අමරපුර නිකායේ මහ නායක පදවියෙන්
පිදුම් ලැබූ අතිගරු තිරිකුණාමලේ ආනන්ද මාහිමි


-මාදුළුවාවේ සෝභිත හිමි කෝට්‌ටේ ශ්‍රී නාග විහාරය

අමරපුර මහ නිකායේ නව මහානායක පදවියට ඊයේ අක්‌ත පත්‍රයෙන් පිදුම් ලැබූ අතිගරු තිරිකුණාමලේ ආනන්ද නාහිමිපාණන් වහන්සේ වෙනුවෙන් මෙම බැති උපහාරය පිදේ.

අතිපූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මහ නාහිමිපාණන් ගැන ලිපියක්‌ ලියන්නට පෑන අතට ගත් මට මා කුඩා කල ඇසූ ගීතයක්‌ මතක්‌ විය. මට මතක හැටියට මේ ගීතය ගායනා කළේ පී. එල්. ඒ. සෝමපාල මහතාය. මට ඒ ගීතය මුළුමණින් මතක නැත. පද කිහිපයක්‌ පමණක්‌ මතක ඇත.

"නා සමිඳුන් ගරු නා සමිඳුන් මාහැඟි දම් රජිඳේ අතිගරු නාහිමි සමිඳු පැළෑණේ වජිරඥන සිරි නා සමිඳේ බම්බලපිටියේ වජිරාරාමෙන් දහම් සුවඳ ලොව පැතිර ගියේ නැවතත් දැල්වෙයි එවැනිම පහනක්‌ වජිරාරාමෙන් නුදුරු දිනේ"

මේ ගීතයේ නැවතත් දැල්වෙයි එවැනිම පහනක්‌ වජිරාරාමෙන් නුදුරු දිනේ යනුවෙන් සඳහන් කළේ එවකට තරුණ වියේ වැඩ සිsටි මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමියන් ගැනය.

බම්බලපිටිය වජිරාරාමය අප කුඩා කල ලක්‌දිව පුරා පතළ කීර්තිය ලද විහාරස්‌ථානයකි. ලක්‌දිව පමණක්‌ නොව ලොව පුරා පතළ කීර්තියක්‌ ඇති විහාරස්‌ථානයක්‌ විය. වජිරාරාමය ආරම්භ වූයේ 1901 දීය. එහි තිබුණේ එකම කාමරයක්‌ පමණි. එහි වැඩසිටියේ පැළෑණේ සිරි වජිරඥන මහ නාහිමියන්ය. 1909 වන විට එහි කාමර දෙකක්‌ විය. දශක පහක්‌ ගත වන විට වජිරාරාමය ලොව ප්‍රකට බෞද්ධ මධ්‍යස්‌ථානයක්‌ විය. වජිරඥන නාහිමියන් වර්තමාන සඟ සසුනේ පරිවර්තනයක්‌ ඇති කළ හිමි නමකි. නව යුගයට උචිත වන ලෙස නව ධර්ම දේශනා සම්ප්‍රදායක්‌ ඇති කළේ නාහිමියන්ය. ඒ පමණක්‌ නොව ලොවටම ධර්මය බෙදා දිය හැකි නව සඟ පරපුරක්‌ වජිරාරාමයෙන් බිහිවිය. නාරද හිමි, මඩිහේ පඤ්ඤාසීහ හිමි, පියදස්‌සී හිමි ඒ අතුරින් වඩාත් ඉදිරියෙන් සිටිති. නූතන යුගයට සරිලන භික්‍ෂු පරපුරක්‌ වජිරාරාමයෙන් සසුනට දායාද කිරීමට වජිරඥන හිමියන් කටයුතු කර ඇත. මේ සඳහා ධර්ම ඥනය හා භාෂා ඥනයෙන් පිරිපුන් භික්‍ෂු පරපුරක්‌ වජිරාරාමයෙන් සසුනට දායාද කර ඇත.

නාරද හිමියන්, පියදස්‌සී හිමියන්, ෙ€මින්ද හිමියන්, සිරිධම්ම හිමියන් වැනි හිමිවරු මැනවින් ඉංග්‍රීසි භාෂාවෙන් ධර්මය බෙදා දීමට සමත් වූහ. ථෙරවාද බුදුදහම ලොවට හඳුන්වා දීමට විශාල මෙහෙවරක්‌ වජිරාරාමයෙන් සිදුකර ඇත. වජිරාරාමයෙන් නව සම්ප්‍රදායක්‌ බිහි විය. ඉංග්‍රීසි උගත් ධනපති පන්තියට බුදු දහම ගෙන යැමට මෙම නව සම්ප්‍රදාය ඉවහල් විය. දිගු කලක්‌ ලක්‌දිව පැවති ධර්ම දේශනා ක්‍රමය රැයක්‌ මුළුල්ලේ ධර්ම දේශනා කිරීමයි. මේ ක්‍රමය වෙනස්‌ කළේ වජිරාරාම සම්ප්‍රදායයි.

ලංකාවේ ප්‍රථම ගුවන් විදුලි ධර්මදේශනය සිදු කළේ 1928 දී අතිගරු පැළෑණේ වජිරඥන නාහිමියන් වහන්සේය. උන්වහන්සේගේ අපවත්වීමෙන් පසු මඩිහේ නාහිමි වජිරාරාමාධිපති ධුරයට පත්වූවා පමණක්‌ නොව එම නිකායේ මහනායක පදවියට ද පත්විය. 1955 සැප්තැම්බර් 25 වැනි දින ආදාහන කටයුතු සිදු විය. පැළෑණේ නාහිමියන් ගැන දිනමිණ පත්‍රයේ මෙසේ සඳහන් කර තිබුණි.

"සම්පූර්ණ ත්‍රිපිටක ධර්මය අටුවාටීකා ටිප්පනි සහිතව සුලලිත බසින් ලියා තිබුණු ස්‌වර්ණමය ග්‍රන්ථ රත්නය දැවී ගියේය.

සුපේශල ශික්‍ෂාකාමීත්වයේ විශිෂ්ටාදර්ශය දැවී ගියේය.

සිංහල, පාලි, සංස්‌කෘත භාෂාවන් පිළිබඳ විශාරද පාණ්‌ඩිත්‍යයේ මුතු මැණික්‌ රැස්‌ කොට තැන්පත් කොට තිබුණු රන්මුවා කරඬුව දැවී ගියේය.

සුභාෂමය ගද්‍ය පද්‍ය රචනාවන් මෙබඳු විය යුතු යෑයි ආදර්ශ රචනාවක්‌ ලියෑවුණ රන් පන්හිඳ දැවී ගියේය.

බුදු බණ දෙසන්නට මහා බ්‍රහ්මයා විසින් මනු ලොවට එවන ලද මහා ධර්ම දේශකයන් දැවී ගියේය.

නූතන සසුන් මහ සෑයේ සිළුමිණ ගිලිහී වැටී ගියේය.

වෙන වචනවලින් කියතොත් ශ්‍රී ධර්ම රක්‍ෂිත වංශාලංකාර අතිගරු පැළෑණේ වජිරඥන මහ නාහිමියන් වහන්සේගේ ශ්‍රී දේහය ඊයේ නිදහස්‌ චතුරස්‍රයේදී ආදාහනය කරනු ලැබීය."

පැළෑණේ මහ නාහිමිපාණන් වහන්සේගේ අපවත් වීමෙන් පසු මහනායක ධුරයට පත්වූයේ මඩිහේ මාහිමිපාණන් වහන්සේය. එවකට උන්වහන්සේ 42 වියේ පසුවූ තරුණ භික්‍ෂුවක විය. මහ නායක පදවියට අක්‌ත පත්‍ර ලැබූ දින ගිහි පැවිදි මහ සභාවේදී මඩිහේ මහ නාහිමිපාණන් කළ දේශනය,

අභිනව මහ නායක පදවියට පත් ආනන්ද මහ නාහිමියන් පිළිබඳ කළ දේශනයක්‌ යෑයි මට හැඟේ. ඒ වැලිවිට අසරණ සරණ සරණංකර මාහිමියන් සංඝරාජ පදවියට පත්වූ දින කළ ප්‍රකාශයයි. ඒ තමන් වහන්සේද උඬඟු නොව මහණ - උඬඟු නොව මහණ යන වැකිය තමා තරයේ සිතට ගන්නා බවයි. ආනන්ද හිමියෝද සිය ජීවිත කාලය පුරාම එකී පාඨය ආදර්ශයට ගෙන තිබේ.

මඩිහේ මහනාහිමියන් එම පදවියට පත්වූ ටික කලෙකින්ම මහරගම සිරි වජිරඥන ධර්මායතනය ආරම්භ කොට මහා ශාසනික සේවයකට අත ගැසූ මහනාහිමියන් ඒ හරහා කළ සේවය අති විශිෂ්ටය. ශාසන සේවක සමිතිය ආරම්භ කොට මහා ශාසනික සේවයකට මුලපිරූ මහ නාහිමියන් භික්‍ෂු අධ්‍යාපන ආයතනය හරහා සසුනට වැඩදායක භික්‍ෂු පරපුරක්‌ සමාජයට දායාද කරනු ලැබීය. ධර්මායතනය ආරම්භ කළ දහම් පාසල ලංකාවේ වැඩිම පිරිසක්‌ අධ්‍යාපනය ලබන දහම් පාසලයි. මෙහි ආරම්භ කළ තුරුණු සවිය තරුණ පරපුරට මගපෙන්වන ආයතනයක්‌ විය. ධර්ම දේශනා, චාරිකා ධර්ම දේශනා, ධර්ම පන්ති, ග්‍රාම සංවර්ධන සේවා ආදී විවිධ වැඩසටහන් ධර්මායතනය මුල් කොට ගෙන සිදු කළේ මහ නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදිය.

මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමිපාණන්ගේ සේවය ශාසනික සේවයට පමණක්‌ සීමා නොවී රටේ ජාතික ආගමික ප්‍රශ්නවලදී නාහිමියන් කළ කතා ලියූ ලිපි සිය දහස්‌ ගණනකි. රට වෙනුවෙන් මේ තරම් කතා කළ තවත් මහනායක හිමිනමක්‌ ගැන අපට සිතිය නොහැකිය. අමද්‍යප මහා සභාවේ සභාපති ධුරය දරමින් ශ්‍රී ලංකාව මතින් තොර දේශයක්‌ කරන්නට බලයට පත්වන සෑම පාලකයකු සමගම සාකච්ඡා කරනු ලැබීය.

මා මෙතෙක්‌ උත්සාහ කළේ වජිරාරාමයේ ගමන් මග ගැන කෙටි සටහනක්‌ තබා තිරිකුණාමලේ ආනන්ද මහනාහිමියන් වහන්සේ වෙතට ළං වීමටය. මඩිහේ මහනාහිමියන්ගේ අපවත්වීමෙන් පසුව වැලිගම ඤාණරතන මහනාහිමිපාණන් වහන්සේ මහනායක පදවියට පත්aව වැඩසිටියේ ටික කලෙකි. උන්වහන්සේ අපවත්වීමෙන් පසුව ධර්මරක්‌ෂිත මහා නිකායේ මහනායක පදවියට පත්වූයේ ආනන්ද හිමියන්ය. උන්වහන්සේද මහා නායක පදවියට පත්වූයේ මඩිහේ හිමියන් මෙන්ම තරුණ වියේදීය. වජිරාරාමයේ වැඩසිටි මහ තෙර පාණන්වහන්සේලා වයෝවෘද්ධ ව අපවත්වීමෙන් පසුව වජිරාරාමයට අඳුරු යුගයක්‌ උදාවිය. මෙම අඳුර නිමා කරමින් වජිරාරාමාධිපති ධුරයට ආනන්ද හිමියන් පත්වීම නව යුගයක ආරම්භයක්‌ විය.

ආනන්ද නාහිමියන් වජිරාරාමාධිපති ධුරයට පත්වූ මොහොතේ මට මා මේ ලිපියට මාතෘකා කළ ගීතය සිහි විය. එය සැබෑවක්‌ බව දැන් මැනවින් ප්‍රත්‍යක්‍ෂ වේ. වජිරාරාමය අලුත් ගමනක්‌ ආරම්භ කර ඇත. තිබූ අඳුර දුරු වී ඇත. ආනන්ද හිමියන් අනුනායක පදවියට පත්ව ඇත. වැඩි දිනක්‌ ගතවෙන්නට පෙර මහනායක ධුරයට ද පත්ව ඇත. පැළෑණේ වජිරඥන මහනාහිමි, මඩිහේ පඤ්ඤාසීහ මහනාහිමි වැනි විශිෂ්ට ගුරු පරපුරක්‌ රැකගෙන ආ වජිරාරාම සම්ප්‍රදායක්‌ ඇත. ආනන්ද හිමියන් වහන්සේට වැඩ කිරීමට කාලය ඇත. තරුණකම ඇත. උගත්කම නොඅඩුව ඇත. ගුරු හිමිපාණන් වහන්සේලා නැවැත්වූ තැනින් පෙරටත් වඩා ශක්‌තිමත් ගමන ආරම්භ කිරීමයි. ඒ ගමනට අවශ්‍ය සියලු සුදුසුකම් ආනන්ද හිමියන් සතුව ඇත.

දිනක්‌ බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන්ට ආශ්චර්ය හතරක්‌ ඇති බව ආනන්දචරිය සූත්‍රයේ සඳහන් කර ඇත.

"ස ෙච් භික්‌ඛවේ භික්‌ඛු පරිසා ආනන්දං දස්‌සනාය උපසංකමති. දස්‌සනේන සා අනතමනා හෝති"

"මහණෙනි, භික්‍ෂු පර්ශද් ආනන්දයන් දකින්නට එළඹේද, දැක්‌මෙහිම ඒ පිරිස පැහැදෙති. ඉදින් ඒ පිරිසට ආනන්දයන් ධර්ම දේශනා කරද්ද? ඒ පිරිස භාෂිතයෙන්ද සතුටු වෙති. මහණෙනි භික්‍ෂු පර්ශද් අතෘප්ත වෙති, භික්‌ෂුණී පිරිසක්‌ ආනන්දයන් බැහැදැකීමට පැමිණේද? උපාසක පිරිසක්‌ ආනන්දයන් බැහැදැකීමට පැමිණේද, උපාසිකාවන් පිරිසක්‌ ආනන්දයන් බැහැදැකීමට පැමිණේද, මෙසේ මැයි." ඒ වූ කලී බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්‌ථායක ආනන්ද හිමියන් ගැන වදාළ ආශ්චර්ය ධර්ම හතරයි. මෙය තිරිකුණාමලේ ආනන්ද හිමියන් තුළද රැඳි ගුණ බව දකිමි. මහනාහිමියනි ඔබ වහන්සේට දිගාසිරි.

********

ආනන්දයෙන් ප්‍රඥවට.. ප්‍රඥවෙන් ආනන්දයට

අදින් වසර පනස්‌ හයකට පමණ පෙර දිනයකදී, තිරිකුණාමලේ විසූ ලංකා ගීගනගේ දියෙස්‌ මැතිතුමාට සහ නානායක්‌කාර හේවා වෙල්ලාලගේ ඇලන්සිනා යුවළට දාව පුත් රුවනක්‌ උපන්නේය. පින්වත් පෙනුමෙන් යුත් රූමත් පුංචි කුමරු තම පවුලේ දරුවකු ලෙසින් මෙලොව එළිය දැකීම තම පවුලට මහත් ආනන්දයක්‌ යෑයි සිතූ එම දෙමාපියෝ තම පින්වත් දරුවාට ද "ආනන්ද" යනුවෙන්ම නම් තැබූහ.

පින්වත් ආනන්ද කුල කුමරු තම දෙමාපියන් සෙවනේ හැදී වැඩුණේ වසර එකොළහක්‌ වැනි කෙටි කාලයකි. මේ සමයේ දියෙස්‌ පවුලේ ළඟම නෑදෑයකු වන අම්පිටියේ ශ්‍රී රාහුල නාහිමියෝ ආනන්ද නම් මෙම කුඩා දරුවා මහරගම ධර්මායතනය වෙත කැඳවාගෙන එනු ලැබූහ. එහිදී තමන්ට උත්පත්තියත් සමඟම හිමි වූ ආනන්ද යන නමින්ම කුඩා දරුවා සසුන්ගත කෙරුණේ 1969 වසරේ ඔක්‌තෝබර් 20 වැනි දිනයේදීය. එතැන් පටන් "තිරිකුණාමලේ ආනන්ද" යන නමින් හැඳින්වූ කුඩා සාමනේරයන් වහන්සේ, 1978 නොවැම්බර් මස 25 වැනි දිනට යෙදුණු පැලෑනේ සිරි වජිරඥණ නාහිමිපාණන් වහන්සේගේ සියවැනි ජන්ම ශත සංවත්සර දිනයේදී අධිශීල උපසම්පදාව ලැබූහ. ඒ බම්බලපිටියේ වජිරාරාම විහාරස්‌ථානයේදීය.

ප්‍රාචීණ භාෂෝපකාර සමිතිය මගින් පවත්වන ලද සිංහල, පාලි, සංස්‌කෘත, බුද්ධ ධර්මය, පුරා විද්‍යාව වැනි විභාගවලින් ඉහළින්ම සමත් වූ තරුණ ආනන්ද හිමියෝ "රාජකීය පණ්‌ඩිත" උපාධිය ලබාගත්තේ 1979 වසරේදීය.

ඉන්පසුව දශක දෙකක පමණ කාලයක්‌ පුරා තමන් ලබාගත් අධ්‍යාපනික දැනුම තමන්ට වඩා වයසින් බාල, තරුණ භික්‍ෂූන් වහන්සේලා වෙත නොමසුරුව ලබාදුන් අප කථානායක හිමිපාණෝ විෙද්‍යාaදය පිරිවෙනින් ත්‍රිපිටකාචාර්ය උපාධිය ද බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් තවත් එබඳුම උපාධියක්‌ ද ලබාගැනීමට ප්‍රඥවන්ත වූහ.

මේ වන විට තිරිකුණාමලේ ආනන්ද ස්‌වාමීන්වහන්සේගේ ප්‍රඥ කීර්ති සම්භාරය මුළු රට පුරාම ප්‍රචලිත වූ අතර බුද්ධ ශාසන අමාත්‍යාංශය විසින් පත්කරන ලද සියලුම කමිටුවල ප්‍රධාන පෙළේ සාමාජිකයෙක්‌ ලෙස උන්වහන්සේ පත්කිරීමට අමතක කළේ නැත. ඒ අතර 2600 වැනි සම්බුද්ධත්ව ජයන්ති වැඩසටහන්වලදී තිරය පිටුපස සිටි යෝධ හස්‌තය වූයේ ද අප බහුශ්‍රැත හිමිපාණෝය.

අපවත් වී වදාළ මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමිපාණන්ගේ ප්‍රධාන පෙළේ ශිෂ්‍ය රත්නයක්‌ වූ උන්වහන්සේ, සෑම විටම තම ගුරුදේවයාණන්ගේ අඩිපාරේම ගමන් කිරීමට අමතක නොකළහ. එසේම කුමාරතුංග මුණිදාස සූරීන්ගේ හෙළ බස්‌ මාර්ගයේ ගමන් කළ උන්වහන්සේ 'ප්‍රඥ ප්‍රභා' නම් සඟරාවේ සහකාර කර්තෘවරයෙක්‌ වූ අතර වජිරාරාමයේ දහම් පාසල මගින් ප්‍රකාශයට පත්කරනු ලබන "බෞද්ධ ළමයා" සඟරාවේ ප්‍රධාන සංස්‌කාරක ලෙස ද වසර 10 ක්‌ පමණ කැපවීමකින් කටයුතු කළහ.

ආගමික කටයුතු සම්බන්ධව මෙන්ම පරිපාලන සංවිධාන කටයුතුවලදී ද තම සහජ කුසලතා හෙළිදැක්‌වූ ආනන්ද හිමියෝ තම නිකායේ අනුනායක පදවිය ද වසර 9 ක්‌ පුරාම හෙබවූහ.

මේසා විශාල දැනුම් සම්භාරයක්‌ සහ අත්දැකීම් සම්භාරයක්‌ ලබා සිටින අප නාහිමිපාණන් වහන්සේ අමරපුර ධර්මරක්‌ෂිත නිකායේ මහානායක පදවියට පත් කිරීමේදී කිසිම ඡන්ද විමසීමක්‌ සිදු නොවීය. ඒකච්ඡන්දයෙන් එම පදවිය උන්වහන්සේ වෙත පිරිනැමූයේ සියලුම ජ්‍යෙෂ්ඨ භික්‍ෂූන් වහන්සේලාගේ බලවත් කැමැත්ත අනුවමය.

අමරපුර ධර්මරක්‍ෂිත මහ නිකායේ අභිනව මහා නායක ලෙස තිරිකුණාමලේ ආනන්ද නාහිමිපාණන් වහන්සේ වෙත එම පදවිය පිළිබඳ අක්‌ත පත්‍රය හා විජිනි පත්‍රය සහ වෙනත් නම්බුනාම ඊයේ සවස අති උත්සවාකාරයෙන් මහරගම ධර්මායතනයේදී පිරිනමන ලදහ. එය ඉතා චාම් වුවද ගරු ගාම්භීර උත්සවයක්‌ ලෙස බොදු සිත් සතන් තුළ සදා සනිටුහන් වනු ඇත.

'ආනන්දයෙන් ප්‍රඥවට....' යන වැකිය එහිදී ද අප මතකයට නැගුණේ නිරායාසයෙනි.

ආනන්දයෙන් ප්‍රඥවට....ප්‍රඥවෙන් ආනන්දයට

චිරං ජයතු මහනාහිමි.

- මෙරිල් පෙරේරා

 

 
Powered By -


    සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.