දිවයින විශේෂ විමර්ශන

2005 ගෘහස්‌ථ හිංසන වැළැක්‌වීමේ පනතේ  සැඟවුණු අනතුර

ළමා අයිතීන් නිසා සිසුන්ට බය ගුරුවරු
- හයවන කොටස

රැව්පළිරැව්

අප මෙම ලිපි පෙළින් මෙතෙක්‌ සාකච්ඡා කළේ ගුරුවරුන්ට බලපාන නීති ගැනය. අද ළමයකුට වේවැල් පාරක්‌ දීම ගුරුවරයකු බන්ධනාගාරගත කරවන කාරණයක්‌ බවට හරවා තිබෙන නීති පද්ධතියේ දෙමවුපියන්ට බලපාන කොටසක්‌ද තිබෙන බව මම කලින් ලිපිවල පැවැසුවෙමි. ඒ වනාහි 2005 අංක 34 දරන ගෘහස්‌ථ හිංසනය වැළැක්‌වීමේ පනතයි. මෙහි "ගෘහස්‌ථ හිංසනය" යන්නෙන් ගෙදරදී ළමයකුට පහරක්‌ ගැසීමත් ඇතුළත් බව සැලකිය යුතුය. දෙමවුපියන් අතර සමගියක්‌ නැති, ළමුන් හිංසනයට පැමිණෙන පවුල් ඇති බව අපි කවුරුත් දනිමු. මෙවැනි පුවත් මාධ්‍යයේ නිතර පළ වේ. නමුත් 2005 ගෘහස්‌ථ හිංසනය වැළැක්‌වීමේ පනතින් හඳුන්වාදී ඇති ප්‍රතිපාදන නිසා ලෙඩට වඩා ප්‍රතිකර්මය භයානක වන තත්ත්වයක්‌ උද්ගත වී ඇත. මෙකී පනතේ මුල්ම ප්‍රශ්නය වන්නේ පවුලේ ආරවුල්වලට පළමු පියවරේ සිටම උසාවිය හවුල් කර ගැනීමයි. මේවා පවුලේ සාමාජිකයන් අතර සිදුවන ප්‍රශ්න නිසා උසාවියට යාමට පෙර වෙනත් මට්‌ටමකින් මෙය විස¹ ගැනීමට කුමක්‌ හෝ ප්‍රාථමික අවස්‌ථාවක්‌ තිබිය යුතුය. උදාහරණයක්‌ වශයෙන් 1951 අංක 13 දරන මුස්‌ලිම් විවාහ හා දික්‌කසාද පනතට අනුව යමෙක්‌ තම භාර්යාව දික්‌කසාද කරන බවට ක්‌වාසිවරයාට දැනුම් දුන් විට ඒ අයගේ ඥතීන් හා වැඩිහිටියන්ගේ උදව් ඇතිව සමාදානයක්‌ ඇති කිරීමට උත්සාහ කිරීමට ක්‌වාසිවරයා නීතියෙන්ම බැඳී සිටී. 2005 ගෘහස්‌ථ හිංසනය වැළැක්‌වීමේ පනතේ ප්‍රධානම ප්‍රශ්නය වන්නේ උසාවියෙන් පිට ප්‍රශ්නයක්‌ විසඳීමට කිසිදු ප්‍රතිපාදනයක්‌ එහි නොමැති වීමයි. මෙකී පනතට අනුව විවාහ උපදේශකයකුට වුවද ප්‍රශ්නයකට මැදිහත්විය හැක්‌කේ උසාවි නියෝගයක්‌ මත පමණි.

එපමණක්‌ද නොව පවුලේ ඕනෑම සාමාජිකයකුට එම පවුලේම තවත් සාමාජිකයකුට එරෙහිව ඇඟ බැඳීමේ නියෝගයක්‌ ඉල්ලා සිටිය හැක. මෙවන් පෙත්සමක්‌ උසාවියට ඉදිරිපත් වූ වහාම අදාළ පවුලේ අය අඹුසැමියන් හෝ දරුවන් හා දෙමවුපියන් නොව එක්‌වරම "පැමිණිලිකරු" හා "වගඋත්තරකරු" බවට පත්වෙයි. එකම පවුලක්‌ හැටියට එකම වහලක්‌ යට සිටින අය අතර සමගිය සුරැකීමට මෙවැනි නීති ඉවහල් වේදැයි කවුරුත් සිතා බැලිය යුතුය. යම්කිසි පවුලක පැමිණිලිකරුවෙක්‌ උසාවියට යන විට තම නිවසේ සිදුවන දේවල් ගැන දන්නා වෙනත් පාර්ශ්ව විසින් ඉදිරිපත් කරන ලද දිවුරුම් පෙත්සම් ද පැමිණිල්ලට අමුණා එවීමට මේ පනතින් ප්‍රතිපාදන සැලසේ. මේ නිසා එක නිවසක සිදුවන ආරවුලකට අසල්වැසියන්, මිතුරන් හා නෑදැයින් පවා එක්‌වී එක පවුලක්‌ පමණක්‌ නොව ගම්මාන පිටින් දෙකඩ වීමට මේ නීතියේ ප්‍රතිපාදන ඇත.

2005 ගෘහස්‌ථ හිංසනය වැළැක්‌වීමේ පනතේ තවත් ප්‍රශ්නයක්‌ වන්නේ සිද්ධියක්‌ සිදු නොවී, හිංසනයක්‌ සිදුවීමට "ඉඩ ඇතැයි" කියාද උසාවියට ගොස්‌ වාරණ නියෝග ඉල්ලීමට මෙයින් ඉඩ සැලසීමයි. මේ නිසා ගෘහස්‌ථ හිංසනයක්‌ හට ගැනීමට පෙර සිටම පවුල දෙකඩ වන තැනට මෙයින් ප්‍රතිපාදන සැලසී ඇත. සෑම නිවසකම රණ්‌ඩු හා එකඟ නොවීම් ඇතිවේ. සිදුවන හැම කුඩා සිද්ධියක්‌ම උසාවියට ගෙන යැමෙන් පවුලේ ඒකාග්‍රතාවය රැක ගන්නේ කෙසේද? මහෙස්‌ත්‍රාත් උසාවියකට යන විට පවුලේ දෙපාර්ශ්වයට වෙන වෙනම නීතිඥයන්ගේ සේවාව ලබා ගැනීමට සිදුවෙයි. ඉන්පසු සියලුම දෛනික වැඩ කටයුතු නතරකොට දෙපාර්ශ්වයම උසාවියේ පෙනී සිටිය යුතුවෙයි. දෙමවුපියන් උදෙන් නැගිට ආහාර පිළියෙළ කොට ළමුන් පාසලට යවා එකිනෙකාට එරෙහිව නඩු කීමට උසාවියට යයි. දවල් වරුවේ උසාවියේ වගඋත්තරකරු හා පැමිණිලිකරු හැටියට පෙනී සිටින පවුලේ සාමාජිකයන් අතර හැන්දැවේ සමගියක්‌ ඇතිවන්නේ කෙසේද?.

ගෘහස්‌ථ හිංසනය වැළැක්‌වීමේ පනත යටතේ පැමිණිල්ලක්‌ ලැබුණු විට මහෙස්‌ත්‍රාත් උසාවියට වගඋත්කරකරුට එරෙහිව ඇඟ බැඳීමේ නියෝගයක්‌ නිකුත් කළ හැක. වගඋත්තරකරුට අදාළ නියෝගය භාරදීමට උසාවියේ පිස්‌කල් නිලධාරියාට නොහැකි නම් ඔහු කළ යුත්තේ ඒ නියෝගය අදාළ නිවසේ අලවා යාමයි· එකම නිවසේ එක්‌ සාමාජිකයකුට එරෙහිව තවත් සාමාජිකයකුගේ පැමිණිල්ලක්‌ මත උසාවි නියෝගයක්‌ බිත්තියේ අලවා තැබීම සාමයට ඉවහල් වන්නේ කෙසේද යන්න කවුරුත් සිතා බැලිය යුතුය. තවද 2005 ගෘහස්‌ථ හිංසනය වැළැක්‌වීමේ පනතේ පරමාර්ථය වන්නේ සමගියක්‌ නැති නිවෙස්‌වල දෙමවුපියන් කඩිනමින් දික්‌කසාද කරවීම හෝ හිංසනයට භාජනය වූ ළමුන් පවුලෙන් වෙන් කිරීමට නොව යුද වැදී සිටින සියලු පාර්ශවයන් නඩු කිය කියා දිගටම එක වහළක්‌ යටතේ තබා ගැනීමය· මෙවන් පවුලක යම්කිසි සාමාජිකයකුට එරෙහිව උසාවි නියෝගයක්‌ පැනවූ විට එය හරිහැටි ක්‍රියාත්මක වනවාදැයි බැලීමට රජයේ පරිවාස නිලධාරියෙක්‌ ළමා අයිතීන් ප්‍රවර්ධන නිලධාරියෙක්‌ වැනි අයෙක්‌ පත්කොට මාස තුනෙන් තුනට වාර්තා ඉල්ලා සිටීමටද උසාවියට හැක. ඒ අනුව අදාළ පවුලේ කටයුතුවලට දිගුකාලීන පදනමක්‌ මත ඇඟිලි ගසන පිටස්‌තරයකුද චිත්‍රයට ඇතුළත් වේ.

2005 ගෘහස්‌ථ හිංසන පනතින් කරන්නේ නිවසක එක්‌ සාමාජිකයෙක්‌ තවත් සාමාජිකයකුට එරෙහිව කෙටවීමයි. මේ ආකාරයට නඩු කීමට ප්‍රතිපාදන තිබීමෙන්ම එවැනි නඩු පැවරීමට කරන දිරිගැන්වීමක්‌ සිදුවේ. බිරිඳකට හෝ ස්‌වාමිපුරුෂයකුට නැතිනම් දෙමවුපියකුට හෝ ළමයකුට එකිනෙකාට එරෙහිව උසාවියේ සාක්‌කි දීමෙන් පසු තවදුරටත් එකම නිවසේ වාසය කළ හැකිද යන ප්‍රායෝගික කාරණය මෙහිදී සලකා බලා නැත. තවද මෙකී නීතිය යටතේ උසාවියෙන් දෙන නියෝගයක්‌ කැඩීම වෙනුවෙන් පනවන දඬුවම වන්නේ රු. 10000 ක්‌ දක්‌වා දඩයක්‌ හා අවුරුද්දකට නොවැඩි සිරදඬුවමකි. මේ නීතිය කෙළවර දක්‌වාම ගෙන ගොස්‌ යම්කිසි පවුලක සාමාජිකයෙක්‌ එම පවුලේම තවත් සාමාජිකයකුගේ පැමිණිල්ලක්‌ මත සිර ගත වුවහොත් ඔහු සිර ගෙදරින් නැවත එම නිවසටම පැමිණ ජීවත් වන්නේ කෙසේද යන්න මෙහි සලකා බලා නැත.

වඩාත්ම හාස්‍යජනක කාරණය වන්නේ පවුලේ යම් සාමාජිකයකුගේ පැමිණිල්ලක්‌ මත උසාවියට එම පවුලේම තවත් සාමාජිකයකුට පැමිණිලිකරු ජීවත් වන ස්‌ථානයට, වැඩකරන ස්‌ථානයට හෝ පැමිණිලිකරු ඉගෙන ගන්නා පාසලට ඇතුළු වීමට තහනම් කිරීමට අමතරව පැමිණිලිකරු වාසය කරන නිවසේම ඔහුගේ කොටසට පැමිණීමෙන් වගඋත්තරකරු වළක්‌වන නියෝගයක්‌ නිකුත් කිරීමට හැකි වීමයි. ධනවත් පවුලක නිවසක්‌ නම් එහි විශාලත්වය අනුව මේ ආකාරයට පැමිණිලිකරු ජීවත්වන කොටසට වගඋත්තරකරු නොයා යුතු යෑයි නියෝග පැනවිය හැක. නමුත් දුප්පතුන් ජීවත්වන කුඩා නිවසක මෙවැන්නක්‌ ප්‍රායෝගිකව කළ හැකිද? දුප්පතුන්ගේ නිවසක නම් වගඋත්තරකරු වැසිකිළියෙන් එළියට ඒමට වැඩි වේලාවක්‌ ගත වූයේ නම් එයද පැමිණිලිකාර පාර්ශ්වය විසින් "හිරිහැර කිරීමක්‌" හැටියට උසාවියට වාර්තා කිරීමට ඉඩ ඇත.

ව්‍යවහාර ඥනයට වැටහිය යුතු කාරණය වන්නේ පවුලේ කටයුතුවලට උසාවිය මැදිහත් විය යුත්තේ කසාදයක්‌ අවසන් කරන අවස්‌ථාවේදී පමණක්‌ බවයි. වෙන්වන්නේ නැතුව එකට තබාගැනීමට උත්සාහ දරන පවුල්වල ආරවුල් විසඳිය යුත්තේ නෑදැයන්, අසල්වැසියන්, ගමේ භික්‍ෂූන් වහන්සේ හා පොලිසිය වැනි කොටස්‌ය. එකට සිටීමට උත්සාහ දරන පවුල්වල කටයුතුවලට උසාවිය මැදිහත් නොවිය යුතුය. 2005 ගෘහස්‌ථ හිංසනය වැළැක්‌වීමේ පනත විවාහය නමැති ආයතනයද විනාශ කළ හැකි භයානක නීතියකි. මෙහි ඇති භයානක කම දෙගුණ තෙගුණ වන්නේ ගෘහස්‌ථ හිංසනය ගැන පැමිණිලි කිරීම, වගඋත්තරකරුගේ පාර්ශ්වයේ ඇඟ බැඳීම, හිංසනයක්‌ සිදුවීමට ඉඩ තිබෙනවාය යන කාරණය මත උසාවියට යාම යන සියලුම දේවල් ළමයකුටද තම දෙමවුපියන්ට එරෙහිව කිරීමට හැකි වීමයි. ළමයකුට තම දෙමවුපියන්ට එරෙහිව පැමිණිල්ලක්‌ කිරීමට නම් පොලිසිය මගින් හෝ ජාතික ළමාරක්‍ෂණ අධිකාරිය මාර්ගයෙන් කළ හැක. මෙය බිරිඳත් විසින් සැමියකුට එරෙහිව මේ නීතිය යටතේම පැමිණිල්ලක්‌ කරනවාට වඩා භයානකය. බිරිඳත් සැමියකුට එරෙහිව පැමිණිල්ලක්‌ කළේ නම් ඒ දෙදෙනාට වෙනත් නීති යටතේ දික්‌කසාද වී වෙන් වී සිටිය හැක. නමුත් ළමයෙක්‌ තම දෙමවුපියන්ට එරෙහිව මේ නීතිය යටතේ පැමිණිල්ලක්‌ කළොත් දික්‌කසාදයක්‌ සිදුවීමට ප්‍රතිපාදන නැත. එවිට සිදුවන්නේ උසාවි නියෝග මත දෙමවුපියන් තමන්ගේම දරුවන්ගේ සිරකරුවන් බවට පත්වී තමන්ගේම ළමුන්ට බියෙන් ජීවත්වීමට සිදුවීමයි.

තවද වත්මන් නීතිය යටතේ ළමයකු හැටියට සැලකෙන්නේ අවුරුදු 18 ට අඩු අයෙකි. ඒ කියන්නේ ගැටවරයකු වඩාත්ම කැරලිකාර වයසේදී දෙමවුපියන්ගේ පාලනය යටතේ තබා ගැනීමට නොහැකි වීමයි. මෙවැනි ගැටවරයකුට හිංසනයක්‌ සිදුවීමට ඉඩ තිබෙනවා යෑයි කියා උසාවිය මගින් තම දෙමවුපියන්ගේ ඇඟ බැඳ හිතු මනාපයට හැසිරිය හැක. දෙමවුපියන්ද නීතියට තිබෙන බිය නිසා දඩබ්බර දරුවාගේ අණසක යටතේ දුකසේ ජීවත් විය යුතුය. උසාවියේ නියෝග ක්‍රියාත්මක වනවා දැයි බැලීමට පරිවාස නිලධාරියකු පත්කළහොත් තම දඩබ්බර දරුවාගේ පැත්ත ගැනීමට නිතර දෙවේලේ නිවසට එන රජයේ නිලධාරියකුද සිටිනු ඇත. ඒ දෙමවුපියන්ගේ දුකේ උච්චම අවස්‌ථාව වනු ඇත. අද ගුරුවරයෙක්‌ තම ළමුන්ට පහර දුන්නා යෑයි කියා පොලිසිය හා ළමා ආරක්‍ෂක අධිකාරියට දුවන දෙමවුපියන් මේ කාරණා දැනගත යුතුය. අද ගුරුවරුන් හිරගෙදරට යවන මේ නීති පද්ධතිය තවදුරටත් පැවතුණහොත් නොබෝ කලකින්ම දෙමවුපියන්ටද ඒ ගුරුවරුන් පසුපසම උසාවි ගානේත් සිරගෙවල් ගානේත් ලැගීමට අනිවාර්යයෙන්ම සිදුවන බව ඔවුන් දැනගත යුතුය. ලංකාවේ මේ ගෘහස්‌ථ හිංසන නීතිය තවමත් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වී නැත්තේ තවමත් පොලිසිය වැනි බලධාරීන්ද මේ කාරණා සම්බන්ධයෙන් ව්‍යවහාර ඥනය පාවිච්චි කරන නිසාය. පොලිසියද පැමිණිල්ලක්‌ ලැබුණු පමණින් එක්‌වරම මෙය උසාවියට නොදමා අදාළ ආරවුල සමතයකට පත්කොට යෑවීමට උත්සාහ දරයි. නමුත් මෙය හුදෙක්‌ම පරිපාලනමය වැඩපිළිවෙළක්‌ මිස නීතියේ කොටසක්‌ නොවේ. නීතියට අනුව මේ සියල්ල පටන්ගත යුත්තේ උසාවියෙනි.

මේ රටේ 2005 ගෘහස්‌ථ හිංසන පනත වැනි නීතියක්‌ අවශ්‍ය දැයි සලකා බැලිය යුතුය. යම්කිසි නිවසක දරුවෙක්‌ට දෙමවුපියන් කිසිදු හේතුවක්‌ නැතුව දිගින් දිගටම හිරිහැර කරන්නේ නම් එවැනි දේවල් අසල්වැසියන්ට හා නෑදැයන්ට දැනගැනීමට ලැබේ. මේවා කලාතුරකින් සිදුවන විරල අවස්‌ථාය. මෙවැන්නක්‌ සිදු වූ විට ඒ ළමුන් පවුල්වලින් වෙන්කොට ළමා නිවාසවලට යවනු ලැබේ. එමෙන්ම දිනපතාම ගෙදරදී ගුටිකන හා හිරිහැරයට පත්වන කාන්තාවන්ද සිටින්නේ කලාතුරකිනි. නොගැළපීමක්‌ තිබේ නම් බොහෝ විට කලින්ම දික්‌කසාදයක්‌ සිදුවේ. දික්‌කසාදයක්‌ සිදු නොවී අඹුසැමියන් අතර හිංසනය දිගටම පවතින්නේ කලාතුරකිනි. මේ ආකාරයට කලාතුරකින් සිදුවන විරල අවස්‌ථා සිහියේ තබාගෙන සාමාන්‍ය පවුල්වලටද බලපාන ආකාරයට නීති සම්පාදනය නොකළ යුතුය.

2005 ගෘහස්‌ථ හිංසනය වැළැක්‌වීමේ පනත වැනි නීති නිසා සියලුම බටහිර රටවල සුදු ජාතික දෙමවුපියන් ජීවත් වන්නේ තමන්ගේම ළමයින්ට බියෙනි. ළමුන් හැදීම සිතා ගැනීමටවත් නොහැකි තරම් කරදරකාරී වැඩක්‌ නිසා ඒ රටවල සුදු ජාතිකයන්ගේ ජනගහන වර්ධනයද දැන් ඇත්තේ සෘණ ගණන් වලිනි. සුදු ජාතිකයන්ට විවාහ වීමද වදයක්‌ බවට පත්වී ඇත. අද බටහිර ශිෂ්ටාචාරයම විනාශය කරා ගෙන යන මේ තත්ත්වයන් ගෘහස්‌ථ හිංසනය වැළැක්‌වීමේ පනත වැනි නීතිවලින් ලංකාවටද හඳුන්වා දෙන බව කිව යුතුය.

(ලබන අඟහරුවාදා තවත් කොටසක්‌)
සී. ඒ. චන්ද්‍රප්‍රේම

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.