පරිභෝගික අධිකාරියට
මාස 3 ට කෝටි 2 ක දඩ ආදායමක්‌


ලසිත දුමින්ද

පාරිභෝගික අධිකාරිය ගත වූ මුල් මාස 3 ඇතුළත දිවයින පුරා සිදුකළ වැටලීම්වලින් රුපියල් කෝටි දෙකකට අධික දඩ ආදායමක්‌ උපයා ඇතැයි සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.

මෙම කාලය තුළ දිවයින පුරා වැටලීම් 21000 කට වැඩි ප්‍රමාණයක්‌ සිදුකර ඇති අතර, එමගින් පාරිභෝගික පනත උල්ලංඝනය කළ වෙළෙඳුන් 8340කට නඩු පවරා ඇත. එමගින් රුපියල් දෙකෝටි විසිතුන් ලක්‍ෂ හාරදහස්‌ අටසිය තිහක මුදලක්‌ උපයා ගෙන තිබේ.

මේ යටතේ මහනුවර දිස්‌ත්‍රික්‌කයේ වැටලීම් 1115 ක්‌ ද, කොළඹ 1025 ක්‌ ද, ගම්පහ 859 ක්‌ ද, පුත්තලම 400 ක්‌ ද හා කෑගල්ල 586ක්‌ ද වශයෙන් වැටලීම් සිදුකර තිබේ.

සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස්‌ මත පාරිභෝගික ජනතාවට උසස්‌ තත්ත්වයේ භාණ්‌ඩ ලබාදීමේ අරමුණින් දීප ව්‍යාප්ත වැටලීම් ආරම්භ කළ බව පාරිභෝගික අධිකාරිය සඳහන් කරයි.

මිනිස්‌ පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්‌ඩ සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමට 011-7755475 යන ක්‍ෂණික දුරකථන අංකයක්‌ ද පාරිභෝගික අධිකාරිය මගින් හඳුන්වාදී තිබේ.

මේ සඳහා ඕනෑම අයකුට පැමිණිලි කළ හැකි අතර, වැටලීමේ වටිනාකම අනුව තොරතුරු ලබා දෙන්නන්ට ත්‍යාග ලබාදීමට ද පාරිභෝගික අධිකාරිය පියවර ගෙන ඇත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.