ගවයන්ට කන්න නැහැ ඉතින් කොහෙන්ද කිරි?

කිරිවලින් රට ස්‌වයංපෝෂිත කිරීමේ වැඩසටහනට අනුව කිරි ගවයන් 20,000 (විසිදහසක්‌) ඔස්‌ටේ්‍රලියාවෙන් ආනයනය කිරීම සඳහා ඔස්‌ටේ්‍රලියා බැංකුවකින් ඇමරිකා ඩොලර් කෝටි 7 ක (ඇමරිකානු ඩොලර් 7,39,54,054) පමණ ණය මුදලක්‌ ලබා ගැනීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට්‌ සංදේශයට අමාත්‍ය මණ්‌ඩල අනුමැතිය ලැබී ඇත.

තවද එළ ගවයන් 12,36,500 ක පමණ ප්‍රමාණයක්‌ දිවයින පුරාම සිටින අතර දැනට කිරි ලබා ගන්නේ කිරි දෙනුන් 2,50,000 ක ආසන්න සංඛ්‍යාවකින්. දැනට සිටින හා අලුතින් රැගෙන එන කිරි දෙනුන් සඳහා ප්‍රමාණවත් ගව ආහාර තොග රටතුළ නිෂ්පාදනය නොවීම ප්‍රශ්නයක්‌ වී ඇත.

කිරි දෙනුන් සියලුම දෙනාට අවශ්‍ය තරම් නිෂ්පාදනය කිරීමට හැකියාව ඇති ගව ආහාර කර්මාන්ත ශාලාවක්‌ කඩිනමින් ස්‌ථාපනය කිරීම සඳහා පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන ඇමැති ආරුමුගම් තොණ්‌ඩමන් විසින් කැබිනට්‌ සංදේශයක්‌ මගින් අමාත්‍ය මණ්‌ඩල අනුමැතියට ඉදිරිපත් කරන ලද එම සංදේශයට අමාත්‍ය මණ්‌ඩල අනුමැතිය ලැබී ඇත.

ජාතික කිරි මණ්‌ඩලය ක්‍රියාත්මක වූ වකවානුවේදී කිරි දෙනුන්ට අවශ්‍ය ගව ආහාර ලබාදීම සඳහා රජයට සම්බන්ධ තෙල් හා මේද සංයුක්‌ත මණ්‌ඩලය හා බී.සී.සී. සමාගම ක්‍රියාත්මක විය. එදා කිරි ගොවියාට අවශ්‍ය ප්‍රමාණයෙන් සාධාරණ මිලට ගව ආහාර සපයා ගැනීමේ අවස්‌ථාව සැලසී තිබිණි. නිදහස්‌ ආර්ථික ප්‍රතිපත්තිය රටට හඳුන්වා දීමත් සමඟම බී.සී.සී. ආයතනයට එල්ල වූ තර්ජන හමුවේ බී.සී.සී. ආයතනය වසා දැමීමට සිදුවිය. තෙල් හා මේද සංයුක්‌ත මණ්‌ඩලය ද අහෝසි වී ඇත.

මේ අනුව රට පුරා ගව ආහාර හිඟයක්‌ පවතින අතර, දේශීය පොල් කර්මාන්තයෙන් එකතුකර ගන්නා පොල් පුන්නක්‌කු තොග මිල දී ගනු ලබන වෙළෙන්දෝ පවත්වා ගෙන යනු ලබන මිල ඒකාධිකාරිය නිසා පුන්නක්‌කුවල මිල ඉහළ ගොස්‌ ඇත. ගව ආහාර නිෂ්පාදනය කරනු ලබන පුද්ගලික සමාගම්වල ගව ආහාරවල ද මිල ඉහළ ගොස්‌ ඇත.

මෙම තත්ත්වය යටතේ ගව ආහාර මිලදී ගෙන දෙනුන්ට ආහාර ලබාදීම ගොවීන් විසින් සීමා කර ඇත. කිරි ලබා දෙන එළදෙනකුට ලැබිය යුතු ගව ආහාර ප්‍රමාණය සීමා වීම නිසා ලබාගත හැකි 'කිරි ලීටර්' ප්‍රමාණය ද අඩු වී ඇත. තෘණ පමණක්‌ ආහාරයට ගන්නා කිරි එළදෙනක්‌ දිනකට කිරි ලීටර් 3 - 5 අතර ප්‍රමාණයක්‌ උදේ වරුවේ දී ලබා දෙති. එම කිරි එළදෙනකුට ආහාරයට ගව ආහාර කිලෝ එකක්‌ දෙකක්‌ ලබාදීම තුළින් කිරි ලීටර් 8 - 10 ක්‌ දක්‌වා ප්‍රමාණයෙන් වැඩි 'කිරි' ප්‍රමාණයක්‌ ලබා ගැනීමට හැකියාව ඇත. තවද ගව ආහාර ලබා දීමෙන් කිරි එළදෙනෙගේ පෝෂණ ශක්‌තිය වර්ධනය වන අතර වැස්‌සි පැටවුන්ගේ වර්ධනයට ද ගව ආහාර බෙහෙවින් ම බලපෑම් කර ඇත.

මේ රටේ දැනට සිටින කිරි එළදෙනුන් ප්‍රමාණයට පිටරටින් රැගෙන එන කිරි එළදෙනුන්ගේ ප්‍රමාණය එකතුවීමත් සමඟම අවශ්‍ය වන 'ගව ආහාර' ටොන් ප්‍රමාණයට මුහුණදීමට හැකියාව ඇති, එමෙන්ම ගොවියාට සාධාරණ මුදලකට ලබාදිය හැකි ගව ආහාරයක්‌ නිපදවා ගැනීමේ අවශ්‍යතාව පැන නැගී ඇත. ගව ආහාර සකස්‌ කිරීමේදී අවශ්‍ය වන බඩඉරිඟු, හාල් නිව්ඩු, පොල් පුන්නක්‌ක මිශ්‍රණ රටතුළින් ම එකතු කර ගැනීමට හැකියාව තිබේ. දේශීය නිෂ්පාදන පෙළින් අඩු මිලට ගව ආහාර මල්ලක්‌ මිලදී ගැනීමට කිරි ගොවියා බලාපොරොත්තුවෙන් සිටී.

දේශීය කිරි නිෂ්පාදනය වැඩිකර ගැනීමේදී අඩු මිලකට පෝෂ්‍යදායක ගව ආහාර මල්ලක අවශ්‍යතාව පැන නැගී ඇති මෙවන් අවස්‌ථාවක යෝජිත ගව ආහාර කර්මාන්ත ශාලාව ආරම්භ කිරීමේදී දෙවරක්‌, තෙවරක්‌ සිතා බලා තීරණ ගැනීමේ වගකීම පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයට පැවරෙනු ඇත.

දේශීය 'වී' ගොවියාට සහන මිලට බිත්තර වී ලබාදීම, රජය මගින් සහන මිලට පොහොර ලබාදීම තුළින් මේ රටේ වගා කළ හැකි කුඹුරු සියල්ල වගා කිරීම නිසා දේශීය 'වී' නිෂ්පාදනයේ විශාල ප්‍රගතියක්‌ පෙන්නුම් කර ඇත. එමෙන්ම ශ්‍රී ලංකාව සහලින් ස්‌වයංපෝෂිත කිරීමේ ඉලක්‌කය දක්‌වා වී ගොවිතැනේ ප්‍රගතියක්‌ ලබා තිබේ. ඒ අනුව දේශීය කිරි ගොවියාට ද අවශ්‍ය යටිතල පහසුකම් සලසා දී රටට අවශ්‍ය කිරි ප්‍රමාණය නිෂ්පාදනය කර ගැනීමට හැකිවන වැඩපිළිවෙළක අවශ්‍යතාව පැන නැගී ඇත.

කිරි නිෂ්පාදනය වැඩි කිරීමට රජය පියවර ගැනීමත් සමගම කිරි ගොවියා විසින් නිෂ්පාදනය කර රටට ලබාදෙන 'කිරි ප්‍රමාණය' අපතේ නොයන පරිදි එකතු කර ශීත කිරීමේ වැඩපිළිවෙළක්‌ ද ක්‍රියාත්මක විය යුතුව තිබේ. ශ්‍රී ලංකාවේ ග්‍රාම සේවක කොට්‌ඨාස මට්‌ටමින් කිරි ගොවීන්ගේ සමුපකාර සමිති සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් පිහිටුවීම කළ යුතුව ඇත.

ඉන්දියාවේ අමුල් කිරි සමුපකාර සංගමය ආදර්ශයට ගෙන සමුපකාර කිරි සමිති, කිරි සමුපකාර දිස්‌ත්‍රික්‌ සංගම් බිහි කොට ඒ මගින් කිරි එකතු කිරීම, කිරි ශීතකිරීම, දිස්‌ත්‍රික්‌ මට්‌ටමින් කුඩා නිෂ්පාදනාගාර ආරම්භ කොට ඒ ඒ ප්‍රදේශවලට අවශ්‍ය කිරි බෙදාහැරීම සංවිධානය විය යුතුව ඇත. ජනතාවට අවශ්‍ය නැවුම් එළකිරි සමඟ කිරි නිෂ්පාදන අලෙවි කිරීමේ වෙළෙඳසල් සෑම ගමක්‌ නගරයක්‌ පාසාම පිහිටුවිය යුතුව ඇත.

කිරි නිෂ්පාදනය, කිරි ප්‍රවාහනය, කිරි අලෙවිය යන ප්‍රධාන කරුණු සැලකිල්ලට ගෙන මෙම වැඩපිළිවෙළ රට පුරාම ක්‍රියාත්මක කිරීමෙන් ජනතාවට දේශීය 'කිරි' සැපයීම සාර්ථකව ඉටු කිරීමට හැකියාව උදා වෙනවා ඇත.

මෙම වැඩපිළිවෙළ සාර්ථක කිරීමට කැපවීම තුළින් විදේශීය රටවලට කිරි පිටි සඳහා වාර්ෂිකව ගලා යන බිලියන 400 ක පමණ අති විශාල මුදලක්‌ රට තුළ ඉතිරිකර ගැනීමට රජයට හැකියාව උදා වනු ඇත.

යෝජිත ගව ආහාර කර්මාන්ත ශාලාව පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය යටතේ අමාත්‍යාංශයට වගකිවයුතු පාලක මණ්‌ඩලයක්‌ යටතේ පවත්වා ගෙන යැමට කටයුතු සැලසීම තුළින් කිරි නිෂ්පාදන ව්‍යාපාරයේ සිටින සියලුම කර්මාන්ත ශාලාවලට, පුද්ගලික අංශයට, සමුපකාර ව්‍යාපාරයට, මිල්කෝ කිරි සමාගමට හා ගව ආහාර අවශ්‍ය ගොවිපළවල් හිමියන්ට මිලදී ගැනීමට හැකියාව උදා වනු ඇතැයි විශ්වාස කරමි.

යෝජිත ගව ආහාර කර්මාන්ත ශාලාව කිරි නිෂ්පාදන කටයුතු කරන එක සමාගමට පැවරීමට ගෙන ඇති තීරණයට සමස්‌ත කිරි ගොවීන්ගේ දැඩි විරෝධය පළ වී ඇත. දේශීය කිරි ගොවියාගේ යහපත උදෙසා මිස කිරි සමාගම් පෝෂණය කරන එකක්‌ නොවිය යුතු යෑයි සමස්‌ත කිරි ගොවීන්ගේ අදහස වී ඇත.

ගව ආහාර සකස්‌ කිරීමේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා ඒකකයේ මහාචාර්යවරුන්ගේ හා පශු වෛද්‍ය පීඨයේ මහාචාර්යවරුන්ගේ උපදෙස්‌ හා මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්මක විය යුතුව ඇත. කිරි හා ගව ආහාර විෂය පිළිබඳ දැනුම ඇති අයගේ සහයෝගය නොමැතිව යෝජිත ගව ආහාර කර්මාන්ත ශාලාව ක්‍රියාත්මක වුවහොත් එය කිරි ගොවියාට පලක්‌ නොමැති සුදු අලියෙක්‌ බවට පත්වීමට ඉඩ ඇති හෙයින්, මේ සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ අවධානය යොමු විය යුතුව තිබේ.

 කේ. වී. සී. ධර්මවර්ධන

 

 
Powered By -


    සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.