වර්ජනය නවතා සාකච්ඡා කරමු

වැඩවර්ජනය නිසා වඩාත්ම අසාධාරණයට හා පීඩනයට පත්වන්නේ අහිංසක රෝගීන් බැවින් වැඩවර්ජන නවතා තිබෙන ගැටලු සාකච්ඡා, කර විසඳගන්න යෑයි සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා සියලුම හෙද හෙදියන්ගෙන් ඉල්ලා සිටී. ඒ පිළිබඳව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඇමැතිවරයා මෙසේද ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති 106 ක්‌ තිබෙන අතර, එපමණ වෘත්තීය සමිති සංඛ්‍යාවක්‌ ක්‍රියාත්මක වන කිසිදු අමාත්‍යාංශයක්‌ අප රටේ නැත. මෙම වෘත්තීය සමිති අතරින් 15 ක්‌ පමණ ඉතාම ක්‍රියාකාරීව පවතී. සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු ඉහළ අමාත්‍යංශ නිලධාරින්ගේ කාලයෙන් වැඩි කොටසක්‌ ගත වන්නේ මෙම වෘත්තීය සමිති සමග සාකච්ඡා කිරීමටය. වර්තමානයේ හෙද හෙදියන්ට සූතිකා පුහුණුව ලබාදීම සම්බන්ධයෙන් ඇතිව තිබෙන අර්බුදය සෞඛ්‍ය අමාත්‍යාංශයේ වරදකින් නොව එය හුදෙක්‌ තාක්‌ෂණික ගැටලුවක්‌ බවද මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම වැඩවර්ජනය තුළින් වඩාත්ම අසාධාරණයට හා පීඩනයට ලක්‌වන්නේ අහිංසක රෝගී ජනතාව ය. එම නිසා අහිංසක රෝගී ජීවිත බිල්ලට නොගෙන, සේවයට වාර්තා කරන ලෙස සියලුම හෙද හෙදියන්ගෙන් මෙන්ම රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්‌ටුවේ ආනන්ද ස්‌වාමීන් වහන්සේගෙන් කාරුණිකව ඉල්ලීමක්‌ කරන බවද අමාත්‍යවරයා කීය.

වර්තමාන රජය යටතේ හෙද සේවාවට තරම් වෙනත් කිසිදු රජයේ සේවාවකට ප්‍රතිලාභ ලබාදුන් වෙනත් සේවාවක්‌ නැත. එම ප්‍රතිලාභ සම්බන්ධයෙන් අදහස්‌ පළ කල අමාත්‍යවරයා හෙද නිලධාරීන්ගේ නිළ ඇඳුම් දීමනාව රුපියල් 9.000 සිට රුපියල් 14.500 දක්‌වාත් හෙද ආචාර්යවරුන්ගේ නිළ ඇඳුම් දීමනාව රුපියල් 8.000 සිට රුපියල් 10.500 දක්‌වාත්, හෙද හෙදියන්ගේ අතිකාල දීමනාව ඔවුන්ගේ ඉල්ලීම පරිදි රේට්‌ ක්‍රමයකට පරිවර්තනය කර පැයකට රුපියල් 200 බැගින් වන පරිදි ලබාදුන් බවත් කීය. මීට අමතරව උපාධිය දක්‌වා අධ්‍යාපනය හැදැරීමේ අවස්‌ථාව, හෙද ව්‍යවස්‌ථාව ක්‍රියාත්මක කිරීම, අනතුරු දීමනාව ඉහළ නැංවීම සහ මෙතෙක්‌ ඔවුන්ට ලබාදී නොතිබූ වෛද්‍යවරුන්ට පමණක්‌ ලබාදුන් සන්නිවේදන දීමනාව රුපියල් 2000 දක්‌වා වැඩිකරනු ලැබීය. මේ සියල්ල රජය විසින් ඉටු කළේ හෙද සේවාව ශ්‍රී ලංකාවේ රෝහල්වල අත්‍යාවශ්‍ය සේවාවක්‌ වන බැවිනි.

එම නිසා රෝගී ජීවිත බිල්ලට නොදී මනුෂ්‍යත්වයේ නාමයෙන් සේවයට වාර්තා කරන ලෙස තමන් ඉතාමත් ගෞරවයෙන් හෙද නිලධාරීන්ගේ ඉල්ලා සිටින බව කී ඇමැතිවරයා ගැටලුවක්‌ තිබේ නම් ඒ සම්බන්ධයෙන් ඕනෑම අවස්‌ථාවක සාකච්ඡා කිරීමට තමන් සූදානම් බවත් පැවසීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.