යුද හමුදා වෛද්‍ය බළකායෙන්
(ජනතාව වෙනුවෙන්) අප කරන ඉල්ලීම....


මනුෂ්‍යයා යනු කෙතරම් නරුම, කෙතරම් කුහක, කෙතරම් නීච ක්‍ෂීරපායි සතෙක්‌ද යන්න ඉතිහාසය විසින් විටින් විට අපට කියා දෙනු ලැබ ඇත. එය මෙවර අපට කියා දුන්නේ දැනට රට පුරා පවතින හෙදි වර්ජනය මගිනි. හෙදි වර්ජනයේ පසුබිම් කතාව අපගේ පාඨකයා දන්නේ ය. රෝහලක සූතිකාගාරයක්‌ තුළදී දරු ප්‍රසූතියක්‌ සිදුවන විට වින්නඹු මාතාවක්‌/ පවුල් සෞඛ්‍ය සේවිකාවක්‌ විසින් කරන සුවිශේෂී වැඩ කොටස හෙදියන්ට ද පුරුදු කිරීමට බලය දෙන ලියුමක්‌ හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හාමුදුරුවන් අතේ තිබේ. මෙය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සහ සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් අතර හබයක්‌ පැවැති කාලයකදී එකකු විසින් අනෙකාට කෙළවන්නෙමැයි සිතමින් නිකුත් කරන ලද ලියුමකි. මෙය නිල මට්‌ටමේ ලියුමක්‌ නිසා ආණ්‌ඩුවට ද කර කියා ගන්නට දෙයක්‌ නොමැත. දැන් හෙදියෝ සූතිකාගාර පුහුණුව ඉල්ලා වර්ජනය කරති. මේ ප්‍රශ්නයේදී වෛද්‍යවරුන් ඉන්නේ වින්නඹු අම්මලාගේ පැත්තේ ය. එහෙත් හෙදියන් කරන දේ කරන්නට ඔවුනට බැරි ය. උදාහරණයක්‌ ලෙස දරු ප්‍රසූතියකදී විශේෂිත උපකරණ පාවිච්චි කිරීමට අවශ්‍ය වූ විට එය කරන්නට වින්නඹු අම්මලාට බැරි ය. පසුගියදාක කුරුණෑගල ශික්‍ෂණ රෝහලට ඇතුළත් කළ ගැබිනි මවක්‌ දරුවා ප්‍රසූත කිරීමේදී නර්ස්‌ලා කළ යුතු කාරිය වින්නඹු අම්මලා කිරීමට යැම නිසා විශාල අවුලක්‌ සිදුවිය. මවගේ ගර්භාෂය ඉවත් කිරීමට සිදුවිය. උපන් දරුවාගේ සිරුරට හානි සිදු විය. මේ අතර එම රෝහලේම හෙදියන් තැලසීමියා රෝගී දරුවන්ට එන්නත් දීම ප්‍රතික්‍ෂේප කළ බවත් "මැරෙන්න ගියොත් කියාපල්ලා, එතකොට ඉන්ජෙක්‌ෂන් දෙන්නම්" යනුවෙන් කී බවත් දැනගන්නට තිබේ. මේ ප්‍රකාශය හෙද සංහතියටම නින්දාවක්‌ වන අතර එකී අමන කාන්තාව වහා සේවයෙන් නෙරපන්නැයි සෞඛ්‍ය ඇමැතිතුමාගෙන් ඉල්ලමු. එවැනි කුණු වැඩවලට මැදි වී විත්තිකාර හෙදිය ආරක්‍ෂා කර ගැනීමෙන් වළකින ලෙස මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හාමුදුරුවන්ගෙන් ද ඉල්ලමු. තැලසීමියා යනු ශරීරයේ යකඩ අවශෝෂණය නොවී එක්‌රොක්‌වීම, අස්‌ථි විකෘතිතා යනාදිය හටගන්වන මාරාන්තික තත්ත්වයකි. මේ තත්ත්වයට පත්වන අය අමුතුවෙන් මැරෙන්න යන්නේ නැත. ඔවුන් නිතරම සිsටින්නේ මැරෙමින් ය. එබැවින්, මැරෙන්න යන විට කියාපල්ලා, යන යෙදුම පාවිච්චි කළ හෙදියගේ කටට උණු කළ යකඩ වත්කිරීමට යම රජතුමා බලා සිටිනවා ඇත.

පටු දේශපාලන පරමාර්ථ, එකකුට කෙළවීමට ආණ්‌ඩුවේ තීන්දුවක්‌ පාවිච්චි කිරීම වැනි කාරණා ඉතා පහත් වැඩ ය. සෞඛ්‍ය ක්‍ෂේත්‍රය යනු නිරන්තරයෙන්ම වැඩ වර්ජන තිබෙන තැනකි. දොස්‌තරලා වැඩි පඩිය උදෙසා වර්ජනය කරති. රෝහල් සුළු සේවිකාවන්ගේ ගවුම තමාගේ ගවුමට සමාන යයි කියමින් හෙදියෝ වර්ජනය කරති. මෙය වර්ජනය කිරීමට තරම් හේතුවක්‌ද යන්න අපට නොවැටහේ. හෙදියක්‌ වර්ජනය කළ යුත්තේ නිරුවතින් වැඩට එන ලෙස ආණ්‌ඩුව කීවොත් පමණි. ඇතැම් දොස්‌තරවරයකු වැඩ වර්ජනය කරන්නේ ලෙඩකුගේ භාරකාරයා තමන් දෙස නපුරු විදියට රවා බැලූ බව කියමිනි. මේ නිsසා අවසන් වශයෙන් පීඩනයට පත්වන්නේ අසරණ ලෙඩා ය. මේ අයට හිරිහැරයක්‌ වන අය අකුණු තත්ත්වයක්‌ පවතින අවස්‌ථාවදී අකුණු සන්නායකයක්‌ අතින් ගෙන එහි අතේ දුරින් වයර් එක පොළවට සම්බන්ධ වන පරිදි ගමන් කළ යුතු ය.

නර්ස්‌ලාට වැඩ කරන්නට බැරි නම් යුද හමුදා වෛද්‍ය බළකායේ සිටින හෙදියන් සහ හෙද සේවකයන් යොදවා රෝහල්වල මතුව තිබෙන ප්‍රශ්නය නිරාකරණය කිරීමට ආණ්‌ඩුවට බැරිද? මේ දුක්‌ විඳින්නේ ආණ්‌ඩුවට ඡන්දය දී බලයට පත් කළ ජනයා ය. ඒ මිනිසුන් ද, එසේ නොවන මිනිසුන්ද බලා ගැනීම ආණ්‌ඩුවේ යුතුකම ය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.