ප්‍රධාන ජලාශවල ජල මට්‌ටම ඉහළට

මාතලේ විශේෂ - නිමල් ගුණතිලක

දිවයිනේ ප්‍රධාන ජලාශවල ජල මට්‌ටම ඊයේ (05 දා) වනවිට සියයට 41 ක්‌ දක්‌වා ඉහළ ගොස්‌ ඇති බව වාරිමාර්ග අධ්‍යක්‍ෂ (ජල කළමනාකරණ) ජානකී මීගස්‌තැන්න මහත්මිය පැවසුවාය. අනුරාධපුරය, කුරුණෑගල, පුත්තලම දිස්‌ත්‍රික්‌කවල ජලාශවල ජල මට්‌ටම පවතින වැසි සමග ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි.

අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ රාජාංගන ජලාශයේ වාන් දොරටු දෙකක්‌ අඩි 04 බැගින්ද, අංගමුව ජලාශයේ වාන් දොරටු දෙකක්‌ අඩි 04 බැගින් ඊයේ විවෘත කර කලාඔයට වැඩි ජලය නිකුත් කර ඇත.

කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ මීඔය පද්ධතියේ සියලුම ජලාශවල ජල මට්‌ටම ඉහළ යමින් පවතී. අඹකොළවැව ජලාශයේ වාන් දොරටු 02 ක්‌ අඩි 08 බැගින් විවෘත කර ඇත. අතරගල්ල, බතලගොඩ, මැඩියාව, මාගල්ල, උස්‌ගල, සියඹලන්ගමුව ජලාශවල ජල මට්‌ටම වාන් මට්‌ටම ආසන්නයේ පවතින බවද ජානකී මීගස්‌තැන්න මහත්මිය පැවසුවාය.

මීඔය පද්ධතියේ ජලාශවල ජල මට්‌ටම ඉහළ යාම නිසා මුදා හැරෙන ජලයෙන් පුත්තලම දිස්‌ත්‍රික්‌කයේ ඉඟිනිමිටිය සහ තබ්බෝව ජලාශවල ජල මට්‌ටමද ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පැවැසීය.

අනුරාධපුර, පුත්තලම, කුරුණෑගල දිස්‌ත්‍රික්‌කවලට පවතින වැසි සමඟ ජලාශවල ජල මට්‌ටම ඉහළ යාමෙන් වාන් දොරටු විවෘත කිරීමට සිදුවන බැවින් ඒ පිළිබඳව වඩාත් සැළකිලිමත් වන ලෙස ජලාශ අශ්‍රිතව සහ ජලය මුදා හැරෙන ජල මූලාශ්‍ර අවට පදිංචිකරුවන්ගෙන් ඉල්ලීමක්‌ කර ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.