නි. ඇමැති ලේකම්ගේ ඝාතනයට සැකපිට දෙදෙනෙක්‌ දැලේ

ගාල්ල - ලලිත් චාමින්ද සහ එස්‌. කේ. කළුආරච්චි
හා බෝගහගොඩ - ඩබ්ලිව්. ඒ. නිමල්

සුළු අපනයන භෝග කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්‌ටිගම මහතාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් විපුල වික්‍රමරත්න මහතාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙනකු හික්‌කඩුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

පෙරේදා (04දා) මෙම සැකකරුවන් දෙදෙනා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර මොවුන් හික්‌කඩුව කළුපේ හා මැදගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. මීට ඉහතදී මෙම ඝාතනයට සම්බන්ධ එක්‌ සැකකරුවකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

හික්‌කඩුව ඉන්ධන පිරවුම්හල තුළදී මුදල් මාරු කිරීමක්‌ සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක්‌ දුරදිග යැමෙන් පසු මියගිය තැනැත්තා තල්ලු කොට ඇත. එහිදී මොහුගේ හිස කොන්ක්‍රීට්‌ ලෑල්ලක්‌ මත වැදි බරපතළ තුවාල ලබා රෝහල් ගතකොට ඇත. මොහු කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස්‌ තිබේ.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර හික්‌කඩුව පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රසාද් මන්දනායක මහතාගේ මෙහෙයවීම යටතේ පරීක්‌ෂණ පැවැත්වේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.