"කිරි දෙවීමට බුරුල්ල තිබියදී
අඟ අල්ලාගෙන දැඟලීම"


එංගලන්ත ජාතික කාන්තාවක්‌ සිය අතෙහි බුදු රජාණන්වහන්සේගේ පිළිරුව පච්ච කොටාගෙන තිබීම හේතුවෙන් සංචාරයක්‌ සඳහා ලංකාවට පැමිණි පසු රටින් පිටුවහල් කළ පුවතක්‌ පසුගියදා ශ්‍රී ලංකා ජනමාධ්‍ය තුළ පමණක්‌ නොව යුරෝපීය රටවල මෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය ඔස්‌සේ ද එය පුළුල් ලෙස ප්‍රචාරය විය. මේ බුදුරුව පච්ච කොටාගෙන ශ්‍රී ලංකාවට ආ කෙනෙකු රටින් පිටුවහල් කළ පළමු වතාව නොවේ. මෑත භාගයේ මීට පෙර ද එසේ බුදුරුව සිය ශරීරයේ පච්චකොටාගෙන ලංකාවට පැමිණි අයෙකු රටින් පිටුවහල් කර තිබුණු බව මාධ්‍යවලින් අපි දුටුවෙමු. මේ පුවත් දුටු අපට සිහි වූයේ ක්‍රි.ව. 253-266 ලක්‌දිව රජකම් කළ ගෝඨාභය රජතුමා විසින් එවකට මහායාන බුදු දහම වැළඳගත් වෛතුල්‍යවාදී භික්‍ෂුන් හැට නමකගේ පිට කොන්දෙහි හංවඩු ගසා ඉන්දියාවට පිටමං කිරීමේ පුවතය.

බුදුදහම ලෝක ආගම් අතර සිවුවන ස්‌ථානයේ පමණ විරාජමාන වන නිර්මල දහමකි. ලෝක ජනගහනයෙන් බෞද්ධයන් වැඩිම පිරිසක්‌ ජීවත්වනුයේ ආසියාතික මහාද්වීපයේය. 1992 කරන ලද සංගණනයකට අනුව ආසියාවේ බෞද්ධ ජනගහනය මිලියන 400 කි. උතුරු ඇමෙරිකාවේ බෞද්ධ ජනගහනය මිලියන 1.3 කි. දකුණු ඇමෙරිකාවේ 80,000 ක්‌ වූ අතර ඔස්‌ටේ්‍රලියා මහද්වීපයේ 90,000 කි. එය අප්‍රිකාවේ 50,000 ක්‌ වූ අතර රුසියාවේ ද බෞද්ධයන් 50,000 කි. යුරෝපා මහද්වීපයේ බෞද්ධ ජනගහනය මිලියනයකි. යුරෝපයට බුදුදහම ලැබී තවම අවුරුදු තුන්සීයක්‌වත් නැත. ශ්‍රී ලංකාව නිර්මල ථෙරවාදී බෞද්ධ රටක්‌ ලෙස යුරෝපීය ජාතීන් අතරට එක්‌ වන්නේ ක්‍රි.ව. එක්‌දහස්‌ හත්සියයේ මැද භාගයේ පමණ සිටය. මෙහිදී අප රට තුළ පැවැති බුදුදහම 1505 පැමිණි පෘතුගීසි, 1640 ලන්දේසි හා 1796 ඉංග්‍රීසි විදේශීය ආක්‍රමණයන් නිසාත් ඔවුනගේ කිතු දහම බෞද්ධයන් විසින් ඔවුනට කඩේ ගොස්‌ වැළඳගැනීම නිසාත් ශ්‍රී ලංකාවේ එතෙක්‌ පැවැති ථෙරවාදී නිර්මල බුදුදහම අවුරුදු 443 ක්‌ තිස්‌සේ ශීඝ්‍රයෙන් විනාශ වන්නට විය.

එසේ වැළලී ගිය බුදුදහමට පුනර්ජීවනයක්‌ ලැබුණේ අසරණ සරණ පිණ්‌ඩපාතික වැලිවිට ශ්‍රී සරණංකර සංඟරාජයාණන් වහන්සේගේ අප්‍රතිහත උත්සාහය නිසාය. අද අපට ඉතිරිවී ඇති බුදු දහම පමණක්‌ නොව සාහිත්‍ය, භාෂාව, කලාව, සංස්‌කෘතිය, නාට්‍ය යන මේ හැම එකකටම පුනර්ජීවනයක්‌ ලැබුණේ උන්වහන්සේට පින්සිදු වන්නටය. කසාවකණ්‌ටවයා (අතේ හෝ ඇඟිල්ලේ කහ නූලක්‌ බැඳගෙන සිට පවුල් ජීවිත ගෙවමින් ආගමික කටයුතු සිදුකරමින් භික්‍ෂුවක්‌ ලෙස පෙනී සිටි තැනැත්තා) දක්‌වා පිරිහී තිබුණ සම්බුද්ධ ශාසනය කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ අනුග්‍රහය ලබාගෙන සියමයෙන් හෙවත් තායිලන්තයෙන් උපසම්පදාව ගෙන්වා ගෙන 1753 දී කන්ද උඩරටදී සියම් මහා නිකාය පිහිටුවා ලක්‌දිව උපසම්පදාව පිහිටුවා සම්බුද්ධ සාසනය නැවත පිහිටුවාලීමෙන් පසු නැවතත් ශ්‍රී ලංකාව ථෙරවාදී නිර්මල බුදුදහම පවතින රටක්‌ ලෙස ලෝකයා අතරට පිවිසෙන්නට විය. මේ නිසා එක්‌දහස්‌ හත්සිය පනහේ දශකය වන විටත් ශ්‍රී ලංකාවේ බුදුදහම පිරිහී තිබුණු අවධියක යුරෝපයේ බුදුදහම ප්‍රචලිත නොවී තිබීම පුදුමයට කරුණක්‌ නොවේ.

එංගලන්තයේ ලන්ඩන් විහාරයත්, ජර්මනියේ බර්ලින් විහාරයත් සමකාලීන පැරණි විහාරයන් වන අතර එංගලන්තයේ රිස්‌ ඩේවිඩ්, ජර්මනියේ ආචාර්ය පෝල් ඩාල්කෙ, Æණතිලෝක, Æණපෝණික, අයHd ෙ€මා, ආචාර්ය හෙල්මුට්‌ හෙකර් වැනි උගතුන් විසින් ලියන ලද පොත පත නිසාත් ඒවා යුරෝපීය භාෂාවනට පරිවර්තනය කිරීම නිසාත් මුල් අවධියේ යුරෝපය තුළ බුදුදහම ප්‍රචලිත වන්නට විය. අද වනවිට අන්තර්ජාලය නිසාත් තාක්‍ෂණික මෙවලම් නිසාත් බුදු දහම ශීඝ්‍රයෙන් යුරේපය පුරා පැතිර යමින් පවතී. මේ වන විට මුළු යුරෝපය පුරා විසිරී ඇති බෞද්ධ මධ්‍යස්‌ථාන සිය ගණනකි. ජර්මනිය පුරා විසිරී ඇති බෞද්ධ මධ්‍යස්‌ථාන 250 කට අධිකය, බර්ලින් නුවර පමණක්‌ බෞද්ධ මධ්‍යස්‌ථාන 52 කි.

මෙසේ බුදුදහම යුරෝපීය ජනතාව අතර ශීඝ්‍රයෙන් ප්‍රචලිතවීමට හේතු වී ඇති කරුණු කීපයක්‌ම වේ. එයින් බුදුදහම නිදහස්‌ ආගමක්‌ වීම පළමු කාරණය වේ. මෙය ඇදහිය යුතුමය කියා නියමයක්‌ නොමැතිවීම මීට හේතු වී ඇති ප්‍රධානතම හේතුව වේ. දෙවැනි කරුණ වනුයේ බුදුදහම තාර්කික වීමය. දර්ශනයක්‌වීමත් ප්‍රායෝගිකවීමත් මිනිසුන්ගේ පීඩනය තුනී කර ගැනීමට භාවනාව ඉවහල් වීමත් කියන මේ කාරණා නිසා යුරෝපීයයන් අතර බුදුදහම ශීඝ්‍රයෙන් ප්‍රචලිත වීමට හේතුවී ඇති අතර පල්ලිවලින් මිනිසුනට වැඩක්‌ සිදු නොවීම ද මීට හේතුවී ඇති තවත් කරුණකි.

කෙසේ හෝ අද යුරෝපයේ තිබෙන ආගම් අතර බුදුදහම තරම් ජනප්‍රිය ආගමක්‌, දර්ශනයක්‌ නැති තරම්ය. වැල යන පැත්තට මැස්‌ස ගසන්නා සේ මේ සඳහා ජනමාධ්‍යය ද විශාල කාර්ය භාරයක්‌ සිදු කරන බව කිවයුතුය. මෙහිදී කිතු දහමට හානියක්‌ නොවන ලෙසට කටයුතු කරනුයේ මෙහි සෑම දෙයකම පල්ලිය පිටු පසින් සිටින නිසාය. එසේ වුවද අද බර්ලින් නුවර තිබෙන බොහෝ පල්ලි වැසී යති. සමහර පල්ලිවල ක්‍රිස්‌තියානි පූජකවරුන් අප වෙත පැමිණ ථෙරවාදි බුදු දහමේ විපස්‌සනා භාවනාව උගෙන පසුව ඔවුනගේ පල්ලිවල ද විපස්‌සනා භාවනාව උගන්වන බව බොහෝ ශ්‍රී ලාංකිකයෝ නොදනිති.

බර්ලින් නුවර ජර්මන් ජාතික බෞද්ධයන්ගේ බෞද්ධ සමිති ශාලාවට අප විපස්‌සනා භාවනාව ඉගැන්වීමට යන විට ඒ අසල ඇති පල්ලියේ ඝාණ්‌ඨාරය සවස හයට නාදවන විට ජර්මන් ජාතික බෞද්ධයන් පල්ලියට යනවා වෙනුවට එකී බෞද්ධ සමිති ශාලාවට භාවනා කිරීම සඳහා ඇදී ඒම පුදුමය දනවන්නකි. එසේම බොහෝ පල්ලි ආශ්‍රිතව දක්‌නට තිබෙනුයේ බෞද්ධ පොත් සාප්පු වීමත් ඒවායේ විකිණීමට තිබෙන බුදුපිළිම, භාවනාවට යොදා ගන්නා මාල, පැදුරු, මෙට්‌ට. හඳුන්කූරු ආදී දහසක්‌ දේය. මේවායෙන් බොහෝ දේ ඉන්දියාව, ටිබෙටය, භූතානය, මොන්ගෝලියාව, තායිලන්තය හා චීනයෙන් ආනයනය කෙරෙන දේය. ඒ අතර චීනය ලෝක වෙළෙඳපොළ ග්‍රහණය කරගෙන සිටින බලවතා ලෙස ඉහත රටවල දැ අනුකරණය කරමින් වෙළෙඳපොළට භාණ්‌ඩ සපයති. නත්තලට පල්ලි වටා තිබෙන වෙළෙඳසැල්වලින් බොහෝමයක්‌ම බෞද්ධ ද්‍රව්‍ය විකිණීමට ඇති සල්පිල්ය. බුදුදහම කෙතරම් ජනප්‍රියවීද යත් අද යුරෝපීය වෙළෙඳපොළේ බොහෝ වෙළෙඳ භාණ්‌ඩවලට බුදුරුව යොදාගෙන ඇත.

කෙසේ හෝ යුරෝපයේ සිදුවෙමින් පවතින මේ බුදුදහමේ ප්‍රවණතාවය නව රැල්ලක්‌ බවට පත්වී දැනට දශක දෙකක පමණ කාලයක්‌ වේ. යුරෝපීය ජාතිකයන් තමන් බෞද්ධයෙක්‌ බව පවසන්නේ මහත් ආඩම්බරයෙනි. නමුත් බුදුරුව නුසුදුසු පරිදි යොදාගෙන තිබීම වැළැක්‌වීමට කිසිවකු ඉදිරිපත් නොවීම කනගාටුවට කරුණකි. අත කට පිස දමන ස්‌වියට්‌ කඩදාසියට බුදුරුව යොදා ඇත. වාඩිවීමට පුටුවට දමන මෙට්‌ටයට බුදුරුව යොදා ඇත. එවිට එහි කිසිවකු වාඩිවන්නේ නම් ඒ බුදුරුව මතය. ඒ මත වාඩිවී සිටින තැනැත්තෙකුට වාතයක්‌ ගියහොත් ඒ බුදුරුව මතටය. සමහර බුදුපිළිම ඉටිවලින් තනා ඇති අතර ශීර්ෂය මුදුනෙන් නූල දමා ඇත්තේ දැල්වීමටය. නමුත් එබඳු පිළිමයක්‌ ලාභදායී නිසා ඔවුහු එය මිලදී ගනිති. අලංකාරය පිණිස සිය නිවසේ තබා ගනිති.

බොහෝ ඉන්දියන්රෙස්‌ටුරන්ට්‌ ඉදිරියේ තබා ඇත්තේ අති විශාල බුදු පිළිමයන්ය. එක්‌තරා ඉන්දියන් රෙස්‌ටුරන් එකක්‌ ඉදිරියේ තබා තිබෙනුයේ සමාධි පිළිමයේ හැඩය ගත් බුදු පිළිමයකි. ආපන ශාලාව තුළ දුම්පානය කිරීම තහනම් බැවින් එළිමහනේ සිගරට්‌ අළු කැඩීමට තබා ඇති භාජනයකි. කිසිවකු විසින් බුදුපිළිම වහන්සේගේ දැත මත එම භාජනය තබා ඇත. දුම්බොන්නන් ඒ අසල සිට ඒ මතට සිගරට්‌ටුවේ අළු කඩති. එක්‌තරා වෙළෙඳ සලක පිත්තලවලින් තනන ලද කව් බුද්ධා (ඤඅ ඊමාdය්) නමින් විකිණීමට ඇති බුදු පිළිමයකි. එය භාවනාමය ඉරියව්වෙන් සිටින සේ තනා ඇත. එසේ වුවද උදරය ඉදිරියට නොරා ඇති අතර ශීර්ෂය එළදෙනකගේ හැඩයට තනා ඇත. අඩි භාගයක්‌ පමණ උසින් යුතු එහි මිල යුරෝ 38 කි. රුපියල් 6840 කි. හැම තැනකම මෙන්ම බුද්ධ බාර්ය. සමහර රෙස්‌ටුරන්ට්‌වල විකිණීමට තබා ඇති මත්පැන් බෝතලවල ලේබලයට බුදුරුව යොදාගෙන ඇත. ඉදිරියේදී ටොයිලට්‌ පේපර්ස්‌වලටද බුදුරුව යොදාගැනීම පවා ඉඩ තිබේ. අපි නුදුටුවාට සමහරවිට මේ වනවිටත් එබඳු දැ තිබීමට ද පුළුවනි. මෙබඳු දැ අපට ඔවුන් වෙත ගොස්‌ මෙහි ආදීනව හා මෙබඳු දේ නොකරන ලෙස කීවට ඵලක්‌ නැත. මෙබඳු දැ මා විසින් කීප වතාවක්‌ම ඔවුනට පැවසූ විට ඔවුන් පවසනුයේ අපට කළ හැකි දෙයක්‌ නෑ, අපි මෙහි සේවකයෝ මෙහි අධිපතිතුමාට කියන්න, එයා දැන් නෑ" මෙවැනි වදන්ය අපට පිළිතුරු වශයෙන් ලැබෙනුයේ.

මෙබඳු දැ වැළැක්‌වීමට නම් ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික බෞද්ධ රටවල විදේශ කටයුතු අමාත්‍යාංශ හා බෞද්ධ කටයුතු අමාත්‍යාංශ හා එක්‌ව කිසියම් වැඩ පිළිවෙළක්‌ දියත්කොට රාජ්‍ය තාන්ත්‍රිකව කටයුතු කළ යුතුය.

බර්ලින් නුවර ජර්මන් ජාතික නිවසකට මම ගිය වෙලාවක ඔවුනගේ වැසිකිළියේ කොමඩ් එක උඩ ඉතා වටිනා බුදු පිළිමයක්‌ තබා තිබුණි. මම ඔවුනට බුදු හුමුදුරුවෝ ගැනත් බුදු පිළිමය ගැනත් කියා දීමෙන් ඒ මොහොතේම බුදු පිළිම වහන්සේ නිවසේ මැද සාලය වෙත ගෙනවිත් මේසය මත තැබුවේ කඳුළු පිරුණු දෙනෙතින් යුතුව දෙතුන් වතාවක්‌ම සමාව අයදිමිනි. පසු කලෙක එම ජර්මන් බෞද්ධ කාන්තාව පිළිකාවකින් මිය ගිය අතර මිය යන මොහොතේ එම බුදු පිළිමයම ඇගේ පපුව මත තබාගෙන අවසන් හස්‌ම හෙළුවාය.

ශ්‍රී ලංකාවේ ගම්වල හා නගරවල සිටින සමහර මිනිස්‌සු සිය ගණන්කාර බව පෙන්වීමට සිය ශරීරයේ පච්ච කොටාගෙන ඇත. සමහරු "අම්මා බුදුවේවා·" "මරු සිරා", "යකඩයා" වැනි වදන් එසේ පච්ච කොටා ගනිති. ජර්මන් ජාතික තරුණ විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු මා වෙත පැමිණ බුදු දහම හා භාවනාව ඉගෙන ගත්තේය. පසුව ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව වසර දෙකක කාලයක්‌ බෞද්ධ දර්ශනය හැදැරීය. ඔහු ජර්මනියෙන් පිටත්වීමට පෙර මා හමු වූ අවසාන දවසේ මට කියා පාලි භාෂාවෙන් පින් සඳහා ලියන වචනය පාලියෙන්ම ලියාල දෙන ලෙස අයෑදීය. "කුසල" යන වචනය පාලි අකුරින් ලියා දුන්නෙමි. වසර දෙකකට පසුව මා හමුවට ආ ඔහු සිය කමිසයේ අත ඔසවා මට පෙන්වීය. එහි ඔහු පච්ච කොටා ගෙන තිබුණේ "කුසල" යන වචනයයි.

පසුගියදා ලංකාවට ආ එංගලන්ත කාන්තාව සිය අතෙහි බුදුරුව පච්ච කොටා ගෙන ඇත්තේ බුදුහාමුදුරුවන්ට නිගා කිරීමේ අදහසින් යෑයි සිතිය නොහැකිය. බුදුහාමුදුරුවන් ගැන ලොකු ආඩම්බරයකිනි. ඇය එය සිදු කරගෙන ඇත්තේ, කෙසේ නමුදු මෙහි ඇත්ත නැත්ත හරියටම දන්නේ ඇයගේ සිත හා සිතිවිලිය. "ෙච්තනාහං භික්‌ඛවේ කම්මං වදාමිá චෙතයිත්වා කම්මං කරොති කායෙන, වාචාය, මනාස" මහණෙනි ෙච්තනාවම කර්මය වේ. සිතින් කයින් වචනයෙන් සිතා මතා කරන දැ කර්ම වේ. මේ අනුව අනුන්ගේ කර්ම නිර්ණය කිරීමට තරම් ශ්‍රී ලාංකික බලධරයෝ බුදු දහමේ කෙතරම් දුරට පරතෙර දක්‌වා ගොස්‌ ඇතිද යන්න සිතා ගත හැකිය. ඇය අනිවාර්යයෙන්ම ලංකාවට එනවිට ලංකාව පිළිබඳව, බුදුදහම පිළිබඳව, මිනිස්‌සු සහ සංස්‌කෘතිය, පරිසරය මේ ආදිය පිළිබඳව පොත පත කියවා මහත් බලාපොරොත්තු රාශියක්‌ කරපින්නාගෙන ලංකාවට පා තැබුවාට කිසිම සැකයක්‌ නැත. මන්ද යුරෝපීය ජාතිකයන්ගේ සිරිත එය වන නිසාය.

ඇය ශ්‍රී ලාංකික බෞද්ධයන්ගෙන් කිසිසේත්ම බලාපොරොත්තු නොවූ අකරතැබ්බයකට මුහුණ දුන්නාය. පච්ච කොටා ගැනීම ලෝකේ මොනම රටකවත් තවම තහනම් කර නැත. අම්මා බුදු වේවා යනුවෙන් සිංහලයකුට පච්ච කොටා ගැනීම සුදුසු නම් තහනමක්‌ නැත්නම් විදේශීය කෙනකුට පිටකොන්දේ බුදුරුව පච්චාකොට ගැනීමේ වරද කුමක්‌ද යන්න බොහෝ දෙනකුට පැන නගින ප්‍රශ්නයකි.

ඇය ලංකාවට ඒමට පෙර වීසා ගාස්‌තු ගෙවිය යුතුය. සමහරවිට රැකියාවක්‌ කරන කෙනකු නම් මාස 6 කට පෙර වැනි කාලයක සිට නිවාඩු අයදුම් කළ යුතුය. ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙන් පැමිණියේ නම් ඇය ටිකට්‌ පත සඳහා මුදල් ගෙවා ඇත්තේද ලංකාවටමය. තව හෝටල් බුක්‌ කර තිබුණේ නම් එයින් ද ඇයට පාඩුවක්‌ සිදුවන්නේය.

බුදුරුව පච්චකොටා ලංකාවට පැමිණීම තහනම් කර තිබේ නම් ඒ බව බලධාරීන් තානාපති කාර්යාල හරහා සංචාරකයන්ට දැනුම් දිය යුතුය. එසේත් නැති නම් අඩුම වශයෙන් ඔවුනගේ වෙබ් අඩවිවල ඒ බව සඳහන් කළ යුතුය. ඒ කිසිම දෙයක්‌ නොමැතිව එම කාන්තාව රටින් පිටුවහල්කොට ආපසු එවීම මොන තරම් දුරට සාධාරණද යන්න මෙම බලධාරීහු සලකා බැලිය යුතුය. ඇය බුදුදහම පිළිබඳවත් සිංහල බෞද්ධයන් පිළිබඳවත් අදහස්‌ කරගෙන සිටි සියල්ල වීදුරු පාත්‍රයක්‌ පොළවේ ගැසුවා හා සමාන විය. සමහර විට ඇය බුදුදහම හා භාවනාව ගැඹුරින් හදාරා භාවනාව හා බුදුදහම වැඩිදුර අධ්‍යයනය කිරීමද ඇය පොතපතින් දැන සිටි දේ සිය දෙනෙතින් දැක ගැනීමට මහත් බලාපොරොත්තු තබාගෙන ද සිටියාට සැකයක්‌ නැත. මෙම සිදුවීමෙන් ශ්‍රී ලාංකික බෞද්ධයන්ගේ තරම ඇය හොඳටම දැනගත්තාටද සැකයක්‌ නැත. පොතේ දැක්‌වෙන බෞද්ධයෝ ලක්‌දිව නැති බවත් මෝඩ ශ්‍රද්ධාවෙන් පිරුණු අන්ධ භක්‌තිකයෝ ටිකක්‌ ඉන්න බවටත් ඇය නිර්ණය කරගත්තාට ද කිසිම සැකයක්‌ නැත. අද ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන හොරමැරකම්, තක්‌කඩිකම්, දූෂණයන්, අපචාරයන් සැබවින්ම ජාත්‍යන්තර ප්‍රජාව දන්නේ නම් විශ්වය තුළ ශ්‍රී ලාංකික බෞද්ධයන්ගේ අනන්‍යතාවය මනාවට තහවුරු වනු ඇත.

මෙබඳු සිදුවීම්වලින් ඇය සතු බුදුදහම හා බුදුරජාණන්වහන්සේ පිළිබඳ අවංක ශ්‍රද්ධාවත් ශ්‍රී ලාංකික බලධරයන් සතු විදේශීයන් පිළිබඳ අනවබෝධයත් ප්‍රකට විය. බුදුරුව පච්ච කොටාගැනීමේ හේතු විමසා ඇය එය නරක අදහසකින් හෝ නොදැනුවත් කමින් සිදු කර ඇත්නම් එහි ආදීනව ඇයට කියාදී සිංහල බෞද්ධකම ඇයට පෙන්වාදීම කළ යුතුව තිබුණි. කළ යුතු දේ නොකර, නොකළ යුතු දේ සිදු කිරීම සද්ධර්මරත්නාවලි කතු සාහිත්‍ය චක්‍රවර්තී ධර්මසේන හිමියන් පවසා ඇති "කිරි දෙවීමට බුරුල්ල තිබියදී අඟ අල්ලාගෙන දැඟලීම" යන උපහැරණය සිහිපත් කරවයි.

රඹුක්‌වැල්ලේ දේවානන්ද හිමි,
බර්ලින් සම්බෝධි විහාරාධිපති,
දොරණෑගොඩ සදානන්ද
පිරිවෙන් රජමහා විහාරාධිපති,

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.