පවුල් සෞඛ්‍ය නිලධාරිනියෝ
මුරුත්තෙට්‌ටුවේ හිමියන්ට සංඝ ආඥවක්‌ ඉල්ලති


අජිත් අලහකෝන්

අහිංසක රෝගීන්ගේ ජීවිත අනතුරට ලක්‌කරමින් වැඩවර්ජනය කිරීම සඳහා දිවයින පුරා හෙද හෙදියන් පොළඹවන රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියන්ට එරෙහිව සංඝ ආඥවක්‌ නිකුත් කරන්නැයි පවුල් සෞඛ්‍ය සේවිකාවෝ ෙත්‍රෙනිකායික මහානායක හිමිවරුන් ඇතුළු සංඝරත්නයෙන් ඉල්ලා සිටිති.

බෞද්ධ දර්ශනය තුළ පෙන්වා දෙන ගිලානෝපස්‌ථානයට පටහැනිව යමින් දිවයිනේ සමස්‌ත රෝහල් පද්ධතිය තුළින් හෙදියන් ඉවත් කර ගැනීමට මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියන් ගත් පියවර බෞද්ධ රටක ජනතාව ලෙස තමන් තරයේ හෙළාදකින බව ද රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්‌කු මහත්මිය "දිවයින" ට කීවාය.

තාක්‍ෂණික වශයෙන් වෙන් වූ සේවාවන් දෙකක යෙදෙන වෘත්තිකයන් දෙපිරිසක්‌ අතර සූතිකාගාර පුහුණු ප්‍රශ්නයක්‌ පදනම් කරගෙන ගැටුමක්‌ ඇතිකරමින් ඊට කිසිසේත් අදාළ නොවන අහිංසක රෝගී ජනතාව ප්‍රාණ ඇපයට ගැනීමට මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියන් ක්‍රියාකිරීම කනගාටුවට කරුණක්‌ බව ද කොඩිතුවක්‌කු මහත්මිය කීවාය.

රෝගීන්ට ලබාදෙන ඖෂධ, හදිසි අවස්‌ථාවන් සඳහා පාවිච්චි කරන උපකරණ, දරු ප්‍රසූත කට්‌ටල, ශල්‍යාගාර උපකරණ කබඩ් තුළ දමා දොරගුළු ලා හෙදියන් විසින් එම යතුරු සඟවා සමස්‌ත ජනතාව පළිහක්‌ කර ගනිමින් සිදුකරන වර්ජනය මිනිස්‌කමට නොගැලපෙන අමානුෂික ක්‍රියාවක්‌ බව ෙත්‍රෙනිකායික මහානායක හිමිවරුන්ට දැනුම් දෙන බව ද දේවිකා කොඩිතුවක්‌කු මහත්මිය කීවාය.

බුදුන් වදාළ දහම පවා කනපිට පෙරළමින් ක්‍රියාකරන්නට උත්සාහ දරන රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියන්ගේ ක්‍රියාදාමය පිළිබඳ අවධානය යොමුකරන ලෙස තමන් ෙත්‍රෙනිකායික මහනාහිමිවරුන්ගෙන් ඉල්ලා සිටින බව ද දේවිකා කොඩිතුවක්‌කු මහත්මිය ප්‍රකාශ කළාය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.