අංගොඩ රෝහලේ 450 දෙනකුට අයිතිකරුවන් නෑ

* කියා ඇත්තේ බොරු!
* සුව වුණත් රෝහලේම ඉන්න සිදු වෙලා

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ප්‍රියන්ත මද්දුමආරච්චි - මුල්ලේරියාව

අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේදී මානසික රෝගවලින් සුවය ලැබූ 450 දෙනකුට පමණ සිය භාරකරුවන් සහ ඥතීන් නොපැමිණීම නිසා දීර්ඝ කාලයක්‌ තිස්‌සේ රෝහලේම රැඳී සිටීමට සිදුව ඇතැයි ආරංචි මාර්ගවලින් පැවසේ.

සිය ඥතීන් සහ භාරකරුවන් නොපැමිණෙන නිසා අවුරුදු 15 ත් 20 ත් අතර කාලයක්‌ මුළුල්ලේ මේ අයට රැඳී සිටීමට සිදුව ඇති බව පෙන්වා දෙන අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනය මේ අය අතරින් 225 දෙනෙක්‌ නිට්‌ටාවටම සුවය ලබා සිටින බවද කියයි.

මේ රෝගීන්ගේ භාරකරුවන් සහ ඥතීන් බොහෝ දෙනකු රෝහලට ලබාදී ඇත්තේ ව්‍යාජ ලිපින සහ දුරකථන අංක ඇතුළු තොරතුරු බවත් ඇතැම් පිරිස්‌ මේ රෝගීන්ගේ ඉඩම් සහ නිවාස ඇතුළු දේපළ විකුණා විදේශගතවී ඇති අතර තවත් අය මියගොස්‌ ඇති බව මේ සම්බන්ධයෙන් සොයා බැලීමේදී හෙළිවූ බව අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්‍ෂ විශේෂඥ මනෝ වෛද්‍ය ජයාන් මෙන්ඩිස්‌ මහතා පැවැසීය.

කෙසේ නමුත් මේ අයට තවදුරටත් අවශ්‍ය ප්‍රතිකාර සිදු කරමින් මානසික සහ ශාරීරික සෞඛ්‍ය යහපත්ව පවත්වා ගෙන රැකගැනීමට අවශ්‍ය සියලු කටයුතු යොදා ඇති බව පැවසූ විශේෂඥ මනෝ වෛද්‍ය මෙන්ඩිස්‌ මහතා, නිට්‌ටාවටම සුවය ලැබූ අයට රැකියා පවා සොයා දී රෝහලට යාබදව පදිංචි කරවා ඒ අය ගැන විශේෂ අවධානයක්‌ සහ සැලකිල්ලක්‌ යොමුකර තිබෙන බවද කියා සිටියේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.