"මේ වගේ දුක්‌ නොදී අප මරා දමන්න"

කතාව සහ පින්තූර අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු

"අපි මරන්න අවශ්‍ය නම් බාගෙට මරන්න එපා. මේ වගේ දුක්‌ නොදී අපිට විෂ එන්නතක්‌ දී හෝ එකවර මරා දාපල්ලා" යනුවෙන් මර හඬ දෙමින් හෙද වැඩවර්ජනය නිසා ප්‍රතිකාර නොලැබීමෙන් දැඩි සේ අසරණ වූ වකුගඩු රෝගීහු පිරිසක්‌ ඊයේ (4 දා) අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ වකුගඩු ප්‍රතිකාර සහ පර්යේෂණ ඒකකය ඉදිරිපිට අනුරාධපුර නගරයේ හරිශ්චන්ද්‍ර මාවත අවහිර කොට මහා මාර්ගයේ බිම වාඩි වී විරෝධතාවක නිරත වූහ.

වකුගඩු රෝගය නිසා මහත් සේ පීඩාවට පත්ව සිටින තමන්ට කඩිනම් ප්‍රතිකාර ලබාදෙන ලෙසට රජයට සහ සෞඛ්‍ය කාර්ය මණ්‌ඩලවලට බලකර සිටිමින් ඔවුහු මෙලෙස විරෝධතාවල නිරත වූහ.

ඊයේ පෙරවරු 7.30 ට පමණ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතා ආරම්භ කළ ඔවුන් දැඩි හිරු රශ්මිය මධ්‍යයේ අනේක විධ පීඩා විඳිමින් මහමග රැඳී සිටිනු දක්‌නට ලැබිණි.

අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ මැදවච්චිය, වැලිඔය, පදවිය, කැබිතිගොල්ලෑව, කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ ගල්ගමුව හා ගිරිබාව ආදී ප්‍රදේශවල සිට රුධිරය කාන්දුකරණය කරගැනීම සඳහා පැමිණි රෝගීන් පිරිසක්‌ මෙසේ එම උද්ඝෝෂණයට එක්‌වූ අතර ඔවුන් අත සිය ඉල්ලීම් ඇතුළත් සටන් පාඨ සහිත පුවරුද විය.

එම රෝගීන් මාර්ගය අවහිර කොට බිම වාඩි වී විරෝධතාවේ නිරත වීම නිසා වාහන ගමනාගමනයට බාධා ඇති වූ අතර අනුරාධපුර පොලිස්‌ ස්‌ථානයේ රථ වාහන අංශයේ නිලධාරීන් මැදිහත් වී විකල්ප මාර්ග ඔස්‌සේ වාහන ධාවනය කරවීමට පියවර ගනු ලැබිණි.

මේ අතර අනුරාධපුර පොලිසියේ රථ වාහන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක චමින්ද ගුණසේකර මහතා ඇතුළු නිලධාරීන් කණ්‌ඩායමක්‌ එහි පැමිණ මාර්ගයේ එක්‌ මං තීරුවක්‌ නිදහස්‌ කර දෙන ලෙසට විරෝධතාකරුවන්ගෙන් ඉල්ලීම් කර සිටියත් ඔවුහු එම ඉල්ලීම් ප්‍රතික්‌ෂේප කළහ.

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ හෙද කාර්ය මණ්‌ඩල හදිසි ප්‍රතිකාර සේවාවන්හි සහ අසාධ්‍ය රෝගීන්ගේ ප්‍රතිකාර සේවාවන් අඛණ්‌ඩව සිදුකරන බවට මාධ්‍ය හමුවේ පුරසාරම් දෙඩුවත් ඔවුන් එම රෝහලේ වකුගඩු ප්‍රතිකාර ඒකකයේ රුධිර කාන්දුකරණය කරගෙන ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන්ගේ රුධිරය කාන්දුකරණය කිරීමේ ක්‍රියාවලියෙන්ද ඉවත්ව සිටීම හේතුවෙන් වකුගඩු රෝගීන් රැසකට රුධිරය කාන්දුකරණය කරන තුරු ජීවිතයත් මරණයත් අතර සටනක නිරතවීමට සිදු වී ඇති බව එප්පාවල, කොළපත්වැටිය ප්‍රදේශයේ පදිංචි හැට හැවිරිදි වකුගඩු රෝගියෙකු වූ එච්. ඒ. රණසිංහ බණ්‌ඩා මහතා "දිවයින"ට පැවැසීය.

සෞඛ්‍ය කාර්ය මණ්‌ඩල තම ඉල්ලීම් සහ අයිතිවාසිකම් දිනා ගැනීමට කරන සටන් හේතුවෙන් ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුව ඇත්තේ තමන් වැනි අසරණ රෝගීන්ට බවත්, එනිසා තම ජීවිත පිළිබඳව අවධානය යොමුකොට තමන්ට ප්‍රතිකාර ලබාදීමට සෞඛ්‍ය බලධාරීන් සහ සෞඛ්‍ය කාර්ය මණ්‌ඩල වහාම පියවර ගන්නා ලෙසත් ඉල්ලා සිටින බවත් රණසිංහ මහතා පැවැසීය.

වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඒ මහතා මෙසේද කීය.

නිරෝගීව සිටි කාලයේ අපි මේ රටට සමාජයට වැඩදායි සේවයක්‌ කරපු අය. ඇයි අපිව මේ විදිහට අපහසුතාවට පත්කර අසරණ කරන්නේ. අපිව මරන්න ඕන නම් මේ විදිහට බාගෙට මරන්න එපා. අපි විඳින දුක දන්නෙ අපි විතරයි. මේ වගේ දුක්‌ නොදී විෂ අඩංගු එන්නතක්‌ හරි දීල අපිව මරන්න කියල වැඩ වර්ජනයේ යෙදෙන කාර්ය මණ්‌ඩලවලින් සහ සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර ඊයේ (4 දා) පෙරවරුවේ රෝගීන්ගේ විරෝධතාව නිසා උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව අනුරාධපුර සහකාර පොලිස්‌ අධිකාරි (1) එච්. සමුද්‍රජීව මහතා වැඩවර්ජනයේ නිරත රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමයේ අනුරාධපුර දිස්‌ත්‍රික්‌ ශාඛාවේ සභාපති සුමිත් බණ්‌ඩාර මහතා ඇතුළු ක්‍රියාකාරීහු කීප දෙනෙක්‌ සමග සාකච්ඡාවක්‌ පැවැත්වූහ. වැඩවර්ජනයේ නිරත හෙද කාර්ය මණ්‌ඩලයේ කීප දෙනකු එල්ල විය හැකි ජීවිත අවදානම හා තර්ජන නොතකා නිල ඇඳුමෙන් තොරව වකුගඩු ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර කටයුතුවල යෙදවීමට පියවර ගන්නා බවට හෙද වෘත්තීය සමිති නියෝජිතයන් ලබාදුන් පොරොන්දුවකින් පසු වකුගඩු රෝගීන් ඊයේ පෙරවරු 11.15 ට පමණ සිය විරෝධය අවසන් කළහ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.