අද සිට දින 3ක්‌ පරිපූරක වෛද්‍ය වෘත්තික වර්ජන

ඒමන්ති මාරඹේ

සේවා ඉල්ලීම් 2 ක්‌ මුල්කරගෙන රජයේ රෝහල් පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් ද අද (06 දා) සිට අනිද්දා (08 දා) දක්‌වා අදියර තුනකින් දීපව්‍යාප්ත වැඩවර්ජනයක්‌ ක්‍රියාත්මක කරන බව පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්‌ඩලය පවසයි.

පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ සම සෞඛ්‍ය සේවා උපාධිය කප්පාදු කිරීම නතර කිරීම හා ප්‍රමාද වෙමින් පවතින එම වෘත්තිකයන්ගේ උසස්‌වීම් ලබාදීම යන ඉල්ලීම් මුල්කරගෙන මෙම වර්ජනය හා උද්ඝෝෂණය ක්‍රියාත්මක කෙරේ.

මේ අනුව අද (06 දා) දිනයේ සිට උතුරු, නැගෙනහිර, උතුරුමැද යන පළාත්වල රජයේ රෝහල්වල සේවය කරන රජයේ ඖෂධවේදීන්, විකිරණ ශිල්පීන්, වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥයන් (එම්. එල්. ටී.), භෞතවේදී චිකිත්සකයන් (µsසියෝතෙරපිස්‌ට්‌ස්‌) හා වෘත්තීයවේදී චිකිත්සකයන් වර්ජනයේ යෙදෙන අතර හෙට දිනයේ (07 වැනිදා) ඌව, වයඹ හා සබරගමුව යන පළාත් රෝහල්වල සේවය කරන එම වෘත්තිකයෝ වර්ජනයට එක්‌වෙති.

අනිද්දා (08 දා) දිනයේ ඉහත කී පළාත් හයෙහි එම වෘත්තිකයන් සමඟ බස්‌නාහිර, දකුණු හා මධ්‍යම පළාත් රජයේ රෝහල් පරිපූරක වෛද්‍ය වෘත්තිකයෝ ද එක්‌ව දීපව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වන බව පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්‌ඩලයේ ලේකම් සමන් ජයසේකර මහතා "දිවයින" ට පැවසීය.

වර්ජනය ක්‍රියාත්මක වන රෝහල්වල හදිසි සේවාවන් පමණක්‌ සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව ජයසේකර මහතා කීවේය.

වර්ජනයේ නිරත වන පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් අද (06 දා) දහවල් 12 ට කොළඹ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභා ගොඩනැඟිල්ල ඉදිරිපිට ද අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටද උද්ඝෝෂණයක නිරත වන බව ඔහු කීවේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.