පරිපූරක වෛද්‍ය වෘත්තික වර්ජනයෙන්
පළාත් 3ක රෝහල් 125ක්‌ ලෙඩ වෙයි


ඒමන්ති මාරඹේ, පොලොන්නරුව - කරුණාරත්න ගමගේ සහ නාත්තන්ඩිය - රෙක්‌ස්‌ හැරිසන්

සේවා ඉල්ලීම් දෙකක්‌ මුල්කරගෙන උතුරු, නැගෙනහිර හා උතුරුමැද යන පළාත්වල රජයේ රෝහල් පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් විසින් ඊයේ (06 දා) ක්‍රියාත්මක කළ වැඩවර්ජනය හේතුවෙන් එම පළාත්වල රෝහල් 125 ක පමණ බාහිර රෝගී අංශවලින් බෙහෙත් නිකුත් කිරීම, එක්‌ස්‌කිරණ/ ස්‌කෑන් පරීක්‍ෂණ සිදුකිරීම, වෛද්‍ය රසායනාගාර පරීක්‍ෂණ හා භෞතවේදී චිකිත්සක ප්‍රතිකාර කටයුතු ඇනහිට ඇතැයි එම රෝහල් ආරංචි මාර්ග පැවසීය.

මෙම තත්ත්වය මත ඊයේ බාහිර රෝගී අංශ වෙත පැමිණි රෝගීහු හා නේවාසික රෝගීහු විශාල පිරිසක්‌ දැඩි අසීරුතාවකට පත්ව සිටියහ.

වර්ජනය ක්‍රියාත්මක වූ යාපනය, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, අනුරාධපුර, පොලොන්නරුව වැනි ප්‍රධාන රෝහල්වල බාහිර රෝගී අංශ ඔසුසල් වසා දැමීම නිසා පිටත ඔසුසල්වලින් බෙහෙත් ලබාගැනීමට බාහිර රෝගීන්ට පහසුකම් සලසා දී තිබූ අතර මේ හේතුවෙන් එම රෝහල් අවට ඔසුසල් අසල දිගු පෝලිම් දක්‌නට ලැබිණි.

කෙසේ වුවද ප්‍රාදේශීය කුඩා රෝහල් අවට ඔසුසල් නොමැතිවීම නිසා එම රෝහල්වලින් බෙහෙත් ගැනීමට පැමිණි රෝගීන් විශාල පිරිසකට ඊයේ හිස්‌ අතින් නිවෙස්‌ බලා යැමට සිදුවිය. වර්ජනය ක්‍රියාත්මක වූ රෝහල්වල ලේ, මුත්‍රා ඇතුළු රසායනාගාර පරීක්‍ෂණයන්, එක්‌ස්‌රේ/ ස්‌කෑන් පරීක්‍ෂණයන් හා භෞතවේදී චිකිත්සක ප්‍රතිකාර ක්‍රියාත්මක නොවීම නිසා එම පරීක්‍ෂණ හා ප්‍රතිකාරවලට මුහුණදීමට නියමිතව සිටි රෝගීන්ට වෙනත් දින ලබාගැනීමට සිදුව තිබේ.

මෙම වර්ජනය අද ද (7 දා) ක්‍රියාත්මක වන අතර අද උදෑසන සිට ඌව, වයඹ හා සබරගමුව පළාත් රෝහල්වල පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් මෙම වර්ජනයට එක්‌වීමට නියමිතය.

හෙට (08 දා) සිට මෙම වර්ජනයට බස්‌නාහිර, දකුණු හා මධ්‍යම පළාත් රෝහල්වල පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් එක්‌වීමට නියමිත අතර ඒ සමඟම වර්ජනය දීපව්‍යාප්ත මට්‌ටමින් එදින පැවැත්වෙන බව පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්‌ඩලය පවසයි.

පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ සම සෞඛ්‍ය උපාධිය කප්පාදු කිරීම නතර කිරීම හා ප්‍රමාද වෙමින් පවතින එම වෘත්තිකයන්ගේ සේවා උසස්‌වීම් ක්‍රියාත්මක කිරීම යන ඉල්ලීම් මුල්කරගෙන මෙම වර්ජනය ක්‍රියාත්මක කෙරේ.

මෙම ඉල්ලීම් මුල්කරගෙන පරිපූරක වෛද්‍ය වෘත්තිකයෝ විශාල පිරිසක්‌ ඊයේ දහවල් කොළඹ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභා ගොඩනැඟිල්ල හා සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.