ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව අපි පිළිගන්නෙ නැහැ
ඒක ඉරලා විසි කරන්නැයි යෝජනාවක්‌ ගේනවා

- එම්. කේ. සිවාජිලිංගම් (දෙමළ සන්ධානය)

ව්‍යවස්‌ථාව නොපිළිගන්නේ නම්
මන්ත්‍රී ධුරයෙන් ඉවත් විය යුතුයි

- වී. ජයතිලක (එජනිස)

මුලතිව් - ප්‍රසන්න ප්‍රදීප්

පසුගිය 28 වැනිදා උතුරු පළාත් සභාවේ පැවැති මාසික රැස්‌වීමේදී මෙරට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සම්බන්ධයෙන් උණුසුම් තත්ත්වයක්‌ ඇති විය. මෙහිදී අදහස්‌ දැක්‌වූ මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් ප්‍රකාශ කර සිටියේ.

''වර්තමානයේ ක්‍රියාත්මක මෙම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ඉරලා කුණු කූඩෙට දාන්න කියලා මම කියනවා. අපි මේක පිළිගන්නේ නෑ. අපි යෝජනාවක්‌ ලෙස මේක ගේනවා මේක ඉරලා විසි කරන්න'' යනුවෙනි.

මේ සමගම උණුසුම් වූ උතුරු පළාත් සභාවේ විපක්‍ෂය වෙනුවෙන් නැගී සිටි එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන පළාත් සභා මන්ත්‍රී වී. ජයතිලක මහතා ප්‍රකාශ කර සිටියේ තමන් එම ප්‍රකාශය දැඩි ලෙස හෙළා දකින බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඒ මහතා - එම ප්‍රකාශය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන්න. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සිවාජිලිංගම් මන්ත්‍රීවරයා පිළිගන්නේ නැතිනම් ඔහු මෙම මන්ත්‍රී ධුරයෙන් ඉවත් විය යුතුයි. ඒ වගේම මොහු ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පිළිනොගන්නේ නම් ඊට පටහැනි නම් අපි මොහු ගෙන එන කිසිම යෝජනාවක්‌ පිළිගන්න කැමති නැහැ. ඒ වගේම මෙම පළාත් සභාවේ යම් යම් ඇමැතිවරුන් කියනවා නම් ජාතික කොඩිය ඔසවන්න බෑ කියලා ඇමතිට බැරිනම් වෙන කෙනෙකුට කියලා ජාතික කොඩිය ඔසවන්න. හැබැයි ජාතික කොඩියට අගෞරව කරන්න දෙන්න බෑ. සිවාජි ලිංගම් මන්ත්‍රීතුමා නිතරම ආරක්‍ෂක හමුදාව පොලිසිය ගැන කථා කරනවා. හැබැයි අදටත් සිවාජිලිංගම් මහත්තයට ආරක්‍ෂාව දෙන්නේ ඒ ඇමැති ආරක්‍ෂක ඒකකයෙන්.

ඒ නිසා ඔබ මතක තබා ගන්න ඔබතුමා ආරක්‍ෂා වෙලා ඉන්නේ ඒ අනුව කියන එක.

මේ අනුව උතුරු පළාත් සභාව දැඩි උණුසුම් මුහුණුවරක්‌ ගත් අතර උතුරු පළාත් සභා සභාපති සී. වී. කේ. සිවඥනම් මහතාට පළාත් සභාව සාමකාමී කිරීමට දැඩි පරිශ්‍රමයක්‌ දැරීමට සිදුවිය.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.