හෙද හෙදි වර්ජන මදිවාට ඉබ්බෝ දමා යතුරු හංගලා

දොස්‌තරවරු ඉබි යතුරු කඩා ලෙඩුන්ට ප්‍රතිකාර කරති

අජිත් අලහකෝන්

වර්ජනයට එක්‌ව සිටින හෙද හෙදියන් විසින් දිවයින පුරා ඇති රෝහල් බොහෝමයක වෛද්‍ය උපකරණ හා ඖෂධ ගබඩා කර ඇති කාමරවල සහ රෝගීන්ට ඔක්‌සිජන් සපයන කාමරවල යතුරු සැඟවීම නිසා රෝගීහු දැඩි අපහසුතාවකට ලක්‌ව සිටිති.

හෙද හෙදියන් විසින් මෙසේ යතුරු සැඟවීම නිසා වෛද්‍යවරුන් විසින් එම කාමරවල ඉබි යතුරු කඩා අදාළ උපකරණ සහ ඖෂධ රෝගීන්ට ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරියෙක්‌ "දිවයින"ට කීවේය.

දිවයින පුරා මධ්‍යම රජය සහ පළාත් සභා යටතේ පාලනය වන රෝහල් 1150 ක්‌ තිබෙන අතර මේ සෑම රෝහලකම හෙද හෙදියෝ වින්නඹු මාතාවන්ට ලබාදෙන සූතිකාගාර පුහුණුව තමන්ටද ලබාදෙන්නැයි ඉල්ලා වැඩ වර්ජනයක නියෑලී සිටිති.

මෙම රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන්ට අවශ්‍ය වෛද්‍ය උපකරණ සහ ඖෂධ කාමරවල යතුරු සඟවා ඇති හෙදියන් ඇතැම් වාට්‌ටුවල යතුරු තවත් වාට්‌ටුවල යතුරු හා මාරු කර රෝගීන්ට ඖෂධ සැපයීම වළක්‌වා ඇත.

එමෙන්ම වෛද්‍ය සායනවල යතුරුද සඟවා ඇති හෙද හෙදියන් ඇතැම් රෝහල්වල රෝගීන්ට ඔක්‌සිජන් සපයන ඒකක පවා ඉබි යතුරු දමා වසා ගොස්‌ ඇත.

කුරුණෑගල රෝහලේ වකුගඩු ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි සියලුම රෝගීන් වර්ජනය හේතුවෙන් අනුරාධපුර සහ මහනුවර රෝහල්වලට මාරුකර යවා ඇත. වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා හෙද හෙදියන්ට විශේෂ පුහුණුවක්‌ ලබාදී ඇති අතර වර්ජනය නිසා එම රෝගීන්ගේ රුධිර කාන්දුකරණය කිරීමද අඩාල වී ඇතැයි ඉහත නිලධාරියා ප්‍රකාශ කළේය.

කිසිදු වෘත්තිය සමිතියකට සහාය නොදෙන හෙදියන් කිහිප දෙනකු වර්ජකයන්ගේ තර්ජන පවා නොතකා සිවිල් ඇඳුමින් සැරසී මහනුවර සහ අනුරාධපුර යන රෝහල්වල සේවය කරන බැවින් ඉහත රෝගීන් මෙම රෝහල්වලට මාරුකර යවා ඇත.

මහනුවර රෝහලේ එක්‌තරා වාට්‌ටුවක හෙද නිලධාරිනියකගේ මව නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින අතර අදාළ හෙද නිලධාරිනිය තවත් හෙදියන් දෙදෙනකු සමඟ වාට්‌ටුවට පැමිණ සිය මවට පමණක්‌ ප්‍රතිකාර ලබාදී පිටව යන බවටද වාට්‌ටුවේ සිටින අනෙකුත් රෝගීන් අසරණව එදෙස බලා සිටින බවට අමාත්‍යාංශයට තොරතුරු වාර්තා වී ඇතැයිද ඉහත නිලධාරියා කීවේය.

හෙදියන් වර්ජනය කළද රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා රෝහල්වල කනිෂ්ඨ කාර්ය මණ්‌ඩලය දිවා රෑ නොබලා වෛද්‍යවරුන්ට උපරිම සහාය ලබාදෙමින් සිටින බවද හෙතෙම ප්‍රකාශ කළේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.