ජාතික රෝහලේ බාහිර රෝගී අංශයට
චීන ආධාරයෙන් මහල් 10 ක නව ගොඩනැඟිල්ලක්‌


ජාතික රෝහලේ නව බාහිර රෝගී අංශය ඉදිකිරීම සඳහා චීන රජය මූල්‍යාධාර ලබාදීමට අදාළ අවබෝධතා ගිවිසුමට සෞඛ්‍ය ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක සහ චීන රජයේ වාණිජ අමාත්‍යාංශයේ පළමු ලේකම් ශෑන්ග් ලියුහා මහත්වරුන් අත්සන් තැබූ අවස්‌ථාව. ජාතික රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාද මෙහි සිටී.

ශ්‍රී ලංකාවේ ප්‍රධානම රෝහල සහ ආසියාවේ විශාලතම රෝහල වන කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ තිබෙන දැඩි තදබදය අවම කිරීම සඳහා නව ගොඩනැඟිල්ලක්‌ ඉදිකිරීමට මහජන චීන සමූහාණ්‌ඩුවේ සහයෝගය පළ වී ඇත.

සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉල්ලීමක්‌ පරිදි මහජන චීන සමූහාණ්‌ඩුව එම ගොඩනැඟිල්ල ඉදිකිරීම සඳහා රුපියල් දසලක්‍ෂ 13,400 ක මුදලක්‌ මූල්‍යමය පරිත්‍යාගයක්‌ වශයෙන් ලබාදීමට එකඟත්වය පළකර ඇත.

මෙම මූල්‍ය ප්‍රදානය ලබාදීම සඳහා මූලික එකඟතා ගිවිසුමට අත්සන් තැබීම පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සිදුවූ අතර ඊට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතාත්, චීන රජය වෙනුවෙන් එරට වාණිජ අමාත්‍යාංශයේ පළමු ලේකම් ශෑන්ග් ලියුහා මහතාත් අත්සන් තැබූහ.

මේ යටතේ කොළඹ ජාතික රෝහලේ දැනට ක්‍රියාත්මක බාහිර රෝගී අංශය වෙනුවට අංගසම්පූර්ණ නවීන පහසුකම්වලින් සමන්විත මහල් 10 කින් යුත් බාහිර රෝගී අංශ ගොඩනැඟිල්ලක්‌ ඉදිකිරීමට නියමිතය. එහි වාහන රථ ගාලක්‌ ඇතුළු ජනතාවගේ පහසුව පිණිස පහසුකම් රැසක්‌ ඇතුළත් වේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.