අලි සොරුන්ට කළ කම් පළදෙන තුරු...

අලි හොරුන්ගේ අමන ක්‍රියාකලාපයේ කූටප්‍රාප්තිය ලෙස හැඳින්විය හැකි වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ තිබූ හීලෑ අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ ලේඛනයක්‌ අස්‌ථාන ගතවීමේ සිද්ධිය කිසිදු විමර්ශනයකින් හෝ වැරදිකරුවන් අල්ලා ගැනීමකින් තොරව කෙළවර විය. එහි ප්‍රතිඵලයක්‌ ලෙස අලි ජාවාරම්කරුවන් තවදුරටත් නොනවත්වාම තම කටයුත්ත සිදුකරගෙන ගිය බවට කදිම සාක්‍ෂියක්‌ වූයේ ඉකුත් පෙබරවාරි 05 වැනිදා මහව කෝන්වැව මී ඔය රක්‍ෂිතයේදී ගස්‌ බැඳ සිටි කුඩා අලි පැටවෙකු සොයාගැනීමට මහව වනජීවි කාර්යාලයේ නිලධාරීන්ට හැකි වීමයි.

වනජීවි නිලධාරීන්ට වෙඩි තැබීමෙන්ද පසු සැකකරුවන් පැන ගියද කුඩා අලි පැටවා යළිත් රැළට මුදාහැර අත පිස ගැනීමට වඩා වැඩි යමක්‌ සිදු කිරීමට වනජීවිය එහිදීද අපොහොසත් වන්නේ සැබෑලෙසම ඔවුන්ගේ දුර්වලතාවය නිසාද නොඑසේනම් දෙපාර්තමේන්තුවේ මුල් පටුවල සිටම වනජීවී ලොක්‌කන් අලි හොරුන්ට කඩේ යැම නිසාදැයි සැකයක්‌ මතුවෙයි. මෙවැනි වනජීවී අපරාධයක්‌ සිදුවූ වහාම ඒ ගැන විමර්ශනයක්‌ සිදුකර වැරදිකරුවන්ට එරෙහිව වන සත්ව හා වෘක්‍ෂලතා ආරක්‍ෂක පනත යටතේ කටයුතු කිරීමේ නෛතික බලය වනජීවි නිලධාරීන් සතුය. නමුත් ඒ තබා අඩුතරමින් මෙම නීති විරෝධී ක්‍රියාව අධිකරණයට වාර්තා කිරීමටවත් එහිදී වනජීවිය උත්සුක නොවීය. මහව පොලිසියද කටයුතු කළේ ඊට නොදෙවැනි ඇල් මැරුණු ආකාරයකිනි. අද වන විට අලි පැටවුන් ජාවාරම ශ්‍රී ලංකාවේ මහාපරිමාණ නීතිවිරෝධී ජාවාරම් අතරින් එකක්‌ බවට පත්ව තිබියදී පවා මේ සම්බන්ධව ක්‍රියාත්මක විය යුතු වනජීවිය හෝ පොලිසිය මේ ආකාරයෙන් නිවට, නියාලු හා නිද්‍රdශීලී පිළිවෙතක්‌ අනුගමනය කිරීම ජුගුප්සාජනකය.

එම මස 28 වැනිදා සවස්‌ වරුවේදී මීරිගම කණ්‌ඩලම වලව්වේ රඳවාගෙන සිටි සැකකටයුතු අලි පැටවෙකු අත්අඩංගුවට ගැනීමට වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්‌ඩායමකට හැකි වන්නේ ඉන් පසුවය. එතැනින් නොනැවතී මාර්තු මස 13 වැනිදා නැවත වරක්‌ ඇරැව්වල ගැමුණු මාවතේ නිවසක සිටි තවත් කුඩා අලි පැටවෙකු සොයාගන්නට වනජීවී නිලධාරින්ට හැකිවිණි. නොයෙකුත් බලපෑම් මධ්‍යයේ පරිසරවේදීන්ගේ හා මාධ්‍යවේදීන්ගේ මැදිහත් වීම නිසා එම අලි පැටවුන් දෙදෙනා පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කිරීමට වනජීවී අඩවි ආරක්‍ෂක ඉන්ද්‍රජිත් මහතාට හැකිවීම ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක මෙම මහා පරිමාණ හිංසනයට තිත තැබීමේ තීරණාත්මක සංධිස්‌ථානයකට පැමිණීමක්‌ ලෙස අපි සලකමු. මේ නිසා වනජීවි අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට හෝ වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ වෙනත් ඕනෑම ප්‍රධානියකුට මෙවැන්නක්‌ සිදු නොවෙනවා යෑයි කීමට නොහැක. මෙවැන්නක්‌ සිදුවූවත් නීතියේ රැහැනට හසුකර ගැනීමට නොහැකි වී ඇතැයි කිව නොහැක. මෙම අලි පැටවුන්ට ලබාදී ඇති බලපත්‍රවල ගැටලු නැතැයිද කිව නොහැක. දැන් එළැඹ ඇත්තේ මෙතෙක්‌ කල් අපා දුක්‌ විඳිමින් අසරණව දුක්‌ විඳි, බලවතුන්ගේ අගුපිල්වල, පිළිකනුවල මරණය ළඟා වන තුරු මඟ බලමින් සිටි, තමන්ට සිදුවී ඇති අසාධාරණය පිළිබඳව හඬ ගා කීමට නොහැකි අලි ඇත් පරපුරේ සුබ කාලය බව අපි විශ්වාස කරමු.

මෑතකාලීනව ශ්‍රී ලංකාවේ අලි පැටවුන් ජාවාරම පිළිබඳව ප්‍රථම වතාවට කරුණු අනාවරණය වූ ශක්‌තිමත් සාක්‍ෂිය වූයේ 2009 අගෝස්‌තු 08 වැනිදා බලංගොඩ නිවසක නාන කාමරයක සිරකරගෙන සිටියදී සොයාගනු ලැබූ අලි පැටවා නිසාය. මව්කිරි නොමැතිව විජලනය වී සිටි මෙම අසරණ අලි පැටවා උඩවලව ඇත් අතුරු සෙවණේ දී එම මස 21 වැනිදා සදහටම දැස්‌ පියා ගත්තේ මනසින් උසස්‌ යෑයි කියාගන්නා කුලකයේ අමනයින්ගේ හිංසනය ලොවටම හඬගා කියමිනි. එයින් පසුවද අතුරුගිරිය ප්‍රදේශයේ රඳවා සිටියදී හා බෞද්ධ විහාරස්‌ථාන දෙකක්‌ අතර ප්‍රවාහනය කරමින් සිටියදී තවත් අලි පැටවුන් දෙදෙනකු සොයාගැනීමට වනජීවී නිලධාරින්ට හැකි වුණද ඉන්පසු අලි හොරුන් නිලධාරින්ව සාක්‌කුවේ දමාගත් නිසාදොa නැවත එවැනි වැටලීම් ගැන අසන්නට නොලැබිණි. ඉන් පසු ඉකුත් 2013 වසරේ අගෝස්‌තු 10 වැනිදා අලි පොත අතුරුදන් වීමේ සිද්ධියක්‌ හේතුවෙන් වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නීති අංශයට සීල් තබා එවක එහි අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකාව වැඩ තහනමකට ලක්‌ කෙරුණි. නමුත් අද දක්‌වා ඒ සම්බන්ධව සිදුකළ විමර්ශනයක කිසිදු ප්‍රගතියක්‌ දක්‌නට නැත. අතුරුදන් වූ අලි පොත යළි ලැබුණේද නැත.

හබරණ කැලයෙන් අලි පැටවුන් 63 ක්‌ අතුරුදන් වී ඇති බව බුද්ධශාසන නියෝජ්‍ය ඇමැති එම්. කේ. ඩී. එස්‌. ගුණවර්ධන ප්‍රකාශ කළේ ත්‍රිකුණාමල දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදීය. මේ පිළිබඳවද විමර්ශනය කිරීමට කමිටුවක්‌ පත් කරන ලද බව වනජීවි අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කියා සිටියද එයින් ලද සාධාරණයක්‌ නැත.

2009 අංක 22 දරන වන සත්ව හා වෘක්‍ෂලතා ආරක්‍ෂක (සංශෝධන) පනත ප්‍රකාරව මෙවැනි වනජීවී අපරාධ ඇති නොවීමට ගතයුතු ක්‍රියාමාර්ග හා එවැනි අපරාධකරුවන්ට ලබාදිය යුතු දැඩි දඬුවම් පැහැදිළිව දක්‌වා ඇත. ඒ අනුව නීති විරෝධී ලෙස වන අලියෙකු ළඟ තබාගෙන සිටීම සංඥය වරදකි. එනම් වරෙන්තුවක්‌ රහිතව අත්අඩංගුවට ගත හැකි වරදකි. ඇප ලබාදීමටද නොහැක. මෙවැනි වරදක්‌ සම්බන්ධව අධිකරණය හමුවේ වැරදිකරු වන පුද්ගලයකුට රුපියල් ලක්‍ෂයකට වැඩි දෙකකට නොවැඩි දඩයකට හෝ අවුරුදු දහයකට වැඩි විස්‌සකට නොවැඩි සිර දඬුවමකට යටත්වීමට සිදුවේ. තවද මේ ආකාරයෙන් සතුන් රඳවාගෙන ඉතා කෲර හා අමානුශික ආකාරයෙන් සැලකීම වැළැක්‌වීම සඳහා 1907 අංක 13 දරන සත්ව හිංසා වැළැක්‌වීමේ ආඥ පනත ප්‍රකාරව පොලිසියටද නෛතික බලය හිමිවේ. නීතිය පොතේ තිබියදී නීතිය ක්‍රියාත්මක කළ යුතු නිලධාරීන් කාර්යාල වලට වී පුටු රත්කරමින් මහජන මුදල් ද කාබාසිනියා කරමින් සිටියදී තවදුරටත් මෙරට මෙම අමානුෂික හා අධම ක්‍රියාවලිය නොනවත්වාම සිදුවන්නේ කුමන හේතුවක්‌ නිසාදැයි පැහැදිළිය. ඇතැම් චීවරධාරීන්ද දේශපාලන, ධන, නිල බලය හිමි ප්‍රභූ පැලැන්තිය ද මෙම කූට ව්‍යාපාරය පිටුපස සිටින බව නොකිවමනාය.

සුපුන් ළහිරු ප්‍රකාශ්
සංස්‌කරණය ජගත කණහැරආරච්චි

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.