වැට්‌ බදු වංචාවට අවුරුදු 102 ක්‌ හිරේට
දඩය කෝටි 1200 යි


සමන්ත ඉලේපෙරුම

දකුණු ආසියාවේ විශාලතම බදු මූල්‍ය වංචාව ලෙස සැලකෙන රුපියල් කෝටි 400 කට ආසන්න වැට්‌ බදු වංචා නඩුවේ ප්‍රධාන විත්තිකරු වූ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්‌ අගම්පොඩි ඥනසිරි ද සොයිසා ජයතිලක හට කොළඹ හිටපු මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය ඊයේ (8 දා) වසර 102 ක සිර දඬුවමක්‌ හා රුපියල් කෝටි 1200 ක දඩ මුදලක්‌ නියම කළාය.

එක්‌ චෝදනාවකට වසර තුන බැගින් එකවර ගෙවී යන ලෙස සිරදඬුවම් නියම කෙරේ

වසර හතකට ආසන්න කාලයක්‌ පුරා පැවති නඩු විභාගයෙන් පසු ගොනු කර තිබූ චෝදනා 34 ට වරද පිළිගැනීම මත එක්‌ චෝදනාවකට වසර තුන බැගින් එකවර ගෙවී යන පරිදි සිර දඬුවම් නියම කරන බවත් වංචා කර ඇති මුදල් මෙන් තුන් ගුණයක්‌ දඩ මුදල් ලෙස අයකර ගැනීමට නියම කරන බවත් සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අවධාරණය කළ විනිසුරුවරිය දඩ මුදල් ගෙවීමට මසක කාලයක්‌ ලබාදෙන බවත් එසේ නොගෙවන්නේ නම් තහනමට ලක්‌ කර ඇති විත්තිකරු සතු සියලු දේපළ රාජසන්තක කර අයකර ගැනීමට නියෝග කරන බවත් සඳහන් කළාය.

මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනකු හමුවේ විභාගයට ගැනුණු මෙම නඩුව අවසන් වරට විභාග කළ මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය මේ වන විට පානදුර මහාධිකරණ විනිසුරුවරිය ලෙස සේවය කරන අතර නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා ඊයේ (08 දා) පස්‌වරුවේදී කොළඹ මහාධිකරණයේ විනිශ්චාසනාරූඪ වූවාය.

නඩුව විභාගයට ගත් අවස්‌ථාවේදී රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටි විත්තිකරු බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබූ අතර දඬුවම් ලිහිල් කර ගැනීමට ජනාධිපති නීතිඥ තිලක්‌ මාරපන මහතා විත්තිකරු වෙනුවෙන් කරුණු දක්‌වා සිටියේය.

ජනාධිපති නීතිඥ - තිලක්‌ මාරපන මහතා - ඉතා දීර්ඝ, සංකීර්ණ නඩු විභාගයක්‌ වූ මෙම නඩුවෙන් කියෑවුණු චෝදනා 34 සනාථ කිරීමට නඩු විභාගය පටන් ගත්තේ 2007 ජනවාරි 24 දා. 2011 මැයි මාසයේදී පැමිණිල්ල අවසන් කළා. එදා විත්තිකරු වෙනුවෙන් ඉල්ලා සිටියා ඔහුගෙන් විත්ති වාචිකයක්‌ කැඳවීමට අවශ්‍ය නොවන බව. ඒ නඩුවේ තිබූ දුර්වලතා කීපයක්‌ නිසා.

එනම් විත්තිකරුට කුමන්ත්‍රණ චෝදනා නැඟිය නොහැකියි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට වසරකට වැට්‌ බදු ඉල්ලීම් හැත්තෑ පන් දහසක්‌ පමණ ඉදිරිපත් වෙනවා. චෝදනා පත්‍රයේ සඳහන් වන්නේ දෙසීය හැටක්‌ ගැන පමණයි. එය මුළු වැට්‌ බදු ඉල්ලීම්වලින් 0.5% ක්‌ පමණ වෙනවා. එම ඉල්ලීම් 260 ට විත්තිකරු වංචාවක්‌ කර ඇති බවට දක්‌වා නෑ.

විගණන වාර්තා අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ රුපියල් බිලියන 388 ක අහිමි වීමක්‌ සිදුවෙනවා. විත්තිකරුට එරෙහි චෝදනා පත්‍රයේ සඳහන් වන්නේ රුපියල් බිලියන 3.9 ක ප්‍රමාණයක්‌. දෙපාර්තමේන්තුවේ යම් යම් හේතු නිසා අහිමි වන බදු මුදල් ගැන කිසිම පැමිණිල්ලක්‌ පරීක්‍ෂණයක්‌ හෝ නඩු විභාගයක්‌ නැත්තේ ඇයි කියා ඕනෑම අයකුට මෙහිදී සිතෙන්න පුළුවන්. දෙපාර්තමේන්තුවේ නොසැලකිලිමත්භාවය හා අකාර්යක්‍ෂමභාවය නිසා විශාල මුදලක්‌ අහිමි වෙනවා. ඒ ගැන කවුද වගකියන්නේ.

විත්තිකරුට එරෙහි චෝදනා සනාථ කිරීමට දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ තක්‌සේරුකරු වූ රාජරත්නම් කියලා සාක්‍ෂිකරුවකු කැඳෙවා වංචාව සනාථ කර ගැනීමට උත්සාහ කළා. ඔහුත් මීට පෙර මෙයාකාරයේ ගෙවීම් කළ නිලධාරියෙක්‌. ඔහු පිළිගත්තා ඔහු ගෙවීම් කළේත් විත්තිකරු කළ අයුරින්ම බව.

මෙහි තවත් සාක්‍ෂිකරුවකු ලෙස තිස්‌ස පෙරේරා නමැති අයෙක්‌ පැමිණිල්ල කැඳව්වා. ඔහු ඔහුව පිළිගත් වංචාකරුවෙක්‌. අපරාධ සහායකයෙක්‌. නීති පතිගෙන් සමාව අරන් සාක්‍ෂි දෙන්න ආවා.

රජයේ නීතිඥ - ශනිල් කුලරත්න මහතා -

ජනාධිපති නීතිඥවරයාගේ කීම පිළිගන්න බෑ. එහි පිළිගත හැකි කරුණු දක්‌වා නෑ ස්‌වාමීනි.

ජනාධිපති නීතිඥ තිලක්‌ මාරපන මහතා - රාජරත්නම් ගැන කීවාට රජයේ නීතිඥ මහතා විරුද්ධ නෑ. තිස්‌ස පෙරේරා ගැන කියන කොට කැක්‌කුමක්‌ ඇතිවෙලා - එයා කවුද?

විනිසුරුවරිය - දඬුවම් නියම කිරීමේදී සාක්‍ෂිකරුවන් ගැන කියන්න බෑ. දඬුවම් ලිහිල් කරගන්න කරුණු දක්‌වන්න.

ජනාධිපති නීතිඥ - තිලක්‌ මාරපන මහතා -

දැන් ඒ ගැන කියලා වැඩක්‌ නැති බව දන්නවා ස්‌වාමීනි. යතුරු ලියන 15,000 යි, පැමිණිලි ලේඛන 4000 යි, විත්තියෙනුත් 1000 ක්‌ පමණ නම් කර තිබුණා. විනිසුරුවරුන් තුන් දෙනයි. ඔබතුමිය ඉදිරියේ විභාගයට ගන්නා විට මුල සිට ඇසිය යුතුයෑයි කියා කීවේ නෑ.

විනිසුරුවරිය - මතක්‌ කිරීමක්‌ කරනවා.

ජනාධිපති නීතිඥ තිලක්‌ මාරපන මහතා - එසේයි ස්‌වාමීනි, විත්තිකරු අවුරුදු 64 වයස්‌ගත පුද්ගලයෙක්‌.

කැලණි සරසවියේ උපාධිධාරියෙක්‌. 1980 දී තමයි සහකාර තක්‌සේරුකරුවෙක්‌ ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බැඳුණේ. වසර දෙකක්‌ නවසීලන්තයේ පදිංචිව සේවය කරලා බිරිඳ හා දුව එහි නවතා යළි දෙපාර්තමේන්තුවේ සේවයට එක්‌ වුණා. මේ විමර්ශනය පටන් ගත් දිනයේ සිට ආවා. පැනලා ගියේ නෑ. 2006 මාර්තු 22 දා ඉඳලා රිමාන්ඩ් එකේ. ඒක ලෝක වාර්තාවක්‌. මෙතරම් දිගුකලක්‌ කවුරුත් රිමාන්ඩ් වෙලා ඉඳලා නෑ.

විත්තිකරු විවිධ රෝගාබාධයන්ට ප්‍රතිකාර ගන්න පුද්ගලයෙක්‌. අවුරුදු 30 ක්‌ වයසැති දියණියක්‌ සිටින පියෙක්‌. ඇය නවසීලන්තයේ පදිංචි වෙලා ඉන්නේ. ඇය විවාහ වීමට සිටින තරුණියක්‌ වසර 08 ක්‌ රිමාන්ඩ් වෙලා ඉන්නවා කියන්නේ වසර 12 ක සිර දඬුවමක්‌ ගෙවනවා වගෙයි. ඔහු තවදුරටත් නඩුව ඉදිරියට ගෙන යන්න බලාපොරොත්තු නෑ. වරද පිළිගන්න කැමතියි. මීට පෙර කිසිදු වරදක්‌ නොකළ ඔහුට ලිහිල් දඬුවමක්‌ නියම කරන ලෙස ඉල්ලා සිටිනවා.

රජයේ නීතිඥ ශනිල් කුලරත්න මහතා -

මෙම නඩුවේ හැම චෝදනාවක්‌ම විත්තිකරු හරහා සිදුවූ ඒවා. කැඳවූ හැම සාක්‍ෂියක්‌ම විත්තිකරු මුල් කර ගත් ඒවා. විත්තිකරු වරද පිළිගැනීමට කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා. ඒ විත්තියත් කැඳවීමෙන් පසුවයි. මෙම නඩුව විත්තිකරුවන් 6 දෙනකුට එරෙහිව විභාග වුණා. මීට පෙර 5 දෙනකුට වරද පිළිගැනීම මත දඬුවම් නියම කළා.

විත්තිකරු රජයේ සේවය කළ අයෙක්‌. එහෙත් ඔහුගේ දේපළ අත්පත් කර ගැනීම් ඉතා ප්‍රශ්නගතයි.

ෆ ඔහු බිරිඳ නමින් කොළඹ 07, හේවා ඇවනිව්වල රූඩ් 02 යි පර්චස්‌ 08 ක ඉඩමක්‌ රුපියල් මිලියන 97 ක වියදමින් අරන් තියෙනවා.

ෆ කුරුණෑගල හෙම්මාවල අක්‌කර 31 යි රූඩ් 02 යි පර්චස්‌ 08 ක පොල් වත්තක්‌ අරන් තියෙනවා.

ෆ දියණියට නාවල ප්‍රදේශයේ පර්චස්‌ 10.03 ක ඉඩමක්‌ මිලට අරන් තියෙනවා.

ෆ කොළඹ 03, පේදිරික්‌ පටුමගේ බිරිඳගේ නමින් නිවසක්‌ අරන් තියෙනවා.

ෆ කුරුණෑගල ඉඩම්ගොල්ලේ අක්‌කර 05 යි රූඩ් 03 යි පර්චස්‌ 13 ක පොල් වත්තක්‌ අරන් තියෙනවා.

මෙපමණ දේපළ අත්පත් කර ගැනීමක්‌ සිදුකළේ කෙසේ දැයි පිළිගත හැකි කරුණු දක්‌වා නෑ.

සමාගම් 25 කට අදාළව ගෙවීම් කිරීමට නියම කරන ලද චෙක්‌පත් 258 ක මුදලක්‌ බැංකුගත කිරීමෙන් තමයි විත්තිකරු මෙම මුදල් සොයාගෙන ඇත්තේ.

විත්තියෙන් මෙහි නඩුවක්‌ නොමැති බවට කීවද පැමිණිල්ල චෝදනා ඔප්පු කරලා ඉවරයි. නඩුවේ ප්‍රධාන විත්තිකරු මෙම විත්තිකරුයි. නඩුවට ප්‍රශ්නගත වූ චෙක්‌පත් 258 ට අත්සන් කර ඇත්තේ ඔහුයි. ඒ ගැන සිතා බලා සුදුසු දඬුවමක්‌ නියම කරන ලෙස ඉල්ලා සිටිනවා.

විනිසුරුවරිය - මීට පෙර විත්තිකරුවන් කීපදෙනෙකුට වරද පිළිගැනීම මත ඔවුන්ට දඬුවම් නියම කරලා තියෙනවා. විත්තිකරුවන් කීප දෙනකු නැතිවයි නඩුව විභාගයට ගත්තේ. කෙසේ වුවත් විත්තිකරු වරද පිළිගැනීම සැලකිල්ලට ගනිමි. එසේම ඔහුගේ වයස හා රෝගී තත්ත්වයද පෞද්ගලික කරුණුද සැලකිල්ලට ගනිමි.

විත්තිකරු විත්ති වාචිකය කැඳවීමට වසර ගණනාවක්‌ කල්ගත කළද ඔහු අත්පත් කරගෙන ඇති දේපළ උපයාගත් ආකාරය ඉදිරිපත් කිරීමට අපොහොසත් වෙලා තියෙනවා. පැමිණිල්ල සඳහන් කළ ඔහු සතු සියලු දේපල මේ වන විට තහනම් කර තියෙනවා.

සියලු කරුණු සැලකිල්ලට ගෙන චෝදනා 34 ට වසර 3 බැගින් එක වර ගෙවී යන පරිදි විත්තිකරුට සිර දඬුවම් නියම කරමි.

චෝදනා පත්‍රයේ සඳහන් මුදල මෙන් තුන් ගුණයක මුදලක්‌ දඩයක්‌ ලෙස අය කර ගැනීමට නියම කරමි. ඒ සඳහා මාසයක කාලයක්‌ ලබා දෙමි. එම නියම කළ දඩ මුදල් ගෙවීමට අපොහොසත් වුවහොත් විත්තිකරුගේ දේපළ රාජසන්තක කර ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා එම මුදල් රාජ්‍ය අරමුදලට බැර කිරීමට සලකා බලමි.

විත්තිකරු දඩ මුදල් ගෙවීම සම්බන්ධයෙන් දැනුම් දීමට නඩුව ලබන 06 දා යළි කැඳවන ලෙසද විනිසුරුවරිය නියෝග කළාය.

2002 නොවැම්බර් 15 හා 2004 දෙසැම්බර් 15 කාලය අතරතුරදී කේ. ධර්මදාස වත්තලගෙදර නමැත්තා ඇතුළු පැමිණිල්ල නොදත් තවත් අය සමග එක්‌ව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අයත් මුදල් පරිහරණය කිරීම, ඒ සඳහා ආධාර අනුබල දීම. එකී වංචාව සඳහා එකතුවීමෙන් හා වංචා කිරීමේ පොදු අරමුණක්‌ සහිතව එක්‌ව ක්‍රියා කිරීම හා කුමන්ත්‍රණය කිරීම මගින් රජයට අයත් රුපියල් 399,6008152.55 ක්‌ වංචා කිරීම ඇතුළු අධි චෝදනා යටතේ විත්තිකරුවන් 13 දෙනකුට එරෙහිව එම නඩුව පවරා තිබුණි.

එම නඩුවේ දෙවැනි විත්තිකාර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය ආදායම් කොමසාරිස්‌ ආනන්ද අඹේපිටිය ඇතුළු විත්තිකරුවන් පස්‌ දෙනකු පෙර අවස්‌ථා දෙකකදී වරද පිළිගැනීම නිසා මහාධිකරණ විනිසුරුවරිය විසින් දඩ හා සිරදඬුවම් නියම කර තිබුණි.

විත්තිකාර නියෝජ්‍ය ආදායම් කොමසාරිස්‌වරිය ඇතුළු විත්තිකරුවන් ඇඟලුම් කර්මාන්ත ශාලාවලින් අය කළ වැට්‌ බදු ආපසු ගෙවූ බව පෙන්වා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට අයත් එකී මුදල් වංචා කොට ඇතැයි පැමිණිල්ලෙන් කියෑවුණි.

2006 මාර්තු 15 දා මහා භාණ්‌ඩාගාර ලේකම්වරයා විසින් කරන ලද පැමිණිල්ලක්‌ අනුව පරීක්‍ෂණ පැවැත්වූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස්‌ පරීක්‍ෂක පී. විශ්වනාදන් මහතා ඇතුළු නිලධාරීන් කණ්‌ඩායමක්‌ වසරකට වැඩි සුළු කාලයක්‌ තුළ දී පරීක්‍ෂණ පවත්වා ඉදිරිපත් කළ වාර්තාවක්‌ සලකා බැලූ නීතිපතිවරයා විත්තිකරුවන්ට එරෙහිව එම නඩුව පවරා තිබුණි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.