බස්‌නාහිර පළමු ශේ්‍රණියේ
පුරප්පාඩු 400 තාමත් හිස්‌

නිලන්ත මදුරාවල

බස්‌නාහිර පළාත් සභාවට අයත් පාසල්වල පවතින පළමු ශේ්‍රණියේ පුරප්පාඩු හාරසියයකට අධික ප්‍රමාණය පිරවීම දිනෙන් දින ප්‍රමාද වීම නිසා එම පාසල්වලට ඇතුළත් වීමට සුදුසුකම් ලබා සිටින දරුවෝ මෙන්ම දෙමව්පියෝද දැඩි අපහසුතාවට පත්ව සිටිති.

මෙම පුරප්පාඩු සඳහා ආණ්‌ඩුකාර ලේකම් කාර්යාලය විසින් සකස්‌ කරන ලද නාමලේඛනය පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මේ වන විට නොසලකා හැර තිබේ. සුදුසුකම් නොමැති දරුවන්ද ඇතුළත් වූ එම නාම ලේඛනයේ සඳහන් අයෑදුම්කරුවන් පළමු ශේ්‍රණියට ඇතුළත් කරන්නැයි ආණ්‌ඩුකාර ලේකම් කාර්යාලය කළ දැනුම් දීම නොතකා හැරීම නිසා පළාත් අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කළ පී. එන්. අයිලප්පෙරුම මහතා එම තනතුරින් ඉවත් කිරීමට පළාත් ආණ්‌ඩුකාර අලෙවි මවුලානා මහතා පියවර ගත්තේය.

මේ අතර පවතින පුරප්පාඩු සඳහා සුදුසුකම් නොමැති දරුවන් ඇතුළත් කර ගැනීම සඳහා ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන් සේම තැරැව්කරුවන්ද වෙනම නාමලේඛන සකස්‌ කර ඇතැයි කලාප අධ්‍යාපන කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

මීගමුව අධ්‍යාපන කලාපයේ එලෙස සකස්‌ කරන ලද නාම ලේඛනයක්‌ අනුමත කර ගැනීම සඳහා අධ්‍යාපන කාර්යාලයකට අනුයුක්‌ත කර සිටින පාසල් කම්කරුවකු ඇතුළු පිරිසක්‌ මහත් පරිශ්‍රමයක්‌ දරමින් සිටිති. නුසුදුසු දරුවන්ද ඇතුළත් එම නාම ලේඛනය අනුමත කර ගැනීම සඳහා පසුගිය සතියේදී පළාත් අධ්‍යාපන කාර්යාලයට පැමිණ ඇතත් එය අසාර්ථක වී ඇත.

මෙම පුරප්පාඩු පිරවීමේදී නියම සුදුසුකම් ඇති අයෑදුම්කරුවන්ට අවස්‌ථාව ලැබෙන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් දෙමව්පියෝ මෙන්ම ගුරු වෘත්තීය සංගම් නියෝජිතයෝද දැඩි අවධානයෙන් පසුවෙති.

මෙම සතිය ඇතුළත පුරප්පාඩු පිරවීම සඳහා පියවර ගන්නා බව මේ පිළිබඳව අප කළ විමසුමකට පිළිතුරු දුන් පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ විමල් ගුණරත්න මහතා සඳහන් කළේය. එලෙස ඇතුළත් කිරීමේදී යළි සුදුසුකම් පරීක්‍ෂා කෙරෙන්නේදැයි කළ විමසුමට ඒ මහතා ප්‍රකාශ කළේ නියම සුදුස්‌සන් ඇතුළත් කිරීමට කටයුතු කරන බවයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.