පොලිස්‌ වෙස්‌ගත් අයෙක්‌ ඇතුළු පිරිසක්‌
වැල්ලවත්තේදී ව්‍යාපාරිකයා බියගන්වා
රු. ලක්‍ෂ 4 1/2 ක්‌ කොල්ලකති


ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සචිත්‍ර ඇල්වලගේ

මාළු මිලදී ගෙන ඒමට වැල්ලවත්ත මුහුදුබඩ පාරේ ලොරියකින් ගමන් කරමින් සිටි ව්‍යාපාරිකයකු බියගන්වා ඔහු සතුව තිබූ රුපියල් ලක්‍ෂ හතරහමාරක මුදලක්‌ කොල්ලකා පලාගිය ව්‍යාජ උප පොලිස්‌ පරීක්‍ෂකවරයකු ඇතුළු සිව්දෙනකු අත්අඩංගුවට ගැනීමට වැල්ලවත්ත පොලිසිය පුළුල් පරීක්‍ෂණයක්‌ ආරම්භ කර ඇත.

මෙම මංකොල්ලය ඊයේ (05 වැනිදා) අලුයම 4.30 ට පමණ සිදුවී තිබිණි.

මාළු ව්‍යාපාරිකයා මොරටුවේ සිට වැල්ලවත්තට මාළු මිලදී ගැනීමට මුහුදුබඩ පාර ඔස්‌සේ ලොරිය ධාවනය කරන විට ලොරි රථය පසුකරගෙන ගිය මෝටර් රථයක්‌ මඟ හරස්‌ කර නතර කර තිබේ.

එහිදී ඉන් බැසගත් පොලිස්‌ නිල ඇඳුම් ඇඳගත් ව්‍යාජ උප පොලිස්‌ පරීක්‍ෂකවරයා හා සිවිල් ඇඳුම් ඇදගත් තිදෙනා මාළු ව්‍යාපාරිකයාට පිහි පෙන්වා බිය කර මුදල් බෑගය රැගෙන මෝටර් රථයෙන් පලාගොස්‌ ඇතැයි පැවැසේ.

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක්‌ කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති අතර මේ සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදුකරයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.