ශ්‍රී ලංකන් ගුවන් සමාගම වන්වර්ල්ඩ් සමග එක්‌වෙයි

අජිත් අලහකෝන්

වන්වර්ල්ඩ් සන්ධානය සමඟ එක්‌වීම තුළින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගෝලීය ගුවන් සේවා සිතියමේ ස්‌ථාවර පසුබිමක්‌ නිර්මාණය වන බව ශ්‍රී ලංකාවේ ගුවන් සමාගමේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා මත්තල රාජපක්‍ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම වන්වර්ල්ඩ් ගෝලීය සන්ධානය සමඟ එක්‌වීම වෙනුවෙන් මත්තල රාජපක්‍ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී පසුගියදා පැවති උත්සවයේදී නිශාන්ත වික්‍රමසිංහ මහතා ඉහත ප්‍රකාශය කළේය.

ඒ අනුව මෙම ගුවන් සේවා සන්ධානයේ සාමාජිකත්වය ලබන පහළොස්‌වැනි රට බවට ශ්‍රී ලංකාව පත්වේ.

කැපේ පැසිපික්‌, ජපාන එයාර්ලයින්, මැලේසියා එයාර්ලයින්, කෙන්ටාස්‌, එයාර් බර්ලින්, බ්‍රිටිෂ් එයාර්වේස්‌, කටාර් එයාර්වේස්‌ , රෝයල් ජෝර්දානයත් ඇමරිකන් එයාර් ලයින්ස්‌ ඇතුළු ප්‍රධාන පෙළේ රටවල ගුවන් සේවා දාහතරක්‌ මේ වන විට වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානයේ සාමාජිකත්වය දරති.

ශ්‍රී ලංකන් ගුවන් සේවය වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානය සමඟ එක්‌වීමේ සමාරම්භ උළෙල ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමැති, මුදල් නියෝජ්‍ය ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතාගේ සහ හම්බන්තොට දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මේ වන විට වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සාමාජිකත්වය ලබා ඇති විදේශ ගුවන් සේවා දාහතරේ ප්‍රධාන විධායක නිලධාරීහු ද මෙම උළෙලට සහභාගි වූහ.

මේ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගමට "වන්වර්ල්ඩ්" නමැති ලාංඡනය සිය ගුවන් යානා 22 මත ප්‍රදර්ශනය කිරීමට අවසර ලැබේ. වන්වර්ල්ඩ් නිල ලාංඡනය සහිත පළමු ශ්‍රී ලංකන් ගුවන් යානය සමාරම්භක උළෙලට පැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තන් අතින් මත්තලදී එළිදැක්‌විණි. "වන්වර්ල්ඩ්" සාමාජිකත්වය ශ්‍රී ලංකාවට ලැබීමේ ගිවිසුමට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතා සහ වන්වර්ල්ඩ් ප්‍රධාන නියෝජිතවරයා අත්සන් තැබූහ.

මේ අනුව ශ්‍රී ලංකාව ඇතුළුව දකුණු ආසියානු උප මහාද්වීපයේ රටවලට ගමන් කරන මගීන්ට වන්වර්ල්ඩ් අවසර පතක්‌ ලබාගත හැක. ඊට අමතර ප්‍රතිලාභ රැසක්‌ හිමිවනු ඇත. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ යූ එල් 318 ගුවන් යානය ශ්‍රී ලංකන්හි ප්‍රථම වන්වර්ල්ඩ් සාමාජික ගුවන් යානාව වශයෙන් කොළඹ සිට ක්‌වාලාලම්පූර් දක්‌වා පසුගියදා (02 දා) පෙරවරු 7.45 ට පිටත් විය.

වන්වර්ල්ඩ් ගෝලීය සන්ධානය සමඟ එක්‌වීම තුළින් ලොව අනෙකුත් රටවල් සමඟ සම්බන්ධ වීමට ශ්‍රී ලංකාවේ ගුවන් සමාගමට හැකියාව ලැබෙන බව ද කී නිශාන්ත වික්‍රමසිංහ මහතා එය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ විශාල වර්ධනයක්‌ අත්පත් කර ගැනීමට රුකුලක්‌ වනු ඇතැයි ද කීය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතා මෙහිදී ප්‍රකාශ කළේ උසස්‌ තත්ත්වයේ ගුවන් සන්ධානයක්‌ සමඟ එක්‌වීම තුළින් ශ්‍රී ලංකන් සමාගමට ගුණාත්මක සේවාවක්‌ ලබාදීමට හැකිවනු ඇති බවය. එමගින් විශිෂ්ට ගුවන් සේවා පාර්ශ්වකරුවන් සමඟ ගෝලීය වශයෙන් කටයුතු කිරීමටත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පාරිභෝගිකයනට විශේෂ ප්‍රතිලාභ සහ සේවා අත්පත් කරදීමට හැකිවන බව ද කපිල චන්ද්‍රසේන මහතා කීවේය. වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානය සමඟ එක්‌වූ ඉන්දියානු උප මහාද්වීපයේ ප්‍රථම ගුවන් සේවාව ලෙස ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඉතිහාසගත වේ. මෙමගින් දකුණු ආසියානු උප මහාද්වීපයේ ගමනාන්ත කරා සංචාරය කිරීමට වන්වර්ල්ඩ් අවසර පතක්‌ නිකුත් කෙරේ. ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් ගමන් ජාලයේ ශ්‍රී ලංකාව ඇතුළුව ඉන්දියාව, පාකිස්‌තානය සහ මාලදිවයින ආවරණය කරමින් ගුවන් පහසුකම් ලබාදෙන අතර ශ්‍රී ලංකන් නිරන්තර පියාසර වැඩසටහනේ µaලයි සමගිල්ස්‌ සාමාජිකයනට විශේෂ වාසි හිමිවන බව ද ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රකාශ කළේය. එමෙන්ම කෝටි 18 ක වන්වර්ල්ඩ් නිරන්තර පියාසර සාමාජිකයන් සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවාව සමඟ පියාසර කිරීමේදී ප්‍රතිලාභ රැසක්‌ හිමිවන බව ද එම සමාගම ප්‍රකාශ කළේය.



වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානය සමග එක්‌වන ඉන්දියානු උප මහාද්වීපයේ ප්‍රථම ගුවන් සේවය බවට ශ්‍රී ලංකන් ගුවන් සේවය පත් විය. ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගම මෙහි සාමාජිකත්වය දරන පහළොස්‌ වැනි රට බවට ශ්‍රී ලංකාව පත් විය.

ශ්‍රී ලංකන් ගුවන් සේවය වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානය සමග එක්‌වීමේ සමාරම්භක උළෙල මත්තල රාජපක්‍ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමැති හා මුදල් නියෝජ්‍ය ඇමැති සරත් අමුණුගම, හම්බන්තොට දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්aවයෙන් සිදුකෙරිණි. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට වන්වර්ල්ඩ් නිල ලාංඡනය සහිත පළමු ශ්‍රී ලංකන් ගුවන් යානය සරත් අමුණුගම හා නාමල් රාජපක්‍ෂ යන මහත්වරුන් විසින් එළිදැක්‌වූ අයුරු. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ, වන්වර්ල්aඩ් විධායක නිලධාරි බෲස්‌ යන මහත්වරු ද ඡායාරූපයේ වෙති.

- සටහන හා ඡායාරූප - සුජාතා ජයරත්න

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.