අපේ න්‍යාය පත්‍රයට නැත්නම් සන්ධානය සමග අපි නෑ
ඇමැති විමල් වීරවංශ ජානිපෙ සමුළුව අමතමින් කියයි

සිරිමන්ත රත්නසේකර

ජාතික බලවේගයන්හි න්‍යාය පත්‍රය අනුව කටයුතු කිරීමට වත්මන් ආණ්‌ඩුව කටයුතු නොකරන්නේ නම් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය සමග තවදුරටත් සිය පක්‌ෂයේ ගමනක්‌ නැතැයි ජාතික නිදහස්‌ පෙරමුණේ නායක ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතා ඊයේ (05 වැනිදා) අවධාරණය කළේය.


මහින්ද චින්තන ප්‍රතිපත්තියත් රිගේනින් ශ්‍රී ලංකා ප්‍රතිපත්තියත් එක්‌ව යන දෙමුහුන් තත්ත්වයෙන් ආණ්‌ඩුව වහා මිදිය යුතු යෑයිද කී විමල් වීරවංශ මහතා ජාතික ව්‍යපාර විසින් ගොඩ නැගූ නායකයකුට වෙන මඟකට යා දිය නොහැකි බවද කියා සිටියේය.

මහින්ද චින්තනය "ලෝවේ" යන්නත් යළි පුබුදමු ශ්‍රී ලංකා ප්‍රතිපත්තිය "හයිවේ" යන්නත් හේතුව කුමක්‌දැයි ප්‍රශ්න කළ විමල් වීරවංශ මහතා ආර්ථික ඝාතකයින් සමඟ මහින්ද චින්තනය මෙසේ ඉදිරියට යා හැකිදැයි වැඩිදුරටත් ප්‍රශ්න කළේය.

ආණ්‌ඩුව දක්‌වන ප්‍රතිචාර අනුව සිය පක්‌ෂය ඉදිරියේදී කටයුතු කරන ආකාරය තීරණය වනු ඇති බවත් තනියෙන් සිට ගන්න පක්‌ෂය කිසිවිටකවත් බයක්‌ නොමැති බවත් සඳහන් කළේය.

ආණ්‌ඩුව වෙනස්‌ වන්න කැමැති නම් ආණ්‌ඩුව සමග ඉදිරියට යන බවත් එසේ නොමැතිනම් "මහත්වරුණි, ඔබ ඔබේ ගමන යන්න, අප අපේ ගමන යන්නම්" යෑයිද හෙතෙම කියා සිටියේය.

ආණ්‌ඩුව ජාතික බලවේගයන්ගේ බලය අවතක්‌සේරු නොකළ යුතු යෑයි කී වීරවංශ මහතා එම බලවේග කාගේවත් බූදලයක්‌ නොවන බවත් කියා සිටියේය.

හෙතෙම ඊයේ (05 වැනිදා) එම අදහස්‌ පළ කළේ ජාතික නිදහස්‌ පෙරමුණේ දෙවැනි ජාතික සමුළුව කොළඹ සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේ පැaවැති අවස්‌ථාවේ ප්‍රධාන දෙසුම පවත්වමිණි.

මෙම සමුළුවේදී එම පක්‌ෂය විසින් ජනාධිපතිවරයා සමග සන්ධාන ආණ්‌ඩුව හමුවට හදිසි ප්‍රතිසංස්‌කරණ යෝජනා 12 ක්‌ ඉදිරිපත් කළ අතර එම යෝජනා පහත පරිදි වේ.
 

01. වර්තමානයේ උද්ගතව ඇති නව දෙමළ ඊළාම් මෙහෙයුම මනා ලෙස වටහා ගනිමින් ශ්‍රී ලංකාවේ ඒකීයභාවය සනාථ කළ හැකි, බෙදුම්වාදය තීරණාත්මකව පැරදවිය හැකි, ජාතික සමගිය හා සංහිඳියාව තහවුරු කිරීමට සමත්, ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් පුළුල් කරන සහ යහපාලනය තහවුරු කරන ජනතා හිතවාදී නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා කෙටුම්පතක්‌, මහජනතාව හමුවට ඉදිරිපත් කළ යුතුය. එම කෙටුම්පත මනා ජනතා සංවාදයකින් අනතුරුව සුදුසු වෙනස්‌කම් සහිතව ශ්‍රී ලංකාවේ මූලික නීතිය බවට පත් කරනු පිණිස ඇවැසි පියවර ගතයුතු බව සහ මේ සඳහා මෑතකදී රට හමුවේ තබන ලද බෞද්ධ පුනර්ජීවන කමිටු නිර්දේශ යොදාගත යුතු බව මෙම ජාතික මහා සමුළුව ආණ්‌ඩුවට යෝජනා කර සිටියි.

02. ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් සමුළුවේදී සම්මත කළ "2014 ඇමරිකානු යෝජනාවලිය" මෙම ජාතික මහා සමුළුව දැඩි ලෙස හෙළා දකින අතර එම යෝජනාවලිය මගින් නියම කොට ඇති ජාත්‍යන්තර යුද අපරාධ විමර්ශන යාන්ත්‍රණය සඳහා පත් කරනු ලබන කිසිදු ජාත්‍යන්තර ඒජන්තවරයකුට ශ්‍රී ලංකා භූමියට පය ගැසීමට ඉඩ ලබා නොදිය යුතුය.

03. ශ්‍රී ලංකාවේ ව්‍යවස්‌ථාවට සහ නීති පද්ධතියට අනුව දැනට සිදු කෙරෙමින් පවතින පරීක්‍ෂණ සහ අනාගතයේදී ක්‍රියාත්මක කිරීමට දැනටමත් සැලසුම් කොට ඇති ජාතික සමගියට සහ ප්‍රතිසන්ධානයට අදාළ ක්‍රියාකාරකම් හැරුණු විට ජාත්‍යන්තර බලපෑම් මත කිසිදු විමර්ශනයක්‌ හෝ පරීක්‍ෂණයක්‌ ආරම්භ නොකළ යුතුය.

04. ශ්‍රී ලංකාවේ සිංහල, දෙමළ, මුස්‌ලිම් සියලු ජනතාව මත බලහත්කාරයෙන් පැටවූ බෙදුම්වාදී දහතුන්වන ව්‍යවස්‌ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම හෝ තවදුරටත් සංශෝධනය කිරීම මත පදනම්ව කිසිදු පාර්ශ්වයක්‌ සමග රජය නිල වශයෙන් සාකච්ඡා නොකළ යුතු බව සහ බලය බෙදීම හෝ ප්‍රතිසන්ධානය නාමයෙන් පහසුකම් සැලසීම හෝ සාකච්ඡා කිරීම සඳහා දකුණු අප්‍රිකාව හෝ වෙනත් කිසිදු බාහිර රාජ්‍යයකට හෝ පාර්ශ්වයකට මැදිහත්වීමට ඉඩ ලබා නොදිය යුතුයි.

05. ශ්‍රී ලංකාවට සතුරු ජාත්‍යන්තර සංවිධාන සහ පාර්ශ්ව සමග ගනුදෙනු කරන සහ තොරතුරු ලබා දෙන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලන පක්‍ෂ සහ රාජ්‍ය නොවන සංවිධානවල නායකයන්ට එරෙහිව තරාතිරම නොබලා රටේ නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතුය.

06. ආගමික සහජීවනය හා ජනකොටස්‌ අතර සමඟියට එරෙහිව කටයුතු කරන විදෙස්‌ ආධාර ලබන ආගමික ස්‌වරූපයේ මූලධර්මවාදී සැක කටයුතු සංවිධානවල ක්‍රියාකාරීත්වය නතර කිරීමට වහාම පියවර ගත යුතු බව සහ ආගමික සංහිඳියාවට හා ජනකොටස්‌ අතර සමඟියට එරෙහි වන කවර ස්‌වරූපයේ සංවිධානයක්‌ සම්බන්ධව වුව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.

07. යටිතල පහසුකම් සහ නාගරික සංවර්ධන ක්‍ෂේත්‍රයේ ශ්‍රී ලංකාව අත්පත් කරගෙන ඇති ජයග්‍රහණ තවදුරටත් ආරක්‍ෂා කර ගනිමින් රටේ මූල්‍ය සම්පත්වලින් සාධාරණ ප්‍රතිශතයක්‌, අලෙවි කළ හැකි පාරිභෝගික ද්‍රව්‍ය නිපදවීමේ කර්මාන්ත පද්ධතියක්‌ ගොඩනැඟීම සඳහා ආයෝජනය කළ යුතු බව සහ ඒ සඳහා පෞද්ගලික අංශය ද දායක කර ගැනීම සඳහා නිශ්චිතව හඳුනාගත් කර්මාන්ත ක්‍ෂේත්‍රවල විශේෂ දිරිගැන්වීම් සහ මූල්‍ය උපාංග හඳුන්වාදිය යුතුය.

08. බීජ පනත මගින් ගොවියාගේ බීජ අයිතිය බහුජාතික සමාගම් වෙත පැවරීම, බහුජාතික කිරිපිටි සහ පාන්පිටි සමාගම්වලට මෙන්ම සහල් ආනයනය කරන සමාගම්වලට බදු සහන ලබා දෙමින් දේශීය කෘෂිකර්මාන්තය දුර්වල කිරීම සහ කෘෂි රසායන ආනයන සමාගම්වලට සහන දෙමින් ගොවියා ආර්ථික සහ ශාරීරික වශයෙන් ලෙඩ කරන සහ පරිසරයට වින කරන නිලධාරීවාදී ආර්ථික ඝාතන පියවර ආපසු හැරවීම මගින් ජාතික ආර්ථිකය ශක්‌තිමත් කිරීම සඳහා වහා පියවර ගත යුතු බව මෙන්ම බහුජාතික සමාගම්වලට ලබාදී ඇති සහන අත්හිටුවා එම අරමුදල් සියල්ල ගොවි ජනතාවට Rජු සහනාධාර ලබාදීම සඳහා යෙදවීම.

09. සදාචාරමය හා සංස්‌කෘතිකමය වශයෙන් සමාජයේ සිදුව ඇති පරිහානිය කෙරෙහි ගැඹුරු අවධානය යොමු කර ගෞරවනීය මහා නායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේලා සහ අන්‍ය ආගමික නායකයන් මෙන්ම මාධ්‍ය, අධ්‍යාපන ආදී අදාළ වන අනෙකුත් රාජ්‍ය ආයතන ඇතුළත් පුළුල් මණ්‌ඩලයක්‌ පිහිටුවා එමගින් ලැබෙන නිර්දේශ ක්‍රියාවට නැඟීමට කඩිනමින් පියවර ගතයුතු බව සහ ශ්‍රී ලංකාව තුළ තවදුරටත් කැසිනෝ වැනි මහා පරිමාණ සූදු, ඔන්ලයින් හෙවත් ඉලෙක්‌ට්‍රොනික සූදු සහ ඒ ආශ්‍රිත දුරාචාර ව්‍යාප්ත වීමට නොහැකි වන පරිදි අවශ්‍ය නීතිමය ප්‍රතිසංස්‌කරණ සිදු කළ යුතු අතර කැසිනෝ වැනි සූදු සහ දුරාචාර ඇතුළත් වන පරිදි කවර ආයෝජනයකටවත් බදු සහන ලබාදීම නොකළ යුතයි.

10. චීනය සමග එළඹීමට යෝජිත නිදහස්‌ ආර්ථික ගිවිසුම කඩිනමින් අත්සන් කළ යුතු බව සහ ඒ යටතේ ශ්‍රී ලාංකික නිෂ්පාදන සඳහා විවෘත වන චීන වෙළෙඳපොළ ජයගැනීමට සමත්, නව ව්‍යවසායක පරපුරක්‌ බිහිකිරීම.

11. රටේ යහපාලනය තහවුරු කිරීම සහ දූෂණ වංචා අවම කිරීම කර මහජන විශ්වාසය දිනාගැනීමේ පළමු පියවර ලෙස සියලුම මහජන නියෝජිතයන්ගේ සහ උසස්‌ රාජ්‍ය නිලධාරීන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ බාධාවකින් තොරව ඕනෑම අවස්‌ථාවක මහජනයාට ලබාගත හැකි ක්‍රමවේදයක්‌ සකස්‌ කළ යුතුයි.

12. මත්ද්‍රව්‍ය ජාවාරම සහ ඒ ආශ්‍රිතව පාතාල කණ්‌ඩායම් විසින් සිදු කරන මහා පරිමාණ අපරාධ මැඬලීම සඳහා පවතින නීතිමය රාමුව යටතේ පොලිසිය සහ යුද හමුදාව යොදා ගනිමින් ඒකාබද්ධ කාර්යක්‍ෂම යාන්ත්‍රණයක්‌ පිහිටුවිය යුතු බව සහ එම අපරාධ සඳහා වැරදිකරුවන් වන අයට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු බව මෙම මහා සමුළුව ආණ්‌ඩුවට යෝජනා කර සිටියි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.