හෙදියන්ට සූතිකා පුහුණුව නොදීමට
වෛද්‍යවරුන් තීරණය කර තිබෙනවා

- වෛද්‍ය සංගමයේ සභාපත


අජිත් අලහකෝන්

ආණ්‌ඩුව ප්‍රතිපත්තිමය වශයෙන් කුමන තීන්දු තීරණ ගත්තත් හෙදියන්ට සූතිකාගාර පුහුණුව ලබා නොදීමට රට පුරා සිටින ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් තුන්සිය හැත්තෑ පස්‌දෙනා ඒකමතිකව තීරණය කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ඊයේ (04 දා) ප්‍රකාශ කළේය.

වෛද්‍ය ආඥ පනතට අනුව මවක විසින් දරුවකු ප්‍රසූත කරද්දී ඒ සඳහා කටයුතු කිරීමට බලය ඇත්තේ වෛද්‍යවරුන්ට සහ වින්නඹු මාතාවන්ට පමණක්‌ බවද කී අනුරුද්ධ පාදෙණිය මහතා වසරකට දරු ප්‍රසූත හාරලක්‍ෂයක්‌ ශ්‍රී ලංකාවේ සිදුවන බවද ඉන් ප්‍රසූත ලක්‍ෂයකට මව්වරුන් විසිහත්දෙනකු මිය යන බවද කීය.

මෙම මිය යන සංඛ්‍යාව දාහතක්‌ හෝ දොළහක්‌ බවට පත්කර ගැනීමේ හැකියාව ඇතැයි ද ඒ සඳහා වින්නඹු මාතාවගේ කටයුතුවලට හෙදියන් යෙදවීමේ තාක්‍ෂණික වරද සිදු නොකළ යුතු බව ප්‍රසව හා නාරිවේද වෛද්‍ය විශේෂඥවරුන් සෞඛ්‍ය ඇමැතිවරයාට පසුගියදා පෙන්වා දුන් බවද වෛද්‍ය පාදෙණිය මහතා ඊයේ (4 දා) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකදී කීවේය.

දේශපාලනික හෝ අනෙකුත් කරුණු මත මෙම තාක්‍ෂණික හා සායනික තීරණවලට බලපෑම් නොකරන ලෙසට රජයෙන් ඉල්ලා සිටින බවද කී වෛද්‍ය පාදෙණිය මහතා හෙදියක, සෞඛ්‍ය සේවකයකු හෝ වින්නඹු මාතාවක හෝ නොවන අයෙක්‌ සාකච්ඡාවකට හෝ නොපැමිණ පන්සලක සිට රජයේ බලධාරීන්ට නියෝග පනවන තත්ත්වයක්‌ වර්තමානයේ උදාවී තිබෙන බවද කීය.

ආත්ම ගරුත්වය ඇතිව හෙදියන්ට සිය සේවාව කරගෙන යැමට ඉඩ දෙන්නැයි අදාළ වෘත්තීය සමිති නායක හිමිගෙන් ඉල්ලා සිටින බව කී වෛද්‍ය පාදෙණිය මහතා හෙද සේවයෙන් ඉවත්ව වින්නඹු සේවාවට යන බව හෙදියන් පවසනවා නම් ඔවුන්ට සූතිකා පුහුණුව ලබා දීමට වෛද්‍යවරුන් කැමැති බවද කීය.

රටේ නීතියට අනුව චක්‍රලේඛ නිකුත් කිරීම සෞඛ්‍ය ලේකම්වරයාගේ වගකීමක්‌ බවද කී වෛද්‍ය පාදෙණිය මහතා ලේකම්වරයා හෝ වෙන කුමන හෝ බලධාරියකු බලපෑම් කළත් වෛද්‍යවරුන් ඊට හිස නමන්නේ නැතැයි ද මාතෘ මරණ සංඛ්‍යාව අඩුකර ගැනීමේ පියවරකට මිස එම සංඛ්‍යාව වැඩි කර ගැනීමේ පියවරකට යැමට තමන් සූදානම් නැතැයි ද කීය.

කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය ප්‍රසාද් රණවීර, වෛද්‍ය සමන්ත ආනන්ද සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය නවීන් සොයිසා යන මහත්වරු ද මෙම මාධ්‍ය හමුවට සහභාගි වූහ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.