සම සෞඛ්‍ය ගැටලුව විසඳීමට
අනුර පාර්ලිමේන්තු කමිටුවක්‌ ඉල්ලයි

- කථානායක යෝජනාව අගයයි

කුෂාන් සුබසිංහ - අජිත් අලහකෝන්

සම සෞඛ්‍ය විද්‍යා උපාධි පාඨමාලාවේ සිව් අවුරුදු කාලසීමාව තුන් වසරකට අඩු කිරීම නිසා උද්ගතව ඇති අර්බුදය විසඳීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් කමිටුවක්‌ පත්කරන ලෙසට අනුර කුමාර දිසානායක මහතා කළ යෝජනාව ඊයේ (06 දා) කථානායක චමල් රාජපක්‍ෂ මහතාගේ ඇගයුමට ලක්‌විය.

අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව නිසා මෙවන් ප්‍රශ්නවලට මැදිහත් වීම සඳහා පාර්ලිමේන්තු කමිටුවක්‌ පත්කිරීම ඉතා හොඳ ක්‍රියාවක්‌ බව කථානායකවරයා ප්‍රකාශ කළේ ස්‌ථාවර නියෝග 23/2 යටතේ දිසානායක මහතා මතු කළ ප්‍රශ්නයකට උසස්‌ අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති නන්දිමිත්‍ර ඒකනායක සහ සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති ලලිත් දිසානායක මහත්වරුන් පිළිතුරු ලබාදුන් පසුවය.

සම සෞඛ්‍ය විද්‍යා උපාධි පාඨමාලාව වසර හතරේ සිට වසර තුන දක්‌වා අඩු කිරීම නිසා ශිෂ්‍ය කණ්‌ඩායමකට මෙම මාසය අවසානයේදී විශ්වවිද්‍යාලයෙන් ඉවත් වීමට සිදුවන බව අනුර කුමාර දිසානායක මහතා කීවේය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයක්‌ ඇති නිසා උපක්‍රමයක්‌ ලෙස එහි වසර හතරක්‌ දක්‌වා පාඨමාලා පවත්වන නමුත් අනෙක්‌ විශ්වවිද්‍යාලවල මෙම පාඨමාලාව පවත්වන්නේ වෛද්‍ය පීඨවලට සම්බන්ධව නිසා ගැටලු පැනනැගී ඇතැයි ද අනුර කුමාර දිසානායක මහතා කීවේය.

සම සෞඛ්‍ය විද්‍යා පාඨමාලාව සිව් වසරක්‌ පුරා පැවැත්වීමට විද්වත් කමිටුවක නිර්දේශ මත උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය ගත් ප්‍රතිපත්තිමය තීරණයට එරෙහිව කටයුතු කිරීමට රජයේ වෛද්‍ය නිලධාරි සංගමයට ඇති අයිතිය හා බලය කුමක්‌දැයි ප්‍රශ්න කළ අනුර කුමාර දිසානායක මහතා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මැදිහත්වීම අතිශය අසාධාරණ බව ද කීවේය.

මෙම පාඨමාලාව වසර තුන දක්‌වා අඩුකර තිබෙන්නේ කැමැත්තකින් නොවන බව කී උසස්‌ අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති නන්දිමිත්‍ර ඒකනායක මහතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩවර්ජනයක්‌ කළොත් එය ව්‍යසනකාරී තත්ත්වයක්‌ වනු ඇතැයි ද කීය.

මේ පාඨමාලාව සිව් අවුරුද්දක්‌ විය යුතු බව උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය පවා පිළිගන්නවා. මෙය ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක්‌. වෙනත් පාර්ශ්වයන්ට පාර්ලිමේන්තුව අභිබවා යන බලයක්‌ ලබාදෙන්නේ මන්දැයි අනුර කුමාර දිසානායක මහතා විමසීය.

වරාය වර්ජනය කළොත් හමුදාව යොදවන්න පුළුවන්. ඒත් වෛද්‍යවරුන් වර්ජනය කළොත් මොනවද කරන්නේ යෑයි ද නන්දිමිත්‍ර ඒකනායක මහතා කීවේය.

මේ සිසුන් දින එකසිය තිස්‌පහක්‌ තිස්‌සේ මහ පාරේ නොකා නොබී උද්ඝෝෂණය කරනවා. පාර්ලිමේන්තුවේ අපි මේ සඳහා මැදිහත් විය යුතුයි. කථානායකතුමනි, මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කමිටුවක්‌ මේ සඳහා පත්කරන්න. එවිට අදාළ පාර්ශ්ව කමිටුව හමුවට කැඳවා මේගැන සාකච්ඡා කර විසඳුමකට එන්න පුළුවන් වේවි යෑයි ද අනුර කුමාර දිසානායක මහතා කීවේය.

මේ වගේ දැවෙන ප්‍රශ්න සාකච්ඡා කරන එක හොඳයි. අනුර කුමාර දිසානායක මහතා මේ ප්‍රශ්නය සඳහා පාර්ලිමේන්තු කමිටුවක්‌ පත්කරන ලෙස යෝජනා කරනවා. ඒක හොඳ යෝජනාවක්‌ යෑයි ද කථානායක චමල් රාජපක්‍ෂ මහතා කීවේය.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.