දුම්බර නැවතත්  අනතුරේ?

දේශපාලන හෙංචයියන් කළුපහනේ එනසාල් වගාවට අර අඳිති

මෙය බලවත් පරිසර විනාශයක්‌ - දුම්බර මිතුරෝ කියයි


ශ්‍රී ලංකාවේ එක්‌ තැනක සංවර්ධනය වෙනුවෙන් සිදුකරන මහා පරිමාණ වනාන්තර විනාශයන්ය. අප අපගේ මාතෘ භූමිය තිරසාර ආකාරයෙන් සංවර්ධනය වී එහි ප්‍රතිලාභ සෑම සියලු ජනතාවටම ලැබීම අගය කරන නමුත් මේ වන විට සිදු කරමින් යන උක්‌ත කාලකණ්‌ණි සංවර්ධනයේ එවැනි ප්‍රතිලාභ අපේක්‍ෂා කිරීම උගහටය. තවත් තැනක පටු ධන ලෝභයෙන් තම මල්ල පුරවා ගැනීමට දේශපාලන අඳ බාලයන් විසින් වනසා දමන සොබාදහමේ අගනා දායාදයන්ය. දිවයිනට හිමි අග්‍රගණ්‍ය ජෛව විවිධත්වයකින් හෙබි ආර්ථික සමාජීය හා සංස්‌කෘතික වටිනාකම් රැසකින්ද සමන්විත එවැනි සොබාදහමේ අනගි දායාදයක්‌ ලෙස දුම්බර අඩවිය හැඳින්විය හැකිය.

දුම්බර අඩවිය නොඑසේ නම් නකල්ස්‌ සංරක්‌ෂිත වනාන්තරයේ සැඟවී ඇති වටිනාකම් සියල්ල විද්‍යාත්මකව අනාවරණය කිරීමට නම් තවත් පර්යේෂණ, ගවේෂණ අති විශාල ප්‍රමාණයක්‌ සිදු කළ යුතුව ඇත. නමුත් ඊට පෙරාතුව එහි ඇති වටිනාකම් සියල්ල විනාශ කර තම මඩිය පුරවා ගැනීමට ඇතැම් පටු අවස්‌ථාවාදී දේශපාලන තක්‌කඩියන් මේ වන විට කටයුතු කරමින් සිටීම කණගාටුවට කරුණකි.

දුම්බර අඩවියට බැල්ම හෙළන තකතීරුවන්ගේ අමන ක්‍රියා කලාපය හේතුවෙන් මෙම අගනා සොබා උරුමයට කණකොකා හඬන්නට පටන් ගත්තේ අද ඊයේ සිට නොවේ. නමුත් පරිසරයට ආදරය කරන බොහෝ දෙනකුගේ දැඩි කැපවීම හේතුවෙන් එම විනාශකාරීන්ට සිත් සේ තම විනාශය සිදු කිරීමට නොහැකි විය. නමුත් ඒ හැමදාටම නොවේ.

මෙරට ප්‍රකාශයට පත්කරන ලද ප්‍රථම සංරක්‍ෂිත වනාන්තරය හා 2010 වසරේදී ලෝක උරුමයක්‌ ලෙස නම්කරන ලද දුම්බර වනපෙත හෙවත් නකල්ස්‌ සංරක්‍ෂිත වනාන්තරය නැවත වරක්‌ දේශපාලන හෙංචයියන්ගේ කෙළිමඬලක්‌ බවට පත් කිරීමට දේශපාලන අඳ බාලයෝ කටයුතු කරමින් සිටිති. කලක සිට මෙම වනාන්තරයේ යටි වගාව විනාශ කරමින් සිදු කරගෙන ගිය එනසාල් වගාවට නැවත වරක්‌ ඉඩ ප්‍රස්‌ථාව සලසා දෙමින් මේ ආකරයෙන් දුම්බර අඩවිය දේශපාලන හෙංචයියන්ට නතු කිරීමට ප්‍රදේශයේ දේශපාලකයෝ හා උසස්‌ පරිපාලන නිලධාරීහු කටයුතු කරමින් සිටිති.

මෙහි එක්‌ කූටප්‍රාප්තියක්‌ ලෙස පසුගිය මාර්තු 25 වැනිදා පැවති මාතලේ දිස්‌ත්‍රික්‌ සම්බන්ධීකරණ කමිටු රැස්‌වීමේදී කර්මාන්ත සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා සහ මාතලේ ප්‍රාදේශීය සභා සභාපති කපිල බණ්‌ඩාර හේන්දෙණිය යන අය වන සංරක්‌ෂණ නිලධාරීන්ට බැණ අඬගසමින් තර්ජනය කර ඇති බව අනාවරණය වෙයි. එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා නකල්ස්‌ සංරක්‌ෂිත වනාන්තරයට අයත් කළුපහන ප්‍රදේශයේ එනසාල් වගාවන්හී අස්‌වනු නෙලා ගැනීමට වගාකරුවන්ට ඉඩ ලබා නොදීම ගැන වන නිලධාරීන් විවේචනයට ලක්‌කර ඇත. තවද ප්‍රාදේශීය සභා සභාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ කළුපහන ප්‍රදේශයේ එනසාල් වගාකරුවන්ට කරදර කළහොත් ඉදිරියේ පැවැත්වෙන දිස්‌ත්‍රික්‌ කමිටු රැස්‌වීම්වලට පැමිණෙන වන සංරක්‌ෂණ නිලධාරීන්ට පහරදී පළවාහරින බවයි. එසේම මාතලේ දිසා ලේකම්වරියද මෙහිදී වන සංරක්‌ෂණ නිලධාරින්ගේ සේවයට බාධාකාරී වන ලෙස අමනෝඥ අදහස්‌ දැක්‌වීමක යෙදී ඇත. මෙම තර්ජනය කිරීම සම්බන්ධව දැනටමත් මාතලේ දිසා වන නිලධාරී සුමිත්‍ර ගුණතිලක මහතාගේ උපදෙස්‌ පරිදි වන සංරක්‌ෂණ නිලධාරීන් මාතලේ පොලිසියේ පැමිණිල්ලක්‌ද සටහන් කර ඇත.

මේ පිළිබඳව අප කළ විමසීමකදී දුම්බර සංරක්‌ෂිත වනාන්තරය කේන්ද්‍ර කර ගනිමින් කටයුතු කරන දුම්බර මිතුරෝ පාරිසරික හා සංස්‌කෘතික සංගමය ප්‍රකාශ කළේ එනසාල් වගාව ප්‍රචලිත කිරීaම සඳහා බලහත්කාරයෙන් දේශපාලන්a අධිකාරිය මගින් මෙසේ ක්‍රියාකාරීමට තම බලවත් විරෝධය ප්‍රකාශ කරන බවය.

ශ්‍රී ලංකාවේ පිහිටා ඇති ඉතා සුවිශේෂී පාරිසරික කලාපයක්‌ වන නකල්ස්‌ වනපෙත ඉතා පොහොසත් පරිසර පද්ධති විවිධත්වයකින් හා ආවේණික ජීවී විශේෂ රැසකින් සමන්විත බව පෙන්වා දෙන දුම්බර මිතුරෝ පාරිසරික හා සංස්‌කෘතික සංගමය පෙන්වා දෙන්නේ මෙම අත්තනෝමතික හා අසාධාරණ ක්‍රියා කලාපය නිසා එකී වටිනාකම්ද ගිලිහී යන බවයි. මේ ආකාරයෙන් දුම්බර අඩවියේ කළුපහන ප්‍රදේශය නැවතත් එනසාල් වගාකරුවන්ගේ කෙළි මඬලක්‌ බවට පත්කිරීමෙන් දුම්බර අඩවියේ දියවර ප්‍රයෝජනයට ගෙන දැනට ක්‍රියාත්මක වන මොරගහකන්ද සහ කළුගඟ වාරි ව්‍යාපාරයන්ද ඵල රහිත වන බවද එම සංවිධානය අවධාරණය කරයි. ඒ මන්දයත් උක්‌ත වාරි ව්‍යාපෘතීන්ට දියවර සපයන කළුගඟ හා මහවැලි ගඟ පෝෂණය කරන හීන්ගඟ හා හුළුගඟෙA ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශය උක්‌ත දේශපාළුවන් විසින් වනසා දැමීමට අර අඳින දුම්බර කළුපහන ප්‍රදේශය වන බැවිනි.

මාතලේ සහ මහනුවර දිස්‌ත්‍රික්‌ක දෙකට අයත් දුම්බර (නකල්ස්‌) සංරක්‍ෂිත වනාන්තරය වර්ග සැතපුම් 62 ක්‌ පුරා පැතිරුණු අතිශය ජෛව විවිධත්වයකින් පොහොසත් කඳු මුදුන් 34 කින් යුත් ගිරිදුර්ග වලින්ද පොහොසත් ප්‍රදේශයකි. සමස්‌ත ලෝකයෙන්ම දුම්බර වනාන්තරයේ පමණක්‌ වාර්තා වන මත්ස්‍ය විශේෂ තුනක්‌, කටුස්‌සන් විශේෂ තුනක්‌, කැළෑ හූනන් විශේෂයක්‌ හා ගෙම්බන් විශේෂ හතකට මෙන්ම දුර්ලභ හා ආවේණික ශාක විශේෂ රැසකටද දුම්බර අඩවිය වාසභූමි සපයයි. මුළු ලෝකයෙන්ම දුම්බර කඳුකර වනාන්තරයට පමණක්‌ සීමා වී ඇති දුම්බර කුරු කටුස්‌සා, දුම්බර අංකටුස්‌සා හා පෙතියාගොඩගේ දුම්බර කොඳු දැති රහිත කටුස්‌සා ඇතුළු වඳවී යැමේ තර්ජනයට ලක්‌වී ඇති සත්ව හා ශාක විශේෂ රැසකට වාසභූමි සපයන දුම්බර කළුපහන ප්‍රදේශය කලකට ඉහත එනසාල් වගාව මුවාවෙන් මෙම වනපෙතට ඇතුළු වී මහත් විනාශයන් රැසක්‌ සිදු කර විනාශකාරින්ගෙන් බේරා ගැනීමට පරිසරයට ලැදි සැමට විශාල වෙහෙසක්‌ දැරීමට සිදුවිය. නමුත් එසේ රැකගැනීමට කටයුතු කළ දුම්බර වනපෙත නැවත වරක්‌ අරාජික කිරීමට ඇතැම් අමන හා තකතීරු දේශපාලකයන් දරණ තැත පිළිකුල් සහගතය. ඊට හූමිටි තබන නිලධාරි පැලැන්තියද ලඡ්ජා සහගතය. සොබාදහමට හිතැති අප සියල්ලෝම බලකළ යුත්තේ මෙම විනාශයෙන් දුම්බර අඩවිය ආරක්‌ෂා කරගෙන මතු පරපුර වෙනුවෙන් සුරක්‌ෂිත කර තැබීමය. සියලුම පාලක කාරකාදීන්ගේ යුතුකම හා වගකීමද එයම වේ.


ටී. ජී. එස්‌. එල්. ප්‍රකාශ්

ඡායාරූප - දුම්බර මිතුරෝ පරිසර හා සංස්‌aකෘතික සංගමය

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.