වර්ජනය අත්හළ නර්ස්‌ලා තර්ජන මැද වැඩට එති
ආරක්‍ෂාවට පොලිස්‌ මුර


අජිත් අලහකෝන්

වැඩ වර්ජනය අත්හළ හෙද හෙදියෝ වර්ජනයේ නිරත හෙද හෙදියන්ගේ තර්ජන හා බාධා කිරීම් මැද ඊයේ (05 දා) රෝහල් රැසක සේවය සඳහා වාර්තා කළහ.

සේවයට වාර්තා කරන හෙද හෙදියන්ගේ ආරක්‍ෂාවට කොළඹ ජාතික රෝහල සහ තවත් රෝහල් කිහිපයකට පොලිස්‌ ආරක්‍ෂාව යොදා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක්‌ "දිවයින"ට කීවේය.

එහෙත් උතුරු කොළඹ ශික්‍ෂණ රෝහල (රාගම) සහ දකුණු කොළඹ ශික්‍ෂණ රෝහල (කළුබෝවිල) ඇතුළු රෝහල් කිහිපයක ඊයේ සවස වන විට ද හෙද හෙදියන් සේවයට වාර්තා නොකිරීම නිසා රෝගීන් දැඩි අපහසුතාවන්ට ලක්‌වූ බව එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

සූතිකා පුහුණුව ලබා දෙන ලෙස ඉල්ලා හෙද හෙදියන් විසින් පසුගියදා ආරම්භ කළ අඛණ්‌ඩ වැඩ වර්ජනයෙන් රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමය ඉවත් වන බව එම සංගමයේ සභාපති මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියෝ පෙරේදා (04 දා) දැනුම් දුන්හ. එහෙත් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය අඛණ්‌ඩව වර්ජනය සිදු කරන බව එහි සභාපති සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කර තිබිණි.

ඒ අනුව වර්ජනය අත්හළ රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමයේ සාමාජිකත්වය දරන හෙද හෙදියන් ඊයේ උදැසන සිට රෝහල්වල සේවයට වාර්තා කිරීමට පැමිණෙද්දී හෙද නිල නිවාස හා රාජකාරිය සඳහා අත්සන් තබන ස්‌ථානවලදී ඇතැම් පුද්ගලයන් ඔවුන්ට බාධා කර ඇතැයි එම රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කර සිටී.

අපේ අය සේවයට වාර්තා කරන්න යද්දී සමන් රත්නප්‍රියගේ සංගමයේ හෙද හෙදියෝ අපේ අයට බාධා කරනවා. තර්ජනය කරනවා. කුණුහරුපෙන් බණිනවා කියා දැනුම් දුන්නා යෑයි රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියෝ "දිවයින"ට ඊයේ ප්‍රකාශ කළහ.

නෑ... නෑ... ඔය කතාව පට්‌ටපල් බොරුවක්‌. අපේ අය කිසිම කෙනෙක්‌ අනෙක්‌ අයට තර්ජනය කරන්න වත්, බාධා කරන්න වත් ගියේ නෑ" යෑයි සමන් රත්නප්‍රිය මහතා "දිවයින"ට කීවේය.

කෙසේ වෙතත් මෙම තර්ජන නිසා ඊයේ පෙරවරු 7.00 ට ඇරැඹි සේවා මුරය සඳහා කොළඹ ජාතික රෝහලට හෙදියන් වාර්තා නොකළ බව වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා කීවේය.

රෝහල් අධ්‍යක්‍ෂ මණ්‌ඩලය මීට මැදිහත් වී යම් යම් ක්‍රියාමාර්ග ගත් බව කී වෛද්‍ය රණවීර මහතා ඒ අනුව හෙද නේවාසිකාගාරය අසල සහ හෙදියන් සේවයට වාර්තා කර අත්සන් කරන ස්‌ථානවල ආරක්‍ෂාවට පොලිස්‌ නිලධාරීන් යෙදවූ බවද කීය.

සේවයට වාර්තා කරන සියලුම හෙද හෙදියන් සාදරයෙන් පිළිගන්නා ලෙසටත් ඔවුන්ගේ සිත් රිදෙන ආකාරයේ කිසිවක්‌ ප්‍රකාශ නොකරන ලෙසත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සියලුම වෛද්‍යවරුන්ට උපදෙස්‌ දුන් බවද වෛද්‍ය රණවීර මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව ඊයේ පස්‌වරු 1.00 ට ඇරැඹි වැඩ මුරය සඳහා ප්‍රමාණවත් හෙද නිලධාරීන් පිරිසක්‌ වාර්තා කළ බවද රාත්‍රි 7.00 ට ආරම්භ වන වැඩ මුරය සඳහා ඊට වඩා වැඩි පිරිසක්‌ වාර්තා කරනු ඇතැයි ද වෛද්‍ය රණවීර මහතා කීවේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.