කළුතොට දිසා රෝහලේ බෙහෙත්
දෙන්නේ උපස්‌ථායකයෙක්‌

කැමති නම් බෙහෙත් ගන්නලු

බළන්ගොඩ - එන්. එච්. පියසේන

කළුතොට දිසා රෝහලේ බාහිර රෝගී අංශයේ ඖෂධ නිකුත් කිරීම සඳහා සුදුසු නිලධාරියකු නොමැති බැවින් ගොවිජනපදවාසීන් ඇතුළු ප්‍රදේශවාසීහු දැඩි දුෂ්කරතාවලට මුහුණ දී සිටිති.

මෙම කටයුත්ත සඳහා බළන්ගොඩ මූලික රෝහලින් සතියේ දින දෙකකට පමණක්‌ ඖෂධවේදියකු පැමිණෙන අතර ඉතිරි දින පහේ ඖෂධ නිකුත් කරනු ලබන්නේ උපස්‌ථායකවරයකු විසින් බවද වාර්තාවේ.

මේ පිළිබඳ අදහස්‌ දැක්‌වූ රෝහල් සංවර්ධන කමිටු සාමාජික කළුතොට ශාසනාරක්‍ෂක බලමණ්‌ඩලයේ සභාපති බුදුගල සෝමරතන ස්‌වාමීන් වහන්සේ මෙසේ පැවසූහ.

මෙම රෝහෙල් තිබෙන මේ අඩුපාඩුව දිගු කාලයක්‌ පවතිනවා. මේ ගැන බලධාරීන් දැනුවත් කර තිබෙනවා. මෙයට විසඳුමක්‌ නොලද හෙයින් රෝහල් සංවර්ධන කමිටුව ප්‍රධාන ඇමැති මහීපාල හේරත් මහතා හමු වී මේ ගැන සාකච්ඡා කර විසඳුමක්‌ ලබාගන්න පියවර ගෙන තිබෙනවා.

මේ පිළිබඳ අදහස්‌ දැක්‌වූ බළන්ගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී රෝහල් කමිටු සාමාජික චන්ද්‍රජිත් ද සිල්වා මහතා කියා සිටියේ උපස්‌ථායකයකු බෙහෙත් නිකුත් කරනවා. ඔබ කැමති නම් බෙහෙත් ලබාගන්නැයි රෝහල ඉදිරිපිට දැන්වීමක්‌ ප්‍රදර්ශනය කර තිබෙන බවයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.