රෝගීන් මෑණිවරුන් දරුවන් බිල්ලට ගෙන
කරන වැඩවර්ජන නතර කරන්න
ඉපදෙන්න සිටින අහිංසක දරුවන්
වෙනුවෙන් ප්‍රශ්නය විසඳ ගන්න

ජනපති මහින්ද රාජපක්‍ෂ කියයි


මහරගම- උදේනි චන්ද්‍රසිරි

රෝගීන්, මෑණිවරුන් විශේෂයෙන් දරුවන් බිල්ලට ගෙන කරන වැඩවර්ජන නතර කරන්න. අපේ ආණ්‌ඩුව සංවේදී ආණ්‌ඩුවක්‌. අපේ සෞඛ්‍ය ඇමැතිතුමා හොඳ සංවේදී ඇමැතිවරයෙක්‌. එයත් සමග සාකච්ඡා කර අනාගතයේ ඉපදෙන්න ඉන්න අහිංසක දරුවන් වෙනුවෙන් මේ ප්‍රශ්නය විසඳගන්න යෑයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

ජාත්‍යන්තර පවුල් සෞඛ්‍ය දිනය සැමරීම නිමිත්තෙන් රත්මලානේ බෙල්ලන්තොට ලේක්‌ සයිඩ් ශාලාවේ ඊයේ (05 වැනිදා) පැවැති රැස්‌වීමේදී ජනාධිපතිවරයා මෙම අදහස්‌ ප්‍රකාශ කළේය.

මෙම අවස්‌ථාවට අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන, බස්‌නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍ය රංජිත් සෝමවංශ, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් පාලිත මහීපාල, රාජ්‍ය සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති ඩබ්. එච්. පියදාස, පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්‌කු යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.

ජනාධිපතිවරයා එහිදී මෙසේද පැවසීය.

වැඩවර්ජනය නොකරන සේවාවක්‌ හැටියටයි මෙම සේවය සැලකුණේ. එහෙත් ඊයේ පෙරේදා ඉඳල වැඩ වර්ජනයේ නිරත වී සිටින බව අසන්නට ලැබුණා. මෙම වර්ජනයට අපේ සම්බන්ධයක්‌ නැහැ. සංගම් සංගම් අතර ප්‍රශ්නයක්‌ මුල් කරගෙනයි මෙම වර්ජනය ඇති වී තියෙන්නේ. මේවා සාකච්ඡාවෙන් විස¹ ගන්න පුළුවන්.

ලෝක පවුල් සෞඛ්‍ය දින සැමරුමට සහභාගි වන හතර වැනි වතාව. එසේ සහභාගිවීමට හේතුවක්‌ වන්නේ ඔබ ලෝකයෙන් මේ රටට විශාල ගෞරවයක්‌, දැවැන්ත කීර්තියක්‌ ගෙනත් තිබීම. ළදරු මරණ සංඛ්‍යාව හා මාතෘ මරණ සම්බන්ධයෙනුත් බලන විට ඒවා අඩුකර ගැනීම සම්බන්ධයෙන් සංසන්දනාත්මකව ආසියාවේ ඉහළම තැනක අපි ඉන්නවා. සමහර දියුණු රටවල මීට වඩා ළදරු හා මාතෘ මරණ සංඛ්‍යාව වාර්තාවීම් වැඩියි. මේ සේවය අගයන්නට, අපේ රට අගයන්නට හේතුව ඔබේ සේවය බව අපි බොහොම පැහැදිලිව කියනවා.

මම රටවල් කිහිපයකට ගිය අවස්‌ථාවලදී ඔවුන් මගෙන් ඉල්ලා සිටියා ඔබේ සේවය පිළිබඳ කටයුතු කරන ආකාරය අධ්‍යයනය කරන්නට ඔවුන්ට අවස්‌ථාව ලබාදෙන්න කියලා. මේ සේවාවට ලොකු ඉතිහාසයකුත් තියෙනවා. ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය සේවාව වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෙලා වසර අසූවක්‌ අනූවක්‌ වුණාට ඊට වඩා ඉතිහාසයක්‌ තිබෙනවා. කාසල් රෝහල ආරම්භ කළ කාලයේදීත් වින්නඹු මාතාවන්ට පුහුණුව ලබා දුන්න බව ඒ රෝහල් ඉතිහාසයේ සඳහන් වෙනවා.

මහා දාර්ශනික සොක්‍රටීස්‌ගේ මවත් පවුල් සෞඛ්‍ය සේවිකාවක්‌ කියලා එදා ඉතිහාසයේ සඳහන් වෙනවා. මේ සේවාව ඉතාමත් වැදගත් සේවාවක්‌ වශයෙන් අපිට ආඩම්බර වෙන්න පුළුවන්. පවුල් සෞඛ්‍ය සේවාව ඉතාමත් කාරුණික සේවාවක්‌ හැටියටයි නිතර මතක්‌ වෙන්නේ. මවට හා කුසේ ඉන්න දරුවාට වඩාත් කිට්‌ටුවන පුද්ගලයා ඔබයි. අතීතයේ ඔබට කිව්වේ වින්නඹු අම්මා කියලා ගෞරවයෙන් කතා කළා. යම් සේවයකට අම්මා කියලා කතාකරන්නේ එය අත්‍යවශ්‍යම ගෞරවනීය සේවයක්‌ බවට පත්වුණාම. අම්මා කියන ඒ වචනය තුළම ඔබේ සේවාව මොකක්‌ද? ඔබ කොයි වගේ ආදරයක්‌ ද, ගෞරවයක්‌ ද ලබන්නේ කියලා කියවෙනවා.

ලෝකයේ හොඳම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය බවට පසුගිය වසරකදී අපේ නිලධාරිනියක්‌ පත් වුණා. ඒකෙන්ම පෙනෙනවා මේ ලංකාව තුළින් මොනතරම් දක්‍ෂ වැදගත් නිලධාරීන් බිහිවෙනවා ද කියලා. ඔවුන්ගේ සේවය අගයනවා. ළදරු උපත් මරණ ප්‍රමාණය අඩුකිරීම තමයි මේ සම්මාන ලැබීමට හා ඉහළම කීර්තියක්‌ ලබන්නට හේතු වුණේ. මේවා පිළිබඳව අවබෝධ කරගෙන ඔබ කටයුතු කිරීම අපට විශාල ශක්‌තියක්‌. මේ නිසාම තමයි අපි නිතරම මේ සම්මේලනයට සම්බන්ධ වෙන්නේ.

මේ රටේ සෞඛ්‍ය සඳහා දරන වියදම් බැලුවොත් අප රජය අවුරුද්දෙන් අවුරුද්දට විශාල මුදල් ප්‍රමාණයක්‌ සෞඛ්‍ය සේවාව සඳහා වෙන් කරනවා. අපි බොහොම පැහැදිලිව අපට කරන්න පුළුවන් හැම සේවයක්‌ම මේ ක්‍ෂේත්‍රයට සිදුකරනවා. ඒ වගේම මේ ක්‍ෂේත්‍රයේ ඉහළම තලයේ සිට පහළට සිදුවෙලා තිබෙන සංවර්ධනය ඔබට පෙනෙනවා ඇති. ත්‍රස්‌තවාදය අවසන් කළාට රට සංවර්ධනය කරන්න බැහැ කියලා සමහරු කිව්වා. දැන් කියනවා පාරවල්, පාලම්, බෝක්‌කු හදලා රට සංවර්ධනය කරන්න බැහැ කියලා. නමුත් අද හැම අංශයකින්ම අපි දියුණු වෙලා තිබෙනවා. අද ඔබ ඉන්න මේ ශාලාව ත්‍රස්‌තවාදයට එරෙහිව කටයුතු කළ ගුවන් හමුදාව විසින් හදපු ශාලාවක්‌. හැම අංශයක්‌ ගැනම අපි බලලා තිබෙනවා. අද මෙතැනට එන්න කලින් මම යුද හමුදාව වෙනුවෙන් හදපු රෝහලක්‌ විවෘත කළා. එහි ඇඳන් 1024 ක්‌ තිබෙනවා. ලංකාවේ මෑත හදපු ලොකුම රෝහල එයයි. සියලු පහසුකම් තිබෙනවා. ඒ විදිහට තමයි අපි වැඩ කරලා තිබෙන්නේ.

ඔබට ඒ සංවර්ධනය පෙනෙනවා. එය දුටුවාම මේවා කඩාකප්පල් කරන්න, මේ රජයන් පෙරළන්න, රට අස්‌ථාවර කරන්න, රට වෙනත් රටවල්වලට පාවා දෙන්න කටයුතු කරන සමහරුන් ඉන්නවා. අපි ඒ අයගෙන් පරෙස්‌සම් වෙන්න ඕනෑ. එසේ නැත්නම් ප්‍රගතිශීලී ආණ්‌ඩු පෙරළපු ඉතිහාසය අපි දන්නවා. එය නැවත ඇතිකරන්න ඉඩ දෙන්න පුළුවන්කමක්‌ නැහැ. මේ ආණ්‌ඩුව ජනතාවගේ අවශ්‍යතාවයන් හඳුනාගෙන කටයුතු කළ ආණ්‌ඩුවක්‌. මේ සම්පත් විකුණා දමපු යුගයක ඒ සම්පත් නැවත ලබාගත් ආණ්‌ඩුවක්‌. එවැනි ආණ්‌ඩුවක්‌ තුළ වැඩ කරන්න සියලු වෘත්තීය සමිතිවලට හැකිවිය යුතුයි.

අප දන්නවා 80 වැඩ වර්ජනය කළ අයට සලකපු හැටි. "ඵලගත් අතු නසා ඵල කන්නවුන් විලසා" කියලා බුදුගුණ අලංකාරයේ කියලා තිබෙනවා. ඒ කියන්නේ ගෙඩි හැදෙන අතු වනසා ගෙඩි කන එක හොඳ දෙයක්‌ නොවෙයි කියලා. ඒ වගෙයි ආණ්‌ඩුවත්. මේ වගේ වරප්‍රසාද ලබාදෙන ආණ්‌ඩුවක්‌ විනාශ කරන්න හදලා වරප්‍රසාද ලබාගන්න සූදානම් වෙනවා නම් එයත් ඵල ගත් අතු නසා ගෙඩි කනවා වගේ වැඩක්‌ ලෙසයි අපි දකින්නේ. මේ තත්ත්වය තේරුම් ගෙන කටයුතු කරන්න අපේ වෘත්තීය සමිති නායකයන් කටයුතු කරයි කියා මම විශ්වාස කරනවා. වෙනත් බලවේගවලට, වෙනත් උවමනාවලට, පිටරැටියන්ගේ අවශ්‍යතාවන්වලට අනුව ඒ පදයට අනුව කටයුතු කරන්න ඉන්න අයට අපි කියන්නේ එය රටට, ජාතියට කරන ෙද්‍රdaහී ක්‍රියාවක්‌ ලෙසයි අපි දකින්නේ.

මේ අවස්‌ථාවට මට ආරාධනා කිරීම පිළිබඳව මම නැවතත් ස්‌තුතිවන්ත වෙනවා. මමත් වෘත්තීය සමිතිවල හිටපු කෙනෙක්‌. එහෙමයි අපි 1970 මැතිවරණයට ආවෙත්.

සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා - පවුල් සෞඛ්‍ය සේවිකාවන් ඉතාමත් දුෂ්කර වූ රැකියාවකයි නියෑළී සිටින්නේ. අව් වැසි නොබලා ගමින් ගමට ගොසින් මෙම සේවාවේ නියෑලී සිටීමට ඔබට සිදු වෙනවා. ඔබගේ සේවාව ඉටු කිරීම වෙනුවෙන් ආණ්‌ඩුව විසින් භෞතික හා මානව සම්පත් පුළුවන් තරම් ලබාදී තියෙනවා. එම සම්පත් සමග ජනතා සේවාව ඉටු කිරීමට ඔබ කැපවී සිටිනවා. මෙතෙක්‌ කළ ඉල්ලීම් මම ඉටු කළා.

රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති ඩබ්. එච්. පියදාස මහතා - අපේ රටේ සෞඛ්‍ය සේවාව කිසිදු රටක සෞඛ්‍ය සේවාවට දෙවැනි වන්නේ නැහැ. ළදරු මරණ සංඛ්‍යාව ලක්‍ෂයකට එක දක්‌වා පවත්වා ගැනීමයි අපේ පරමාර්ථය හා බලාපොරොත්තුව. මෙම සේවාවට කිසිදු හානියක්‌ සිදුවීමට වෘත්තීය සමිතියක්‌ හැටියට අපි ඉඩ දෙන්නේ නැහැ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.