහෙත් මෙතරම් දරුණු කායික හා මානසික පීඩාවකට ලක්‌වී මාරාන්තික තුවාල ලබා අසාධ්‍යව කායිකව අඩපණව සිටියත් මානසිකව නොසැලී සිටීමේ ශක්‌තියක්‌ ඇයට තිබුණි. ඇය ක්‌ලාන්ත වූයේ නැත. සිහිසුන් වූයේ නැත. ඇගේ අවසන් හුස්‌ම පොද වා තලයට මුසුවන අවස්‌ථාව දක්‌වාම ඇය පියවි සිහියෙන් සිටියාය.

අවසානයේ ඇය මියගියේද දුර බැහැර ගමනක්‌ යැමට සැරසෙන අයෙකු තම නිවසේ කටයුතු මනාව සංවිධානය කර එම ගමන පිටත්ව යන ආකාරයක්‌ සිහිගන්වමිනි.

ඇය දියණියක්‌ වශයෙන් තම මව ගැන සිතුවාය. වැඩිමහල් සහෝදරිය වශයෙන් තම නැගණිය ගැන සිතුවාය. තම බාල සහෝදරයා ගැන සිතුවාය. ඔවුන් වෙනුවෙන් ඒ මොහොතේ ඇයට කළ හැකිව තිබූ උපරිමය ඇය කළාය. ඇයට ඒ සඳහා විශාල කාලයක්‌ ලැබී තිබුණේ නැත. නමුත් ඇයට ඉතිරිව තිබූ ඉතා කෙටි කාලය තුළ ඇය තම යුතුකම මැනවින් ඉටු කළාය. මෙය සැබැවින්ම ඇගයීමට ලක්‌ කළ යුතු කරුණකි.

මෙවන් මරණ මීට පෙර ද ඉතිහාසයේ සිදුවී තිබේ. මද්දුම බණ්‌ඩාර, ඇහැලේපොළ කුමාරිහාමි වැනි අය ගැන සමාජය දැන ගත්තේ ඔවුන්ට මුහුණපෑමට සිදුවූ අවාසනාවන්ත මරණයන් නිසාය. එම මරණයන් නොවන්නට ඔවුන් ගැන සමාජය කතා කරන්නේ නැත.

එහි වටිනාකම ඇත්තේ ඒ අය එම මරණයට මුහුණ දුන් ආකාරය තුළයි. එම පුද්ගලයන් එදා එසේ මියගියද ඔවුන්ගේ චරිත කිසිදා මරා දැමිය නොහැක.

ප්‍රේමවතී මනම්පේරිටද ඉතිහාසය තුළ හිමි ස්‌ථානය එයයි. ඇගේ චරිතයද ඉතිහාසය පුරාවටම සදාකල් පවතිනු ඇත. ඇයට හිමි ඒ තැන ලබාදීම යුක්‌තිගරුක පුරවැසියන් වශයෙන් අප සැමගේ යුතුකමයි.

වෛද්‍ය සුරංග විතාන

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.