ලක්‍ෂ 20ක්‌ කප්පම් ඉල්ලා පැහැරගත්
රියෑදුරාගේ සිරුරේ කොටස්‌ හමුවේ

දෙදෙනෙක්‌ අත්අඩංගුවට- ප්‍රධාන සැකකරු කැසිනෝ සූදු ක්‍රීඩාවේ


ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා, නන්දන ශ්‍රී කෝට්‌ටේගොඩ

මීට මාස එකහමාරකට උඩදී කළුබෝවිල මහ රෝහල අසලදී පැහැර ගැනුණුq කුලී රථ රියෑදුරකු මරා දමා සැඟවී සිටි කල්ලියක සාමාජිකයන් දෙදෙනකු මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මගින් පෙරේදා (03 වැනිදා) හොරණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කල්ලියේ ප්‍රධාන සැකකරු මේ වනවිට සැඟවී සිටින අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පුළුල් පරීක්‍ෂණයක්‌ ආරම්භ කර ඇත.

2014/03/26 දින කුලී ගමනක්‌ යන මුවාවෙන් මෙසේ පැහැරගෙන ගොස්‌ ඝාතනය කර තිබුණේ පිටකෝට්‌ටේ, දුටුගැමුණු මාවතේ පදිංචිව සිටි රත්නායක මුදියන්සේලාගේ නිහාල් රංජිත් රත්නායක නමැති 60 හැවිරිදි කුලී රථ රියෑදුරෙකි.

සිද්ධිය වී ඇති දින මෙම රියෑදුරා පිටකෝට්‌ටේ සිය නිවසේ සිට ඇති අතර, එහිදී මොහුට කුලී ගමනක්‌ යැමට කළුබෝවිල මහ රෝහල අසලට පැමිණෙන ලෙසට දුරකථන ඇමතුමක්‌ ලැබී ඇත.

ඉන්පසු සිය පියා නැවත නිවසට නොපැමිණීම ගැන සොයා බලමින් සිටි බිරිඳ ඇතුළු පවුලේ අයට දුරකථන ඇමැතුමක්‌ ලැබී ඇත. "සැමියා අපි පැහැර ගත්තා... යහතින් එවන්න ඕන නම් රුපියල් ලක්‍ෂ 20 ක්‌ ඕනෑ.... අපි කියන තැනකට සල්ලි අරන් ආවොත් සැමියා මුදාහරිනවා.." යනුවෙන් කම්පම්කරුවන් ඔහුගේ බිරිඳට පවසා තිබිණි.

අනතුරුව මේ ගැන නිහාල් මහතාගේ දියණිය වන නිලුක්‌ෂි වාසනා කුමාරි රත්නායක විසින් මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයට පැමිණිලි කරනු ලැබුවාය. පසුව නිහාල් මහතාගේ බිරිය ඇතුළු පවුලේ අය මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් සමඟ රුපියල් ලක්‍ෂ 20 ක කප්පම් මුදල් දීමට හොරණ, බණ්‌ඩාරගම හා පානදුර ප්‍රදේශයට ගියද එය ව්‍යර්ථ වී තිබිණි.

මේ අතරේ පැහැර ගැනුණු රියෑදුරු නිමල් මහතාගේ ජංගම දුරකථනය ඔස්‌සේ සැකකරුවන් ඔහුගේ බිරිඳට කතා කරන්නට පටන්ගෙන ඇත. මෙහිදී විමර්ශන සිදුකරමින් සිටි එම ඒකකයේ උප පොලිස්‌ පරීක්‍ෂක ජයන්ත පෙරේරා මහතාට ලැබුණු තොරතුරකට අනුව සැකකරුවන් හොරණ, මූණගම ප්‍රදේශයේදී කොටුකරගෙන ඇත.

අත්අඩංගුවට පත් සැකකරුවන් හොරණ පදිංචි අවුරුදු 35 හා 40 යන වයස්‌වල පසුවන්නන් බව පොලිසිය කියයි.

සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී මෙසේ පවසා ඇත.

"අපි ඇත්තටම මේ නිහාල් කියන කෙනාව පැහැරගත්තේ රුපියල් ලක්‍ෂ 20 ක මුදලක්‌ කප්පම් වශයෙන් ගන්න. කළුබෝවිල රෝහල ළඟදී පැහැරගත් මේ රියෑදුරුට අපේ නායකයා කුලියට ගත්තු කොස්‌ගම කනම්පැල්ලේ නිවසට අරන් ගියා. එහිදී අපි ඔහුට පහරදුන්නා. අපි හිතුවේ නැහැ මොහු මිය යයි කියලා. අනතුරුව අපි ඔහුගේ මළසිරුර ඔහුගේ වාහනයෙන්ම කලවාන කෙලින්කන්ද තේක්‌ක කැලයට ගිහින් දාලා රථය බෙන්තොට දාලා ආවා.

පසුව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් සැකකරුවන් දෙදෙනා මළ සිරුර රැගෙන ගොස්‌ දැමූ කලවාන කෙලින්කන්ද තේත්ක කැලයට ගොස්‌ පෙන්වීය. එහිදී නිහාල් මහතාගේ බවට සැකකරන මිනිස්‌ ඇට සැකිල්ලක්‌ හමුවී ඇත. එය සතුන් කා තිබිණැයි පොලිසිය කීය.

එම ඝාතනය සම්බන්ධයෙන් මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණයක්‌ද පැවැත්වීමට නියමිතව තිබිණි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මේ අයුරින් තවත් පුද්ගලයන් පැහැරගෙන ගොස්‌ කප්පම් ඉල්ලමින් එම පුද්ගලයන් මරා දමා ඇත්දැයි සැකකරන බව ද පොලිසිය කියයි.

මෙම කල්ලියේ සැඟවී සිටින ප්‍රධාන සැකකරු පුද්ගලික ලේකම්වරයකු වශයෙන් පෙනී සිටිමින් වරායේ රැකියා ලබාදෙන බව හා දරුවන් කොළඹ උසස්‌ පාසල්වලට ඇතුළත්කර දෙන බව පවසා විවිධ පුද්ගලයන්ගෙන් රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් ලබාගෙන වංචා කර ඇතැයි හෙළිවී ඇති බව ද පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වෙනත් අයගෙන් වංචාකර ලබාගත් රුපියල් ලක්‍ෂ ගණනක මුදල් කාන්තා ඇසුරට හා කැසිනෝ සූදු ක්‍රීඩාවට වැයකර ඇතැයි හෙළිවූ බවද පොලිසිය කීය.

සැකකරුවන් දෙදෙනා තවදුරටත් රඳවා තබාගෙන ප්‍රශ්න කරන බව ද පොලිසිය පවසයි. අත්අඩංගුවට පත් සැකකරුවන් ද්‍රවිඩ ජාතිකයන් වන අතර මොවුන් සොයන මුදල් පිටරට එල්. ටී. ටී. ඊ. යට යවන බවට තොරතුරු ලැබී ඇතැයි ද පොලිසිය කියයි.

මේ පිළිබඳව බස්‌නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්‌පති සුමිත් එදිරිසිංහ මහතාගේ අධීක්‍ෂණය යටතේ මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක නිමල් කරුණාරත්න මහතාගේ උපදෙස්‌ මත උප පොලිස්‌ පරීක්‍ෂකවරුන් වන ජයන්ත පෙරේරා, හේමන්ත කුමාර, ගම්ලත්, පොලිස්‌ සැරයන්වරුන් වන ලක්‍ෂ්මන්, කොඩිතුවක්‌කු, ප්‍රසන්න, පියල්, මෙන්aඩිස්‌, කරුණාතිස්‌ස, පොලිස්‌ කොස්‌තාපල්වරුන්වන විපුල, අමරකීර්ති, අනිල්, තිසර, ලලන්ත, ගිහාන් බණ්‌ඩාර යන නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.